රටම එකට ජාතික මෙහෙයුමෙන් 840දෙනෙකු අත්අඩංගුවට….

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 840දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි හෙරොයින් ග්‍රෑම් 378ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 06දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

මේ අතර පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,879දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 126දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව සහ අපරික්ෂාකාරී රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 426දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත අද (28) පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය පොලිස්පති වෙත පෙරේදා (26) කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණි බවය.

තමාට පහරදුන් සැකකරුවන් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නිදැල්ලේ සිටීම තමාගේ සහ සිය පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් තමා පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලූ බවද පොලිස් කොස්තාපල්වරයා මාධ්‍ය වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බවය.

කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..

දෝහා සිට අද (28) පෙරවරුවේ කටුනායක බලා පැමිණි ගුවන්යානයක් තුළ සැක සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටින බවට ලද තොරතුරක් හේතුවෙන් එම යානය විශේෂ සෝදිසියකට ලක්කර තිබේ.

මගීන් 245 දෙනෙකු රැගෙන දෝහා සිට පෙ.ව. 8.27ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී තිබූ බව සඳහන් වේ.

එම යානය තුළ කිසියම් පිපිරීමක් සිදු කරගැනීමට සූදාමින් පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවට කටුනායක ගුවන්තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය පණිවුඩයක් ලැබී තිබූ බව සඳහන්.

ඒ අනුව ක්‍රියාත්මක වු ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඒ පිළිබඳ අදාළ යානයේ නියමුවාගෙන් විමසීමක් සිදුකර ඇති අතර, එහිදී එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යානය තුළ නොමැති බවට නියමුවා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු එය ගුවන් ආරක්ෂිත අංගයනය වෙත රැගෙන ගොස්, ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ඉවත් කර බෝම්බ නිශ්ක්‍රිය අංශය ඇතුළු පාර්ශව විසින් දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී ගුවන් යානය තුළ තිබී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය සඳහන් කළේය.

පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ සාමාන්‍ය ගුවන් අංගයනය වෙත රැගෙන විත් ඇති අතර, යළි එය ප.ව. 1.07ට දෝහා කටාර් බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මෙම සිදුවීම ද පසුගිය 26වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් පවතින බවට ලද තොරතුර මෙන් ව්‍යාජ තොරතුරක් බව පොලීසිය පැවසීය.

අදාළ විද්‍යුත් පණිවුඩ දෙකම විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..

මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙම මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු හෙට (29) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙසේ ධාවන කටයුතු නැවත ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන්.

නොවැම්බර් මස අවසානයේ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටි ඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා ගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත / පුත්තලම් අතර දුම්රිය ධාවනය ඇණහිටින ලදී.

ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05ක් දුම්රිය ධාවනය සදහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය, නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා විය.

කොළඹ කොටුව සහ හලාවත අතර හෙට උදෑසන සහ සවස් කාලයේ ධාවනය කරනු ලබන කාර්යාල දුම්රියන් පහත පරිදි වේ.

විදුලිබලය සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්….

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ ප්‍රතිපාදන අනුව නිකුත් කර ඇති ඇති බව සඳහන්ය.

මෙම නිවේදනය අද (28) දින අංක 2468/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ගිලන් රථ සේවාවන්, මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන් ද මේ යටතට අයත් වේ.

ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ සියලු සේවාවන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාළ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු සියලුම සේවාවන් අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන මඟින් කරගෙන යනු ලබන ජලය සැපයීම, විදුලි බලය, කසළ කාණු ක්‍රමය, ගිනිනිවීමේ හා ගිලන් රථ සේවය, කසල ශෝධනය සහ කුණු ඉවත්කිරීම ඇතුළු සියලුම සේවාවන් ඒ යටතට අයත් බව නිවේදනයේ සඳහන්ය.

අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන නිවේදනයක්…..

කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත් කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව,

1. දේහය 2025 දෙසැම්බර් මස 31 වන දින පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.

2. එදින පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කෙරේ.

3. එසේම 2025.12.28 රාත්‍රී 11.00 දක්වා ද, 2025.12.29 සහ 2025.12.30 දෙදින පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ද බොරැල්ල ‘ජයරත්න රෙස්පෙක්ට්’ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.

විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් අද (28) පස්වරු 06.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ  තිබී විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර්’ සහ ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 84,000ක් අඩංගු දුම්වැටි කාටූන් 420ක් සහ ‘ඇපල්’ වර්ගයේ නවීනතම ජංගම දුරකථන 25ක් ද සොයා ගෙන ඇත.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ, ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී විනාශ වූ පාලම වෙනුවට විකල්ප පාලමක් ලෙස බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් මෙම මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා මෙන්ම වතු ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහාද අතිශය වැදගත් මාර්ගයක් වේ.

එම පාලම විනාශ වීම හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණි.

ඒ අනුව මෙම බේලි පාලම සකසා ඇති අතර කඩිනමින් එහි වැඩ කටයුතු අවසන් කර වාහන ධාවනය සඳහා අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.