ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප….

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු ඇපමත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා අද (17) නියෝග කළේය.

මෙලෙස ඇප හිමිව ඇත්තේ උදාර නිර්මාල් නමැති සැකකරුවෙක්ටය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියමකර තිබේ.

මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාළව සිම් කාඩ් පත් ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්ව සිටි අයෙක්ය.

යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ඉන් ආධාර කොටසක් රැගත් යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන රටවලට අයත් ආධාර රැගෙන එනු ලැබී ය.

ජර්මානු ආධාර ලෙස යුරෝ ලක්ෂ 05ක් වටිනා ආපදා ආධාර තොගයක් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ මානුෂීය ආධාර ලෙස කූඩාරම්, මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට ඇතුළු ආධාර තොගය මෙලෙස අද රැගෙන එනු ලැබුණි.

මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් (Sarah Hasselbarth) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් (Pierre Tripon) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්….

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව – මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මෙම අනතුරට මුහුණ පා තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය මව වයස අවුරුදු 33ක් හා දරුවා වයස අවුරුදු 02ක් වූ මාවනාගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.

බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….

සමාජ මාධ්‍යවල ප්‍රචාරයවන සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බවය.

හෙට සහ අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව ගැන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව හෙට (18) සහ අනිද්දා (19)  දෙදිනම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

අද (17) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

දෙසැම්බර් 19 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එදින රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට නියමිතව ඇත.

පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…

IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩාමව විසින් මිලදී ගැනු ලැබුවේය.

අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී පැතුම් නිස්සංකව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 04කටය.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියකදී ශ්‍රී ලංකික ක්‍රීඩකයකුට හිමි වූ ඉහළම වටිනාකම මතීෂ පතිරණට හිමිවිය.

ඒ ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට කොල්කට් නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදී ගනු ලැබීය.

එමෙන්ම දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගනු ලැබූවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින්ය.

මීට අමතරව එම වෙන්දේසියේදී මේ වනවිට වැඩිම වටිනාකමක් හිමිව ඇත්තේ, ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් හටය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් කෝටි 25යි දශම දෙකකට ඔහු මිල දී ගෙන තිබුණි.

ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි….

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවය.

මේ අතර භාවිතය අත්හිටුවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එන්නතේ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවනු ලැබුවේ එහි විෂබීජයක් ඇතැයි සැක මතුවීම සහ රෝහල් කිහිපයකින් ලද පැමිණිලි සලකා බලමින්ය.

‘ඔන්ඩැන්සෙට්‍රෝන් යනු වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන එන්නතකි.

එය මෙරට රෝහල් තුළ බහුලව භාවිතයට ගැනේ.

නමුත් ඔන්ඩැන්සෙට්‍රෝන් නමැති එන්නතේ කාණ්ඩ හතරක් මෙරට සියලු රෝහල්වලින් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධය මෙරටට ගෙන්වන පෞද්ගලික සමාගමට ලිඛිතව නියෝග කර තිබුණි.

ඒ පසුගිය දෙසැම්බර් 12 වැනිදාය.

එලෙස මෙම එන්නත අත්හිටුවීමට නියෝග කර තිබුණේ එන්නතේ සංකූලතා වාර්තාවීම සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින්, එම සාම්පලයක විෂබීජයක් අන්තර්ගත බවට සැකයක් ඇතැයි වාර්තා කිරීමත් සමගින්ය.

මෙම එන්නත ලබාදුන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට උණ වැළඳීම හේතුවෙන් මෙම එන්නත විශේෂ පරික්ෂාවකට ලක් කර තිබුණි.

එමෙන්ම තවත් රෝහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් මූලික වාර්තා ලැබුණු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙක් එම එන්නත ලබාගැනීමෙන් පසු මියගොස් ඇති බවට ජාතික පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ අදාළ එන්නත් දෙලක්ෂ 70,000ක් පමණ මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවය.

නමුත් එම එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසීය.

ඔන්ඩැන්සෙට්‍රෝන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන පරීක්ෂණවලට අමතරව වෛද්‍ය පර්යේෂණායතනයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට….

රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් නිලාවේලි පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරියගේ විදේශගත වීමට අදාළව ලේඛණ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකරු අද (16) පස්වරුවේ අදාළ පැමිණිලිකාරියගේ නිවසේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (17) කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…

ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රධාන සිදුකරන බව  ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි අද (16) ප්‍රකාශ කළේය.

මෙම ආධාරය ජාත්‍යන්තර සහනාධාර ආයතන හරහා ශ්‍රී ලංකායේ ක්‍රියාත්මක වන වැඩපිළිවල සඳහා යොදා ගැනීමට නියමිතය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන විදේශ අමාත්‍ය මොටෙගි මහතා සඳහන් කළේ, දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදීම ජපානයේ අරමුණ බවය.

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….

උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසීය.

“මේ උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. පන්දහසේ නෝට්ටුව වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රන වුණු අවස්ථා වාර්තා වෙනවා. 2024 වසරේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයට අරගෙන තියෙනවා. 2025 වසරේදී 5000 නෝට්ටු 535ක් සංසරණය වෙලා ශ්‍රී ලංකා පොලීසිය භාරයට අරගෙන තියෙනවා. 2024 වසරේ රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 06ක්. 2025 වසරේ නෝට්ටු දෙකක්. 2024 වසරේ රුපියල් 1000 නෝට්ටු 561ක්. 2025 වසරේ රුපියල් 1000 නෝට්ටු 401ක්. 2024 වසරේදී රුපියල් 500 නෝට්ටු 193ක්. 2025 වසරේදී රුපියල් 500 නෝට්ටු 109ක් ආදී වශයෙන් සංසරණය වෙලා තියෙනවා. අපි මතක් කරනවා සැකසහිත නෝට්ටුවක් පිළිබඳව ඔබගේ හිතට දැනුනොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසිය වාර්තා කළ යුතුයි.”

මේ අතර ඉදිරි උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරාශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිළධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.