අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්…..

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු සිදුකරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය සඳහා යා හැකි සොදුරු ස්ථානයකි. මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ විට කිලෝමීටර් 5ක් පමණ දුරකින් අම්බුළුවාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුව පිහිටා ඇති අතර, එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ කඳු මුදුනට ගමන් කිරීමෙන් අම්බුළුවාව විහාරයට ළඟාවිය හැකියි.

අම්බුළුවාව අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකි.

කඳු මුදුනේ වී බිස්සක හැඩයෙන් යුතුව අම්බුළුවාව සෑය නිර්මාණය කර ඇති අතර, මෙය අඩි 400ක් පමණ උසකින් යුතු බව පැවසේ.

මෙම සෑය ඉහළට නැගීම අතිශය ත්‍රාසජනත අත්දැකීමක් වන අතර, ඊට දෙස් විදෙස් සංචාරකයින් බොහේ සෙයින් කැමැත්තක් දක්වයි.

ගාල්ල අධිකරණ භූමියේ ගින්නක්….

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අසල කසල ගොඩක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව මේ වන විට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට….

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද රාත්‍රි 7.54ට පමණය.

හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

එහිදි එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙම වෙඩිතැබීම මේ වසරේ දෙවැනි වෙඩිතැබීම වන අතර, මේ වනවිට වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

ආපදා වන්දි දෙන්න ජනපති කුරුණෑගලට….

ව්‍යසනයට මුහුණදුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) පස්වරුවේ රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

ව්‍යසනයෙන් පසු රටත්, ජන ජීවිතයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසුවද, මේ වන විට විනාශ වූ සියලු මාර්ග ජනතාවට යළි විවෘත කරමින් සන්නිවේදනය, විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථාවත් කර යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වේගවත් කර  තිබෙන බව පැවසු ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී රාජ්‍ය නිලධාරීන් දිවා රැ නොබලා ඉටු කළ කාර්යභාරය අගයන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය රටත්, ජනතාවත් වෙනුවෙන් සිදු කරන කැපවීම එම ව්‍යසනය හමුවේ ඔප්පු කර තිබෙන බවත් සඳහන් කළේය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීම වෙනුවෙන් පූජ්‍ය ඉගුරුවත්තේ ධර්මකීර්ති ශ්‍රී සෝභිත විමලජෝත්‍යාධාන ස්වාමීන් වහන්සේ විසින් සහ රිදීගම ඩී.පී. අබේරත්න මහතා සහ එම මැතිණිය විසින් සිදු කළ ඉඩම් හා මූල්‍ය පරිත්‍යාගද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

”අපි මුහුණ දුන්නේ මෑතකාලීන විශාලතම ව්‍යසනයකටයි. එහිදී බොහෝ අය කිව්වා ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වෙයි කියලා. හැබැයි මේ වන විට ආපදාවෙන් විනාශ වූ සියලු මාවත් අපි විවෘත කර තිබෙනවා. සන්නිවේදනය, විදුලිබලය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ දේශපාලන අධිකාරියත්, විශේෂයෙන් රාජ්‍ය නිලධාරිනුත් විශාල වෙහෙසක් දරා කටයුතු කළා. අපි දන්නවා මේ රටේ ජනතාව තුළ අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද තිබෙන්නේ හොඳ අදහසක් නොවෙයි. හැබැයි මේ දිට්වා සුළි  කුණාටුවේදී අපේ රාජ්‍ය නිලධාරින් කොපමණ රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියා ඔප්පු කළා. බොහෝ නිලධාරී මහත්ම මහත්මීන් දිවා රෑ නොබලා වැඩ කළා. ඒ වගේම ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් මැදිහත් වුණා. එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි සැලකිය යුතු ප්‍රමාණයකින් යථාවත් වී තිබෙනවා. 

නමුත් මේ ව්‍යසනය අපේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනවා. මෙහි සිටින අපි කවුරුත් දන්නවා මීට පෙර අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි සියලුදෙනා මුහුණ දුන්නා. විදුලිය, ඉන්ධන, ගෑස්, කිරි පිටි ආදිය නැති වුණා. මුළු රටම කඩා වැටෙන තැනට පරිවර්තනය වුණා. එවැනි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුයේ ස්වභාවික ව්‍යසනයක් මත නොවෙයි. ඒ වගේම එවැනි ආර්ථික කඩා වැටීමක් සිදු වුණේ ගම්වල ජීවත්වන අපේ අම්මලා, තාත්තලාගේ වැරුද්දකින් නොවෙයි. පැවති දේශපාලන අධිකාරිය පුරා පැතිරි තිබු දූෂණය, අල්ලස, අක්‍රමිකතාව සහ වැරදි තීන්දු ගැනීම ආදී කරුණු මත අපේ රටේ ජනතාව විශාල පීඩනයකට  මුහුණ දුන්නා. 

ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් යුතුව අපිව බලයට පත් කර ගත්තා. එහිදී ජනතාවගේ අරමුණු රැසක් තිබුණා. වංචා දුෂණයෙන් තොර පාලනයක්, වංචනිකයන්ට, දුෂිතයන්ට දඩුවම් දීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණ පරපුර බේරා ගැනීම ආදී අරමුණු ඒ අතර ප්‍රමුඛ වුණා. ඒ වගේම සෑම කෙනෙකුටම ජීවත්වීමට හැකි ආදායම් මාර්ගක් සකස් කර ගැනීමේ අපේක්ෂාව තිබුණා. එම අපේක්ෂාවන් සපුරාදීමේදී වැදගත්කම සාධකය වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපි ඒ වෙනුවෙන් මේ වන විට සැලකිය යුතුවැඩකොටසක් ඉටු කර තිබෙනවා. 

එවැනි අවස්ථාවක තමයි අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණේ. නමුත් එම ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැගීමේ ශක්තිය අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වසරේදී වියදම් කිරීමට අපි කෝටි 50,000ක් වෙන් කර තිබෙනවා. ඒ හයිය ලැබෙන්නේ ආර්ථිකය ශක්තිමත් කරගත්තොත් පමණයි. 

අපේ ගම්වල ජනතාවගේ ජන ජීවිතය මීට වඩා උසස්විය යුතුයි. මම දන්නවා  නිසි ආහාර වේලක රස නොලැබූ ජනතාවක් සිටිනවා. පරම්පරාවටම හොඳ නිවසක් නැති වූ ජනතාවක් සිටිනවා. අපේ රටේ ජනතාව එසේ ජීවත්විය යුතු නැහැ.  වසර 70-80ක් වැනි ජීවිත කාලය තුළ සියලුදෙනාටම මිනිසෙක් ලෙස ජීවත්වී ජීවිතයෙන් සමුගත හැකි රටක් අපි ගොඩනැඟිය යුතුයි. ඒ නිසා අපි ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව මේ ආර්ථිකයක්, ජනතාවත් බලා ගන්නා රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටිනවා. අපි එය සිදුකළ යුතුයි. අපි එය ඉටු නොකළහොත් කිසිදිනක කිසිවෙකු එය ඉටු කරන්නේ නැහැ. එය කරනවා නම් පසුගිය වසර 76 තුළ කිරීමට හැකිව තිබුණා. නමුත් එය සිදු වුණේ නැහැ. මේ රටේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තිබෙනවා නම් ඒ මේ ආණ්ඩුව පමණයි. ඒ නිසා තමයි ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීම වෙනුවෙන් කෝටි 50,000ක් වෙන් කළේ. එවන් විශාල මුදලක් කිසිදිනක වෙන් කළේ නැහැ. 

අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට නම් පළමුව හැම කෙනෙකුටම හොඳ ආදායම් මාර්ගයක් හිමි කර දිය යුතුයි. ඒ වගේම අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපි දන්නවා අපේ ගම්වල දරුවන්ට අනාගතය ජය ගත හැකි එකම මාවත වන්නේ අධ්‍යාපනයයි. අපේ අම්මලා, තාත්තලා දරුවන්ට උගන්වන්න මහා වෙහෙසක් දරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය හොඳ ප්‍රතිඵල ගෙනවිත් දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමාපියන්ට බරක්. දරුවන්ට දුකක්. 

ලැබී තිබෙන වාර්තා අනුව ළමයින් 50ට අඩු පාසල් 1150ක් පමණ ලංකාවේ තිබෙනවා. ඒවා පාසල් වන්නේ නැහැ. දරුවන්ට සාහිත්‍ය උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් පවත්වන්න බැහැ. අපි ඒ පාසල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා හොඳ, වැඩිපුර ළමයින් සිටින, ළමයින් එකට මුසු වෙන නව පාසල් පද්ධතියක් අපි ගොඩනැගිය යුතුයි. 

පැරණි පාසල කියා ගමේ පාසල රැකගෙන වැඩක් නැහැ. ඒ වගේම අධ්‍යාපනය අද දෙමාපියන්ට විශාල බරක්. ඒ වගේම දරුවාට දුකක් වෙලා තිබෙනවා. දරුවන්ගේ ළමා කාලය උදුරාගත් මෙම අධ්‍යාපනය වෙනස් විය යුතුයි. එසේ නම් අපි හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. අපි ඒ සඳහා පියවර ගන්නා විට ඒ විෂයකවත් නැති, අරමුණක්වත් නැති දේවල් මාධ්‍ය හරහා කියන්න පටන් ගෙන තිබෙනවා. 

නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේත් මේ විදියටම ඊට විරුද්ධව පොර බැදුවා. මේ අවස්ථාවේදීත් එහෙමයි. මෙය යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, අපේ දරුවන් බලා ගන්නා අධ්‍යාපනයක්. අපේ දරුවන්ව ලෝකය සමග මුසු කළ හැකි අධ්‍යාපන ක්‍රමයක්. එසේම අපේ දරුවන්ට පෞර්ෂයක්, නායකත්වයක් සහිතව ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක්. මැෂින් හදන හෝ තෙතමනයක්, අධ්‍යාත්මයක් නැති දෙමාපියන්, ගුරුවරුන්, ආගමික නායකයන්  හඳුනන්නේ නැති දරුවන් හදන අධ්‍යාපනයක් නොවෙයි. එවැනි අධ්‍යාපනයකින් අපිට ඵලක් නැහැ. 

මේ අධ්‍යාපන ක්‍රමය තෙතමනයක් සහිත, අධ්‍යාත්මයක් සහිත සහකම්පනයෙන් යුතු දරු පරපුරක් ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක්. කවුරු මොනවා කිව්වත් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ ගම්වල ඉන්න අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. ඒ පිළිබඳ ගැටලු තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. අපි කියන්නම් මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙහි සිටින කවුරන් හෝ විශ්වාස කරනවාද අපි අධ්‍යාපනය විනාශ කරනවා කියලා. අපි එහෙම අය නොවෙයි. අපි ඈත ගම්වල ඉපදුණ අය. අපිට අධ්‍යාපනයේ යම් ඉඩක් විවෘත වු නිසා තමයි අද මේ වගකීම්වලට පත්වී සිටින්නේ. එසේ නොමැතිව අපේ පවුල් පසුබිම්, අපේ ගම්වල පසුබිම් අපි මෙතනට ගෙනාවේ නැහැ. අධ්‍යාපනය තමයි අපිට මේ පාරවල් කැපුවේ. ඒ නිසා ඈත ගම්වල ඉපදුණ අපිට ඉදිරියට ඒමට පාර කැපුවේ අධ්‍යාපනය නම් ඒ අධ්‍යාපනයට විනාශකාරී පාරක් අපි කපන්නේ නැහැ. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දීමට අපිට අවශ්‍යයි.”

මේ වසරේ පැවැත්වෙන විභාග දින ගැන දැනුම්දීමක්….

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතය.

මේ වසරේ පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.

විභාග පැවැත්වෙන දින පහතින් දැක්වේ.

1767977431-1

කාලගුණයෙන් රතු නිවේදනයක් – පීඩන අවපාතය ත්‍රිකුණාමලයට 80km දුරින්….

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) රාත්‍රී 10.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් පිහිටා ඇත.

එය හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ තිබේ.

ඒ අනුව හෙට දිනයේ දී උතුරු පළාතට විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වූ තරමක තද සුළං ඇති විය හැකිය.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට හෙට දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති වේ.

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්….

දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර දුම්කොළ භාවිතය එහි ප්‍රධාන අවදානම් සාධක 4න් එකක් වන බවය.

මෙරට වැඩිහිටියන් මිලියන 1.5ක් පමණ දුම්පානයට ඇබ්බැහි වී ඇති බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ලෝකයේ සෑම තත්ත්පර 6කටම වරක් දුම්කොළ භාවිතය හේතුවෙන් මරණයක් වාර්තා වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලන උත්සාහයන් කෙරෙහි දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්හි බලපෑම් යන මැයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ වෛද්‍ය සජීව රණවීර මහතා සඳහන් කළේ 2021 වර්ෂයෙන් පසු දුම්වැටි සඳහා අය කරන බදුවල අඩුවීමක් සිදුව ඇති බවය.

පොලිස් මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 225ක් අත්අඩංගුවට…..

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී  පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (07) දිනයේ සිදුකළ මෙහෙයුම් වලදී සැකපිට පුද්ගලයින් 597 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 225 දෙනෙකු විවෘත වරෙන්තුකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 460ක් වන අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය යුද හමුදාපති සහ මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්….

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා හා මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද(07) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමු වී තිබේ.

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ප්‍රමුඛ දුත පිරිසක් නිල සංචාරයක් සඳහා ඊයේ මෙරටට පැමිණියේය.

මෙහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතිකමය සහ ශිෂ්ටාචාරමය සබඳතා දෙපාර්ශවය විසින්ම යළිත් තහවුරු කර ඇත.

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන ණය සහන ගැන පැහැදිලි කිරීමක්….

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර ආපදාවට ලක් වු ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම සමබන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

එමෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.