ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණයි – ජනපති….

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස්කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත්, එය මේ වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමක් බවත්, එය පෙර වසරේ උපයා ගත් ආදායමට සාපේක්ෂව 15%ක වර්ධනයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් විය.

රජය අපේක්ෂා කළ ආදායම අභිබවා ඉහළ ආදායමක් ලබාදීම පිළිබඳව මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියටද සියලුදෙනා එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට කැපවෙමු යැයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමි නොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බදු පැහැර හැරීම් සිදුකරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.

බදු අය කර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබාගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්යමණ්ඩලවලද කළයුතු වෙනස්කම් සිදු කරන බවත් සඳහන් කළේය.

මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජන ජීවිතය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවත් ප්‍රවාහන පද්ධතියේ නව පරිවර්තනයක් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

බදු සාක්ෂරතාව ඉහළ නැංවිම, බදු ක්‍රමයේ සරලභාවය සහ කාර්ය මණ්ඩල හිඟය පියවීම වැනි ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුවට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස ලබාගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ මෙම සාර්ථකත්වයට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව සහ කැපවීම හේතු වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

2026 වසර සඳහා රුපියල් බිලියන 2401ක ආදායම් ඉලක්කයක්  ලබා දී ඇති බවත් බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම ආදී වැඩපිළිවෙළ මගින් එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

එසේම 2026 වසරේදී තෙවන පාර්ශ්වීය දත්ත හුවමාරුව පුළුල් කිරීම, දෙස්-විදෙස් වත්කම් පිළිබඳවද පුළුල් ලෙස සොයා බැලීම, රැමිස් පද්ධතිය දෙපාර්තමේන්තුවට භාර ගැනීම, අවදානම් පාදක විගණනය ශක්තිමත් කිරීම, e-ඉන්වොයිසිය හඳුන්වා දීම, බදු කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ බදු සදාචාරය ඉහළ නැංවීම වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළාය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරු සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ඇමති ඩලස්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක්….

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙස හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු අමාත්‍යවරයා පසුගිය 24 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව ඉල්ලීම් කර ඇත.

ශ්‍රී ලාංකීය දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් සේ සලකා පවතින තීරුබදු මට්ටම වසරක කාලයක් සඳහා තාවකාලිකව අඩු කරන ලෙස මෙලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම ආපදා අවස්ථාවේදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව හිටපු අමාත්‍ය අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් කෘතඥතාවයද පළ කර ඇත.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්,1 (1)

ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 87%කට රු. 25,000 දීමනාව ලබාදී අවසන්…..

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවය.

දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ රුපියල් 25,000ක (විසි පන්දහසක) දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 450,225ක ප්‍රමාණයෙන් 87.4%ක පිරිසකට එම මුදල ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එමෙන්ම රුපියල් 50,000ක දීමනාව සඳහා සුදුසුකම්ලබා ඇති පවුල් 153,593ක ප්‍රමාණයෙන් 8.63%ක් සඳහා අදාළ දීමනාව ගෙවා අවසන්ය.

එසේම පීඩාවටපත් පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක දීමනාව
ලබාගැනීමට සුදුසුකම් ලැබූ දරුවන් 216,142ක ප්‍රමාණයෙන් 14.9%ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට හැකිවී ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

කොහුවල වෙඩි තැබීමක්…..

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේදී නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

අදාළ වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වෙඩිතැබීම සිදුකළ නිවසට යාබද නිවස බව වාර්තා වෙයි.

හිටපු ඇමති ජොන්ස්ටන් සොයා පොලිස් කණ්ඩායම් 5ක්….

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු සඳහා යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විමර්ශනයට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසය.

ඒ අනුව ජොහාන් ප්‍රනාන්දු මහතාව කුරුණෑගලදී අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් විශුද්ධීකරණය, පොදු දේපළ පනත, රජයේ දේපල අවභාවිතය හා සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේය.

එම චෝදනා යටතේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන අතර ඔහු මේවන විට සිටින තැනක් සොයාගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු හෙට (31) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල….

අයගම, සමරුගම ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ  අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි.

අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාමෙන් එම නිවෙස් හිමියා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ 40 හැවිරිදි සැකකරු සමරුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙරට මුහුදු තීරය උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට…..

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ එම ධීවරයින් සමග ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගත් බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමනාදපුරම් හි වෙසෙන අය බවත් ඔවුන් මෙරට මුහුදු තීරයට උල්ලංඝණය කර ධීවර කටයුතු කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදාව පැවසීය.

ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචියට ලබාදී ඇති කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්….

ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දෙසැම්බර් 16වනදා දක්වා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී තිබූ කාලය, ජනවාරි 16වනදා තෙක් දීර්ඝ කරන ලෙස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා සදහන් කළේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂ්ත්‍රයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවය.

ව්‍යාපාරික ආයතනවලට සහ රටේ ජනතාවට ස්ථීර වශයෙන් ප්‍රාග්ධන ආයෝජනයක් සහ ණය ලබා ගැනීමේ දී සහන පොලී අනුපාතයක් සමග මෙම ව්‍යාපාර ගොඩ නගා ගැනීමට අවශ්‍ය සහයෝග ලබා දෙන ලෙස ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

එහිදී අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා,
”විනාශ වෙච්ච ව්‍යාපාර ලියාපදිංචි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා.. හැබැයි ඒක දෙසැම්බර් 16න් අවසන් වෙනවා.. මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේක ජනවාරි 16 වනදා දක්වාවත් දීර්ඝ කරන්න කියලා මොකද තාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිසාපතිවරුන්ට තවමත් සංගණනයක් කරලා මේ සම්බන්ධව එකතු කිරීමක් කරගන්න බැරිවෙලා තියෙනවා.. මුදල් අමාත්‍යංශ ලේකම්වරයත් කියන්නේ තවම මේක දිස්ත්‍රික් ලේකම්ව‍රුන් හරහා ලැබෙමින් පවතිනවා කියලා.. මොකද රුපියල් ලක්ෂ දෙකයි දෙන්නේ.. මම හිතන්නේ නෑ ලක්ෂ දෙක ප්‍රමාණවත් වෙයි කියලා..”

ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන…..

අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනිඅවි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඒ මහතා වෙත ලබා දී ඇති තවත් ගිනි අවි 19ක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව විමර්ශනවලට අදාළවය.

මදුෂ් නැමැත්තා සතුව තිබී සොයාගත් එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා වෙන නිකත් කර තිබූ ගිනිඅවියක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී ගිනිඅවිය අස්ථානගතවූ අකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම මත ඒ මහතා එදින එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ඒ මහතා පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කෙරුණු අතර අද (28) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා සාර්ථක පල නෙලා ගැනීමට සැබවින්ම අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරු සමග ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවක් සිදු කර නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්  නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

එසේ සාකච්ඡාවන් සිදු නොකර ජනවාරි 5වනදා සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ජනවාරි 5වනදාට ප්‍රථම මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා අනෙක් පංති 5 තුළ සහ උසස් පෙළ පංති තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවත් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට නම් අධ්‍යාපන වෘත්තීය සමිති සහ ප්‍රාමාණිකයින් සමග සාකච්ඡා කළ යුතු බවත් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

ලෝක බැංකුව හා ආසියා බැංකුව සමග සාකච්ඡා සිදු කිරීම හරහා මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැල කළ නොහැකි බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම් ඊට කලින් සිදු කළ යුතු ක්‍රියාදාමයන් ඇති බවත් ඒවා අනුගමනය නොකොට අවසානයට කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ මුලින්ම සිදු කිරීමට යාම හරහා මෙය සාර්ථක කර ගැනීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

ඔහු පැවසුවේ පාසල පස්වරු 2.00 දක්වා පැවැත්වීම හා කාලච්ඡේද මිනිත්තු 50 දක්වා දීර්ඝ කිරීම අසාර්ථක බවත් එය වහාම හකුලා ගැනීමට කටයුතු කළ යුතු බවත් ය.

ජනවාරි 5වනදා පාසල් ආරම්භ කිරීමත් සමග 6 ශ්‍රේණියට සහ ජනවාරි අග භාගයේ දී 1 ශ්‍රේණියට බදවා ගන්නා සිසුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද මේ වන විට එය බරපතළ ගැටලුවක් වී ඇති බව ද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම අනෙක් ශ්‍රේණි සඳහා පාසල් කාල සටහන් සකස් කළ යුතු බවට පැවසුවද එය මේ වන විට සිව් වතාවක් චක්‍රලේක මගින් වෙනස් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කලින් වර්ෂවලදී පාසල් කාලසටහන මේ වන විට අනුමත කරගෙන අවසන් බවද නමුත් මෙම වසරේ තවමත් එම අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය සහයෝහය ලබා දී නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියේය.

නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ එය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ගැටලුවක් වී ඇති බවත් එමෙන්ම කාලසටහන අනුමත කිරීමට අවශ්‍ය උපදෙස් කලාප කාර්යාලවලට හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවලට ලබා දී නොමැති බවත් ය.

මිනිත්තු 40 කාලච්ඡේදයකට සෑදු විෂය නිර්දේශයක් මිනිත්තු 50ක කාලච්ඡේදයකට අනුව සිදු කිරීම ගැටලුවක් වන බවත් එය සිදු කරන ආකාරය පිළිබඳව මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කිසිඳු දැනුම් දීමක් සිදු කර නොමැති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

එමෙන්ම ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩුයුල එකක්වත් කිසිදු පාසලකට මේ වන තෙක් ලැබී නොමැති අතර ජනවාරි 5වනදා පාසල් ආරම්භ කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ කෙලෙස ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බව ද ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.