නොවැම්බරයේ පහළට ගිය උද්ධමනය දෙසැම්බර්වල ඉහළට…..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත්කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇත.

අදාළ වාර්තාවට අනුව ඉකුත් නොවැම්බර් මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 2.9%ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී  4.4% ක් දක්වා වැඩි වී ඇත.

ඊට අමතරව නොවැම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා වැඩි වී තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති පිළිතුර දෙයි…..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) මෙහිදී කරුණු පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සඳහන් වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන බවත්,  ඒ සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම්  බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු මුහුණ දෙන ගැටලු  සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කළ බව සඳහන් වේ.

පසුගිය ආපදා තත්ත්වයට මුහුණ දීමෙන් පසු රටේ ආර්ථික සුරක්ෂිතතාව, සංවර්ධනය  ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි සලකා බලමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට කාර්යක්ෂමව ක්‍රියාවට නංවා තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානාක මහතා ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙසද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කර තිබේ.

සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් – අගමැති….

නිරන්තර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන ලෝකයක බලාපොරොත්තුව, නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කතා කිරීමේ දී ශ්‍රී ලංකාව කදිම උදාහරණයක් බවත්, දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අස්ථාවරතා සහ ආර්ථික අස්ථාවරතා යන වේගයෙන් වෙනස් වන ගෝලීය රටාවන් මධ්‍යයේ සංචාරක කර්මාන්තය සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අග්‍රාමාත්‍යවරිය ගෝලීය ප්‍රවණතා පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කර තිබේ.

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව ඊයේ (20) Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබේ.

සංචාරක ප්‍රවේශය සහ ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුවමාරුව සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණ වී ඇත.

මෙම සාකච්ඡාවට තුර්කි රාජ්‍ය සංවිධානයේ මහලේකම් කුබාන් ඔමරලියෙව් (Kuban Omiraliyev) මහතා සහ සවුදි අරාබියේ Aseer Investment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි  Meshari Alnahar මහතා එක්ව තිබේ.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, සංචාරක ව්‍යාපාරය ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස පමණක් නොව, ජීවනෝපායන් ආරක්ෂා කරන, සමාජීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් බවය.

ශ්‍රී ලංකාව මෑත කාලයේදී මුහුණ දුන් අත්දැකීම් සඳහන් කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් ඇතුළු විවිධ අර්බුද තත්ත්වයන් මධ්‍යයේ වුවද රටේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමට හැකි වූ ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී පැහැදිලි කර තිබේ.

විනිවිදභාවයෙන් යුතුව අර්බුද කළමනාකරණය කිරීම සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උපායමාර්ගිකව සම්බන්ධ වීම හරහා සංචාරකයින්ගේ විශ්වාසය පවත්වා ගැනීමට හැකි වූ බවත්, එමඟින් අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා වාර්තාගත සංචාරක පැමිණීම් වාර්තා කිරීමට හැකි වූ බවත් ඇය එහිදී අවධාරණය කර ඇත.

එමෙන්ම දේශගුණික මූල්‍යකරණය, ඩිජිටල් පරිවර්තනය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රමිතියකින් යුත්, දීර්ඝකාලීනව තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

සංචාරක ව්‍යාපාරය ලොව පුරා මිලියන ගණනක රැකියා අවස්ථා සඳහා මං විවර කරන බවත්, විශේෂයෙන්ම කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සාධාරණ හා සමාන අවස්ථා සහතික කිරීම සඳහා සියල්ල ඇතුළත් ප්‍රතිපත්ති හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.

NPPයට බලය හිමි හබරාදුව ප්‍රා.ස. සභාපති ඉල්ලා අස්වෙයි…..

ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු කර ඇත.

පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු කියන් දුරකථන අංක රැසක්…..

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් අද (21) නිකුත් කළේය.

දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 46ක නාමාවලියක් මෙලෙස නිකුත්කර ඇත..එය පහතින් දැක්වේ

.Untitled-5

මධ්‍යම කඳුකරය යළි ගොඩනැඟීමට සියලු පාර්ශ්ව ඒකාබද්ධ වු නව ව්‍යුහයක් – ජනපති…..

ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බව ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එබැවින් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අවිධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ නඩත්තු නොකිරීම් ඊට හේතු වී ඇති බවත් මෙහිදී  අවධාරණය කෙරුණු අතර, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් කඩිනම් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කර තිබේ.

ඊට අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම කටයුතු සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ, මෙරට අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානී Cholpon Mambetova,  එහි ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම සහ ස්වභාවික සම්පත් විශේෂඥ Sumith Pokhrel, සහකාර ව්‍යාපෘති නිලධාරී ක්‍රිෂාන්ති දාබරේ යන මහත්ම මහත්මීහුද,  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota සහ එම වැඩසටහන නියෝජනය කරමින් වගීෂා ගුණසේකර, සුගන්ධි සමරසිංහ යන මහත් මහත්මීහුද,  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති,  නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත යන මහත්වරු සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද ,  රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

රිය පදවන සංචාරකයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන ලද විශේෂ රථවාහන පරීක්ෂාවකදි විවිධ වැරදි සම්බන්ධයෙන් යතුරුපැදි රැසක් අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි…..

මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සංචාරක ව්‍යාපාරය මගින් සිදුකෙරේ.
මේ වන විට ලක්ෂ විසි තුනක් ඉක්මවමින් සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණි බවට තොරතුරු වාර්තාවේ
කෙසේ නමුත් මෙරට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන් විවිධ අවස්ථාවල විවිධ ප්‍රදේශවලදී රිය අනතුරු හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබීම, ජීවිත අහිමි වාර්තා වී තිබේ.
එයට ප්‍රධාන හේතු වී ඇත්තේ මත්පැන් පානය කොට රිය ධාවනය කිරීම, අපරීක්ෂාකාරී රිය ධාවනය, ආදී හේතු රැසක් මුල් වී තිබේ.
ඒ අනුව මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වන සංචාරකයාගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන් මෙරටට පැමිණි ආකාරයටම නැවතත් ඔවුන්ගේ රටට යන තෙක් .රැක බලා ගැනිම යුතුකමක් සහ වගකීමක් ලෙස පෙරදැරිව ඒ සඳහා විශේෂ රථවාහන පරීක්ෂාවක් වැලිගම පොලිස් වසම කේන්ද්‍ර කර ගනිමින් ස්ථාන පහකදී (5 ) අද 20 දින සිදු කරන ලදී.
එහිදි රිය බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම, අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම, රක්ෂණ සහතික සහ අනෙකුත් සහතික සන්තකයේ නොමැති වීම ආදී හේතු මත යතුරුපැදී රැසක් හඳුනාගෙන තිබේ.
එම යතුරුපැදි පොලිස් භාරයට ගෙන ඇති අතර එම හිමිකරුවන්ට එරෙහිව සහ සංචාරකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැලිගම පොලිසිය පවසයි.
මෙහිදී ඇතැම් සංචාරකයන්ට රිය ධාවනයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදි මුදා හැරීමටත් කටයුතු කළහ.
මෙවැනි රථවාහන පරීක්ෂා කිරීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවද පොලිසිය පවසයි
මෙම විශේෂ මෙහෙයුම දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ නියෝග හා මාතර මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඊ , ඩි. වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාපති සනත් කුමාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරන ලදී.

මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනයේ යෙදෙන රියදුරන් අල්ලන්න ජංගම රසායනාගාරයක්…..

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම අද (21) දින කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොලේදී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් විනාඩි කිහිපයක් තුළ රියදුරන් විසින් දින 14 ක් ඇතුළත භාවිතා කළ මත්ද්‍රව්‍ය වග හතරක් සම්බන්ධ වාර්තාවන් ලබාගත හැකි බව සඳහන් වේ.

මගී ජීවිත ආරක්ෂා කිරීමේ අපේක්ෂාව මූලික කරගෙන ක්‍රියාත්මක මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනා ගන්නා රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර එම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දක්වා වූ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

අද රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් පරීක්ෂණය සඳහා යොමු කළ කෙටි දුර හා දුර ගමන් සේවා බස් රථ රියදුරන් 59 දෙනෙකු අතුරින් රියදුරන් 08 දෙනෙකු ගංජා භාවිතා කර ඇති බවට හා දෙදෙනෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ගමනා ගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම ජංගම රසායනාගාර සේවාව ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සමාරම්භක අවස්ථාවට පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. ජේ. සේනාධිර මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යු.සී.පී. පෙරේරා මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

නීතිවිරෝධීව උපයා ගත් මිලියන 62කට අධික වටිනා දේපළ ක්‍රියා විරහිත කරයි….

නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.

එහිදී අදාළ පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳගේ නමින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැක කරන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03 ක්, ඒ තුළ ඉදිකර තිබූ නවීන මාදිලියේ තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පචර් 06 ක ඉඩමක් 2025.11.12 දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිතකිරීමේ නියෝගයක් නිකුත් කර තිබේ.

එම දේපළ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු 2026.02.18 දින දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර ඇති බව පොලීසිය දැනුම් දී ඇත.

මෙම විමර්ශනයට අදාළව ඉහත සැකකරු 2025.11.12 දින සහ සැකකාරිය 2025.11.21 දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති බව සඳහන් වේ.

සිදු කරන ලද විමර්ශනයේදී මෙම සැකකරු හා සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම තුළින් උපයා ගන්නා ලද මුදල් යොදවා ඔවුන්ගේ දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිළදී ගෙන තිබූ රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් නවීන පන්නයේ දෙමහල් නිවසක් සහිත පර්චස් 11.6 ක ඉඩමක් හා රුපියල් මිලියන 12 ක් වටිනා කාර් රථයක් සඳහා අද (21)  දින සිට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

හොලිවුඩයේ වාර්තා අතරට එක්වූ Zootopia 2….

හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත්  (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Zootropolis 2 හොලිවුඩයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව ඇති අතර, එය ගෝලීය වශයෙන් Box Officeහි ඩොලර් බිලියන 1.7ක්  උපයා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Zootropolis 2  ගෝලීය Box Office ඉතිහාසයේ නවවන වඩාත්ම සාර්ථක චිත්‍රපටය බවද සඳහන් වෙයි.

Zootropolis 2 හොලිවුඩ් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය වුවද, සමස්තයක් වශයෙන් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය වන්නේ පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 උපයාගත් චීනයේ Ne Zha 2 චිත්‍රපටයයි.