ජෑමර් පද්ධතියේ අර්බුදයෙන් බූස්සේ සැරටම කෙරෙන වැඩ හෙළිවෙයි….

බූස්ස බන්ධනාගාරයේ සවිකර ඇති ජෑමර් පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි සිටින අපරාධකරුවන් රිසිසේ ජංගම දුරකථන බන්ධනාගාරය තුළදී භාවිත කරන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

එමෙන්ම බන්ධනාගාරය තුළදී සිදුකරන පරීක්ෂා කිරීම් සඳහා බූස්ස බන්ධනාගාරයට යන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් නිසි සහායක් නොලැබෙන බවටද වාර්තා වේ.

මෙම මෙහෙයුම් සඳහා බන්ධනාගාර අධිකාරිවරයා සහ ප්‍රධාන ජේලර්වරයා පමණක් නිසි සහාය ලබා දෙන බවත් සෙසු නිලධාරීන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

තවද විශේෂ කාර්ය බළකා නිලදාරීන්ට බන්ධනාගාරයට ඇතුළුවීම ප්‍රමාද කරමින් ඇතැම් දූෂිත නිලධාරීන් අපරාධකරුවන්ට ඒ පිළිබඳවද දැනුම්දෙන බවට තොරතුරු ලැබී ඇති බවත් එම ලැබෙන අවස්ථාවෙන් අපරාධකරුවන් ජංගම දුරකථන විවිධ ස්ථානවල සඟවන බවට විමර්ශනයේදී හෙළිව තිබේ.

පවතින මෙම තත්ත්වයන් හමුවේ බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුළ රඳවා තිබී ජංගම දුරකථන 15ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අද (27) දිනයේද සොයා ගෙන තිබේ.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ලොකු පැටීගේ සිර මැදිරියෙන් ජංගම දුරකථන දෙකක් හා මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්ද රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකථන 05ක් ද සොයාගෙන තිබේ.

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ සිරමැදිරිවලින් පසුගිය දින කිහිපය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකරනු ලැබූ වැටලීම්වලදී ජංගම දුරකථන රැසක්ද හමුවිය.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන් සමග සිදුකළ එම මෙහෙයුමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලදාරියෙකු හා විශේෂ අංශයේ නිලධාරියෙකුද එක්වූ බවත් වාර්තා විය.

එම වැටලීම්වලදි ඇතැම් සිරකරුවන් තමන්ගේ සිරමැදිරිවල පොළොව යට සූක්ෂමව සඟවා තිබූ දුරකථන පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගැනීමට සමත් විය.

අද සිදුකරන ලද පොලිස් විශේෂ කාර්ය බළකා සෝදිසි මෙහෙයුමේදී බූස්ස බන්ධනාගාරයේ විශේෂ අපරාධකරුවන් රඳවා සිටින A අංශයේ පළමු සිර මැදිරියේ සිට 46වන සිරමැදිරිය දක්වා පරීක්ෂා කර තිබේ.

එහි අංක 1 සිට 15 දක්වා සිරමැදිරිවල වහලය හා සිවිලිම පරීක්ෂා කර ඇති අතර එහිදී ලොකු පැටීගේ සිර මැදිරියේ සිවිලිමේ සඟවා තිබූ ස්මාට් ජංගම දුරකථන 04ක් හා සාමාන්‍ය දුරකථනයක් සොයාගෙන තිබේ.

එමෙන්ම දුරකථන බැටරි 03ක්, පවර් බෑන්ක් එකක්, හෑන්ඩ් ෆ්‍රී5ක්, ඩේටා කේබල් 8ක්, චාජර් 6ක් හා සිග්නල් බූස්ටර් 2ක් හා කාන්දම් දෙකක් ද ඔහුගේ සිරමැදිරියේ සිවිලිම තුළ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.

සෙසු දුරකථන A අංශයේ කොන්ක්‍රීට් ස්ලැබ් එක තුළ විශේෂ කොටසකින් සොයාගෙන ඇති අතර එය සූක්ෂ්ම ලෙස භාණ්ඩ සැඟවීමටම සකසන ලද කොටසක් බවද වාර්තා වේ.

ඒ අනුව අද දිනයේදී සිම් පත් 03ක්, ඩේටා කේබල් 21ක්, බ්ලුටුත් හෑන්ඩ්ෆ්‍රී 01ක්, චාජර් 16ක්, හැන්ෆ්‍රි 11ක්, පවර් බැන්ක් 01ක්, අමතර බැටරි 03ක්, කාන්දම් කැබලි 02ක් හා සිග්නල් බූස්ටර් දෙකක් ද ඇතුළුව ජංගම දුරකථන 15ක් සොයාගෙන තිබේ.

2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….

2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු. බිලියන 70ක් සඳහන්ව ඇත.

2025 වසරේ මුල් මාස 11 දී තුළ බදු ආදායමට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායෙමන් සියයට 48.2කි.

මෙම කාලය දෙවැනි වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායමෙන් සියයට 45.7ක් නියෝජනය කරයි.

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 11 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රු. බිලියන 410.5ක් දක්වා රු. බිලියන 355කින් ඉහළ ගොස් තිබේ.  2024 වසරේ මුල් මාස 11 හි වාහන ආනයන බදු ආදායම වාර්තා වූයේ රු. බිලියන 54.6ක් ලෙසිනි.

මේ අතර 2025 වසරේ පළමු මාස 11 කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,945.8 දක්වා සියයට 35.5 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී එම අගය රු. බිලියන 3,650.9 ක් ලෙසින් වාර්තා වේ.

මෙම කාලය තුළ ආදායම් බදු ආදායම ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින්, 2024 වසරේ පළමු මාස 11 තුළ රුපියල් බිලියන 969.2 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,096.9 දක්වා සියයට 13.2 කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම, VAT බදු මඟින් ලැබුණු ආදායම 2024 වසරේ එම කාලය තුළ වූ රුපියල් බිලියන 1,174.0 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,579.0 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 34.5ක වර්ධනයක් ලෙස සටහන් වේ.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, බදු පද්ධතියේ වැඩි කාර්යක්ෂමතාව, ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩි වීම සහ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේද ශක්තිමත් වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු ලෙස පවතින බවය.

හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු වන ‘ජින්ගා’ අත්අඩංගුවට…..

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු “හීනටියන මහේෂ්” නමැත්තාගේ ඥාතියකු බව පැවසෙන “ජින්ගා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ ටී 56 උණ්ඩ 25ක් සොයාගත් බව පොලිසිය පැවසුවා

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි…..

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 92 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබේ.

රන් මිල රු 7,000කින් ඉහළට…..

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (23) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485  දක්වා ඉහළ ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 325,600ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අභාවප්‍රාප්ත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්…..

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය හෙට (24) උදෑසන 7.30ට නිවසට රැගෙන යෑමට නියමිත අතර, බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එදින සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ අවසන් කටයුතු සිදුකෙරෙණු ඇත.

තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි.

මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත දේහය රැගෙන ගොස් ඇත.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියන අතර මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවිය.

එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණි.

මේ අතර 1963 දී සතිස්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ ‘බකතපස්’ වේදිකා නාට්‍ය වේදිකාගත වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු……

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එම නියෝගය ලබා දී තිබේ.

නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව……

නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි.

වෙඩි තැබීමෙන් තුවාල සිදු වූ තරුණයා අපරාධකරුවකු වන අවිශ්ක නැමැත්තාගේ සමීපතමයෙක් බව සඳහන්ය.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථය හරස්කර නවත්වා වෙඩි ප්‍රහාර 3ක් එල්ලකර පලාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරය ත්‍රිරෝද රථයේ රියදුරු ඉලක්ක කර තබා ඇති අතර ඉන් ඔහුගේ දකුණු බාහුවට හා උදරයට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.

පසුව තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය සඳහන් කරයි.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි තරුණයෙකි.

තමන් ත්‍රිරෝද රථයෙන් සිය බිරිඳ රැගෙන ඒම සඳහා කොහුවලට යන අතරතුරදී තම ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියක් හඹාඑන බවට තමන් දුටු බව වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට පවසා තිබේ.‍

මෙම වෙඩිතැබීම ඊයේ දිනයේදී සිදු වූ දෙවැනි වෙඩි තැබීම වන අතර ඒ සමඟ වසරේ මේ දක්වා කලය තුළදී වෙඩි තැබීම් 112ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලබා තිබේ.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය සංශෝධනය කෙරේ…..

විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩවය සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුරක්ෂා’  සිසු රක්ෂණාවරණ වැඩසටහන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ සිසු සිසුවියන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල්ඩ් ලිමිටඩ් සමග ගිවිසුම් ගතව ඇත.

එමගින් රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය, අනතුරු රක්ෂණාවරණය සහ ජීවිත රක්ෂණාවරණය යන කාණ්ඩ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන, පහත සඳහන් සංශෝධන ඇතුළත් කරමින් ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බවට සහ ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදි.

ඒ අනුව,

  • 2025/26 වර්ෂයට අදාළව ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026‑08‑31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
  • දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු ලබන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000/- සිට රුපියල් 240,000/- ලෙස සංශෝධනය කිරීම.
  • කොඳුඇටපෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary spherocytosis සහ Sickle cell anemia යන රෝග 5 අලුතින් එක් කිරීම.
  • 2025‑09‑01 දින සිට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම.

යන කරුණු ඇතුළත් කරමින් එම රක්ෂණාවරණය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

නත්තල් වෙනුවෙන් කොළඹ සහ ගාලු මුවදොර ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක්….

2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

එසේ පැමිණීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දී තිබේ.

විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරයි.

  • එසේ වුවද හෙට දින මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

* ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම – එන්. එස්. ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්. ඕ. ඩී. හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලු පිටිය දෙසට ගමන් කිරීම.

* ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

* ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක.

* බාල දක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියානාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිදු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

* කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්ඕඩී රථගාල (බේරේ වැව දෙසට)

*කොල්ලුපිටිය / බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග

* කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී ආර් විජේවර්ධන මාවත

* කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්

*ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්

* කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

*කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

*කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස

*කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර

පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

*පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල

*කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල

*කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල

*ඩී ආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල

*කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත

*කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය

*කොටු ව පොලිස් වසමේ ඩියුක් වීදිය

*කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දිය ඇක්සර් ටවර් රථගාල

*මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම් (St’ Clement)