විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වෙයි….

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සියඹලාගස්වැව අබිනවාරාමාධිපති තඹුත්තේගම සාසන බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වී ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

තඹුත්තේගම – බී.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලට….

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි.

බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්ය.

එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසීය.

බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි….

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ.

ඒ මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටීම හේතුවෙනි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව…..

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි.

එම විදුහල්පති සම්බන්ධයෙන්  නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නිලධාරියා ‘විදුහල්පති’ ලෙස ඉස්මතු කර දැක්වුව ද ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු නොවන බවය.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනු ලබන්නේ ඔහු ශ්‍රී ලංකා ගුරුසේවයේ නිලධාරියකු බව මේ වනවිට සනාථ වී ඇති බවත් ඔහු රාජකාරි ආවරණය කරන්නෙකු බවත් ය.

‘විදුහල්පති’ යනුවෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුර සඳහන් කරන්නේ විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් නොවන අයෙකු එලෙස ‘විදුහල්පති’ නාමය භාවිතා කිරීම විදුහල්පති සේවයට කරන අසාධාරණයක් බවයි.

තවද, එම අදාල නිවේදනයේ සඳහන් වන්නේ එම නිලධාරියා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවිට
“ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු” ලෙස හඳුන්වන ලෙසයි.

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි….

තලාව සුනාමි හන්දිය අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම පැමිණි මාර්ගයේ අනුරාධපුර දෙසට නැවත හැරවීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.

මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී…..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්…..

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය පවසයි.

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට……

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු හා අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම මස ඉකුත් 7 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවිය.

එහිදී ඝාතනයට ලක් වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ‘පූකුඩු කන්නා’ නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ විය.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු” ශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක්…..

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු යන පරමාර්ථය පෙරදැරි කරගෙන විශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක් මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .

විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමු කරන ලද තරුණ තරුණියන් එමඟින් මුදවා ගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂයෙන් මාතර අධිකරණ බල ප්‍රදේශයේ විශෝධන නියෝගලාභීන් සහභාගිත්වයෙන් පවත්වන ලද ක්‍රීඩා වැඩසටහන මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුව සිටින මෙම පුද්ගල කණ්ඩායම සඳහා විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

මෙම වැඩසටහන මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සංවිධානය කර තිබූ අතර වැලිගම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය ලබා දී තිබිණි.
මෙම අවස්ථාවට මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා ,වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත මහතා ඇතුළු නිලධාරීන්  සහභාගි විය.

News Iamges.00_00_48_04.Still963 News Iamges.00_00_48_04.Still964

වැලිගම – තරංග ගුණරත්න