”පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවේ”

පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරවීම හරහා ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙසේ පරාජය කරනු ලබන්නේ මාලිමාවේ අයවැය නොව ජනතාවගේ අයවැය වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පරාජයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ අයවැය තුළ ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා විශාල ප්‍රමාණයක් අනතර්ගත වූ බවත් මෙම පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සේවාවන් ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීම සඳහා මෙම අයවැය සකස් කළ බවත් ඒ මහතා   කියා සිටියේය.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අයවැය හරහා සහන ලබා ගන්නේ මාලිමාවට ඡන්දය දීපු අය පමණක් නොව, සියල්ලන්ටම ඉන් සහන සැලසෙන බවය.

ඒ අනුව අයවැය පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම, ඔවුන්ව පළාත් පාලන මන්ත්‍රීවරයෙක් කිරීම සඳහා ඡන්දය ලබා දුන් ජනතාවට එරෙහි වීමක් බවද ඔහු මෙහිදී පැවසීය.

මහින්ද ජයසිංහ මහතා පවන්නේ විපක්ෂය කුමන අරමුණකින් පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරනවාද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා,
”හතරගාතේ දාලා වට්ටලා තිබ්බ රටක් අපි භාර ගත්තේ. අද වෙද්දී මහා භාණ්ඩාගාරය බිලියන 1200ක සංචිතයක් ගොඩ නගා ගන්න සමත් වුණා ගෙවුණු වසර තුළ. සංචාරක පැමිණීම හා ආදායම වැඩිවෙලා තියෙනවා.. විදෙස් ගත ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් වැඩිවෙලා තියෙනවා.. අයවැය පරතරය 4.5%ක වගේ පරතරයක තියාගන්න අපි සමත් වුණා. ලබන වසර වෙනුවෙනු ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1500ක මුදලක් වෙන්කරලා රටේ සැලකිය යුතු රටේ සැලකිය යුතු ව්‍යාපෘති ප්‍රමාණයක් කරන්න සැලසුම් කරලා තියෙන වෙලාවක තමා මේ සුළි කුණාටුව ආවේ.. ඒත් අහියෝග මැද රට ගොඩ නගන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා” 

ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි……

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ PSOට ඇප…..

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා මුදාහරින ලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අපකළ විමසීමකදී කඩුවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලද කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා සමත මණ්ඩලය සඳහා යොමුකරන බවය.

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….

මේ වසරේ ලක්ෂ 23 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (26) වන විට සංචාරකයින් 2,320,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවය.

නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට  ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීමට හෝ ඒ පිළිබඳව නැවත තීරණයක් ගත යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ මෙම පාසල් සෘජුවම නායා යෑමට ලක්ව ඇති බවට පසුගියදා සිදු කෙරුණු අවදානම් තක්සේරු පරීක්ෂාව මගින් හඳුනාගෙන ඇති බවය.

දැනට අවදානම් තත්ත්වයේ පවතින එම පාසල් පරීශ්‍රයන් ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන නැවත ස්ථාවර කිරීමට සූදානම් වෙන අතර එසේ කිරීමට නොහැකි පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත.

මෙහිදී හසලක ප්‍රදේශය හැරුණු කොට මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක් අවදානම් තත්ත්වයේ නොමැති බව තත්ත්ව තක්සේරු පරික්ෂණ වාර්තාව මගින් තහවුරු කරගෙන තිබේ.

මධ්‍යම පළාතේ පාසල් 160ක සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පසුගියදා සිදු කෙරුණු තක්සේරු පර්යේෂණ වාර්තාව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය වෙත භාරදී ඇති අතර එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බව ආචාර්ය කරුණාවර්ධන මහතා සඳහන් කළේය.

එබැවින් අවදානම් සහිත පාසල් පිළිබඳව නැවතත් මේ දිනවල අධ්‍යයනය කරමින් පවතින බවත් එම පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය වෙත කරුණු වාර්තා කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රන් මිල රු 12,000කින් ඉහළට…..

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර්  4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද දිනය තුළ රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 12,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 340,400ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 356,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 368,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පහළ කඩුගන්නාවෙන් ඉහළ පහළ යන අයට දැනුම්දීමක්….

නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමෙන් අනතුරුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි.

කෙසේ වෙතත් වර්ෂා කාලයේ දී මෙම මාර්ගයේ ගමන් කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

කඩුගන්නාව පහළ ප්‍රදේශයේ නායයාමෙන් මාර්ගයට සිදු වූ හානිය අවම කිරීමට ඉංජිනේරු ක්‍රමවේදයන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික පරීක්ෂණයන් මේ වන විට සිදු කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ ද්‍රෝණ තාක්ෂණය භාවිතයෙන් එම අවදානම් ප්‍රදේශ හඳුනා ගෙන ඇති බවත්, එයට අදාළ දත්ත ලබා ගැනීම සඳහා මේ වන විට මැනුම් කටයුතු සිදු කරමින් පවතින බවත් ය.

ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා,

”මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා  අස්ථාවර ගල් කුට්ටි ඉවත් කිරීමටත්, මව් පාෂාණයේ උඩින් තියෙන පස් තට්ටුව පහළට ගලාඒම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමටත්, මාර්ගයේ පහළ ප්‍රදේශයේ අස්ථාවරතා වෙලා තියෙනවා එම ප්‍රදේශයට පැති බැමි ඉදි කරලා සංරක්ෂණය කරන්නත්.. මේ දේවල් කඩිනම් කරලා මා‍ර්ගයේ ගමන් කරන ජනතාවට ස්ථීර විසඳුමක් ලබා දෙන්න සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරනවා” 

ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම් වෙයි….

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අංශ සූදානම් කර තබා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පැවසුවේ මීට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කරන ලෙස මේ වන විටත් දන්වා ඇති බවය.

එළැඹෙන 29 වැනිදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත් ඒ අනුව සාමාන්‍ය තතත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක වැසි උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට ඇදහැලිය හැකි බවට ඔවුන් පෙන්වා දී ඇති බවත් සඳහන් කළ ඒ මහතා පැවසුවේ මේ අනුව සිදුවිය හැකි ආපදා සම්බන්දව අවධානය යොමු කරමින් ඉන් ආරක්ෂා වීම සඳහා මෙම පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා,

“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති ආකාරයට තරංගාකාර සුළං ප්‍රවාහයක් නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවීම හේතුවෙන් මෙම මස 29 වැනි දින සිට වර්ෂාපතනය සාමාන්‍යට ඉහළ තත්ත්වයක් උතුරු ප්‍රදේශයටත්, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, සහ ඌව ප්‍රදේශවලට ඇද හැළිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කර පෙර පරිදිම ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට තියෙන හදිසි සැලැස්මට අනුව භට පිරිස්, ගුවන් යානා, නාවික භට කණ්ඩායම් බෝට්ටු සූදානම් කරන ලෙස දන්වා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.”

සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්…..

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

එමගින් පොලීසිය පෙන්වා දෙනුයේ අදාළ සිදුවීමට අනුව වැඩතහනම් කරන ලද සූරියකන්ද පොලිස් සථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් විවිධ මාධ්‍යන් වෙත ප්‍රකාශ ලබා දී ඇති බවය.

එම ප්‍රකාශ මගින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම නිලදාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් වී ඇතැයිද පොලීසිය පවසයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධව මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලීසියට සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මගින් හා ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

එමෙන්ම සිද්ධිය සිදුවූ පසුගිය 20 වැනි දින කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිදි නිලධාරියාගේ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් බවත් සඳහන් කර ඇති පොලීසිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනුවේ මෙම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කර ගෙන ඇති බවත් නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කළ බවය.

තවද ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව පහරදීම සිදුකළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන්, නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු 10 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය මෙමගින් සඳහන් කර ඇත.

සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම නිවැසියාගේද ප්‍රකාශයක් සටහන් කර ඇතැයිද සිය නිවේදනය මගින් පෙන්වා දී ඇති පොලීසිය එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනි දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත්ය.

අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙකුගේ නමකුත් ඈඳෙයි….

යතුරුපැදිකරු හිටපු පොලිස් ප්‍රධානියෙකුට අයත් බවට පැවසෙන නිවසක රැඳීසිටිමින් ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

එය මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසක් බවද සඳහන් වේ.

පොලිස් කණ්ඩායම් එම නිවසට යන විටත් සැකකරුවන් පලාගොස් තිබූ බව ද වාර්තා වේ.

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකු පසුගිය දෙසැම්බර් 22වනදා වෙඩි තබා ඝාතනය කෙරුණේ එම පරිශ්‍රය තුළදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කිරිබත්ගොඩදී සහ මාකොළදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එම සැකකරුවන් පවසා ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදුන්නේ සහ ඔවුන් සම්බන්ධීකරණය කළේ තමන් බවය.

ඒ විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත බවටත් හෙළි වී ඇත.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයේදී තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනුලැබූ අතර ඝාතනයට ගිනිඅවි ලබාදුන් කාන්තාව ද ඒ අතර වන බව සඳහන් වේ.

හික්කඩුව ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සඳහා භාවිත කළ බව කියන පිස්තෝලය හා රිවෝල්වරය ද සමගිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු නුවර, අංකුඹුර පිහිටි අදාළ සුඛෝපභෝගී නිවසකට පසුගිය 07 වැනිදා පැමිණ 21 වැනිදා දක්වා එහි නවාතැන්ගෙන සිට ඇති බවය.

දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩට පැමිණ අපරාධය සිදුකොට නැවතත් ඔවුන් දෙදෙනා පලාගොස් ඇත්තේද නුවර අංකුඹුර පිහිටි එම සුඛෝපභෝගී නිවසටම බව ද වාර්තා වේ.

එම නිවස සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් කරන විටත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු නිවසින් පලාගොස් තිබුණි.

මෙම ඝාතනය කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දා, ඔහුගේ මල්ලි වන කරන්දෙණිය රාජු, දොලා, දසුන් මානවඩු යන අපරාධකරුවන් සියලුදෙනා එක්ව සිදුකර ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

කෙසේවෙතත් ඝාතනය වූ කෝසල නමැත්තා කොස්ගොඩ සුජීගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ මයිකල් නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වීම ඝාතනයට හේතුව බව පොලිසිය පවසයි.