හොරණ රාජ්ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්රශ්න කළ එම බැංකුවේ සහකාර කළමනාකරු එළැඹෙන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
54 හැවිරිදි නන්දන සරත් කුමාර නමැති සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් දැනුම් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත්, පොදු දේපළ පනත යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්ය.
එබැවින් සිද්ධියට අදාළ බැංකුවේ කාර්යපටිපාටිය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර, ATM යන්ත්ර සඳහා රැගෙන ගිය බව කියන මුදල් හා බැංකුවේ ගබඩා කාමරයේ තිබී සොයාගත් මුදල් අතර සම්බන්ධතාව සොයා බැලීමට ද අධිකරණය නියෝග කර තිබේ.
මේ අතර, සැකකරුට එරෙහිව මීට පෙර ගොනු කර තිබූ 54(1) වගන්තිය යටතේ වූ නඩුව පොලීසිය විසින් අධිකරණයේදී ඉවත් කරගෙන ඇත.
සිද්ධියේ දෙවන සැකකරු වන ආරක්ෂක නිලධාරියා ද එළැඹෙන 11 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරණු ලබයි.

