ගිය වසරේ අයවැය යෝජනා අනුව වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ….

2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ  ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ 2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01 වැනි දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක් සිදුවූ අතර ඊට අදාළ ගුරු වැටුප අද දින ගිණුම් ගත කළ බවය.

විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට……

විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයෙහි නිලධාරීන් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර සාකච්ඡාවක් (20) පවත්වා තිබේ.

ඒ ජනතාව කේන්ද්‍ර කරගත් නිති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරමින් විශේෂ විමර්ශන ඒකකයෙහි මෙතෙක් ලබා ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය.

එහිදී පසුගිය 2025 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විශේෂ විමර්ශන අංශය විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා ඉතා පැහැදිලි ප්‍රතිඵල ලබා දී ඇති බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ එම වසර තුළ මහජන පැමිණිලි 4,822ක් ලැබී ඇති බවත් ඉන් විමර්ශන මගින් පැමිණිලි 2,914ක් විසඳීමට කටයුතු කර ඇති බවත්ය.

තවත් පැමිණිලි කිහිපයකට අදාළව අධිකරණයට නඩු 772ක් ගොනු කිරීමට පියවර ගෙන ඇති බවත් විමර්ශනයෙන් පසු පුද්ගලයින් 121ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී තිබේ.

තවද නිති විරෝධී බඳවා ගැනීම් හා සම්බන්ධ වැරදිවලට එරෙහිව වැටලීම් 21ක්ද විමර්ශන සිදුකර මිලියන 380කට අධික මුදලක් පැමිණිලිකරුවන්ට නැවත අයකර දීමට හැකි ව ඇති බවත් එම නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.

එමෙන්ම නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට සනාධ වූ විදේශ රැකියා නියෝජිතායතන 15ක බලපත්‍ර අවලංගු කිරීමටද  කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.

2025 වසරේ සැප්තැම්බර් 22 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ විශේෂිත පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීම සිදුකළ බවත් එමගින් විමර්ශන සහ නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමක් හා කඩිනම් කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළේය.

මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම…..

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඇතුළත් එකම පවුලේ විත්තිකරුවන් තිදෙනා අතරින්, පියා පමණක් මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු බවට තීන්දු කර ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම කළේ උතුරු මැද පළාත් බද්ධ මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය විසිනි.

අදාළ නඩුවේ දෙවන සහ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර තිබූ පළමු විත්තිකරුගේ පුතුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ මනුෂ්‍ය ඝාතන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරිය, ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ පදවිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය සඳහන් කළේ, මනුෂ්‍ය ඝාතනය සිදුකළ බවට පළමු විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි. එහෙත් දෙවන සහ තුන්වන විත්තිකරුවන්ට එරෙහි චෝදනා එලෙස සනාථ කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවද ඇය පැවසුවාය.

2015 වසරේ ඔක්තෝබර් මස 8 වැනි දින හෝ ඒ ආසන්න දිනයකදී, අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් පදවිය වැලිඔය ප්‍රදේශයේදී, විත්තිකරුවන් එක්ව පදවිය වැලිඔය, කල්‍යානපුර, නාමල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්. සිරිසේන නමැති පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර, අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා නඩුව අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි. මෙම නඩුවේදී සාක්ෂිකරුවන් දස දෙනෙකු නම් කර තිබූ අතර, වැලිඔය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත.

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්……

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර තිබේ.

මෙම සහතිකය ලබා දී ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදීය.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුරදී මෙම හමුව පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එහිදී ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ වනවිට ලෝක ආර්ථික සංසදයට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතව සිටී.

ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි…..

ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම කටයුත්තට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා,

“යතුරුපැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සලසා ගන්න මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත්, පදිකයෝ අනතුරට පත් කරන්නවත්, විනයගරුකව සහ නීතිගරුකව රිය පදවන රියදුරන් අපහසුතාවට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල මේක ඉතා භයංකාරයි. ඒක නිසා අපි විශේෂයෙන් කියලා තියෙනවා රථවාහන නිලධාරීන්ට අධික වේගයෙන් අන්තරාදායකව අපරික්ෂාකාරීව යනවානම් අනිවාර්යෙන්ම යතුරුපැදි සම්බන්ධව කටයුතු කරන්න කියලා. 

විශේෂයෙන්ම දැන් අවුරුදු 18ට අඩු අයත් යතුරුපැදි පදිනවා. ඊයේ අපි දැක්කා අවමංගල්‍යයකදි. මෙකේ වෙලා තිබ්බෙත් යතුරුපැදියක අධික වේගයෙන් රියදුරු බලපත්‍රයක්වත් නැතිව රේස් ගිහිල්ලා මරණයට පත්වෙලා. දැන් ඒ අවමංගල්‍ය පෙරහැරෙත් යන්නේ යතුරුපැදි. සමහර අය හෙල්මට් නැතිව ගිහිල්ලා. 

තරුණයන්ගේ මේ එන රැල්ල එච්චර හොඳ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි පොලීසියට කියලා තියෙනවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි. අපි කියලා තියෙනවා දැන් ඒවා වහාම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා රාජසන්තක කරන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා.”

අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට….

ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ ටයිබීරියස් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 43ක අයෙකි.

ඔහුට එරෙහිව නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීම සහ නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය පදිංචිකරුවෙකු ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරයි.

ඊශ්‍රායල පොලීසියේ ජාත්‍යන්තර අංශය වන ඉන්ටර්පෝල් ශාඛාව පවසන්නේ, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නීතිය අනුව දැඩි පියවර ගනු ලබන බවය.

2023 සැප්තැම්බර් මස 7 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට පෙර, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර ක්‍රියාත්මක වූ මිනිස් ජාවාරම් ජාල මඟින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් අනවසරයෙන් ඊශ්‍රායලයට රැගෙනවිත් තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව දේශසීමා ආරක්ෂාව දැඩි කිරීමත් සමඟ එම මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇති බවද සඳහන් වේ.

ඊශ්‍රායල රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමට අවස්ථාව සලසා දී ඇති පසුබිමක, මිනිස් ජාවාරම්කරුවන් මඟින් අනවසරයෙන් එරටට ඇතුළු වීමට උත්සාහ කිරීම ඉතා අවදානම් සහ ජීවිතයට බරපතළ තර්ජනයක් වන ක්‍රියාවක් බව අවධාරණය කෙරේ.

විශේෂයෙන් යුධමය තත්ත්වයක් පවතින මෙවන් අවස්ථාවක, කාන්තාර ප්‍රදේශ හරහා දේශසීමා අනවසරයෙන් හරහා යාම මගින් තම ජීවිතය පරදුවට තබා ගැනීමක් සිදු වන බැවින්, මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත්, මෙවැනි අනවසර ගමන් සඳහා උත්සාහ නොකරන ලෙසත් මහජනතාවට දන්වා සිටී.

නීතිපතිවරයා ඉලක්ක කරගමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්……

නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවය.

අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම නිවේදනයේ සදහන් වේ.

එහිදී අදාළ කරුණු නීත්‍යානුකූලව පිළිගත හැකි සාක්ෂි ද යන්න සහ එම කරුණු මත පදනම්ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් පවතින්නේ ද යන්න සලකා බැලීමට නීතිපතිවරයාට සිදුවන බව ද නිතීඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අධිකරණ නිලධාරීන් සහ අර්ධ අධිකරණ නිලධාරීන් නීතියට අනුව තීරණ ගත යුතු බවත්, එම තීරණ ඇතැම් විට මහජන මතය අනුව සිදු නොවන්නට ඉඩ ඇති බවත් වටහා ගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ…..

මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

අදාළ ක්ෂේත්‍රයේ පිරිස් සඳහා සහන ලබා දීමේ අරමුණින් හා මැණික් අපනයන කර්මාන්තයෙන් ඉලක්ක ගත ඩොලර් බිලියන 01ක වාර්ෂික ආදායම සපුරා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එම අධිකාරය සඳහන් කර සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙය මැණික් ආනයනකරුවන්ට විශාල සහනයක් වනු ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්.පී චමින්ද මහතා,
”මැණික් ආනයනය කිරීමේ දී පනවනු ලබන වැට් එක අපි කැල්කියුලේට් කරන ක්‍රමය වෙනස් කරලා ආනයනය කරන පුද්ගලයින්ට එදාට වඩා ලොකු සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ අලුත් ප්‍රපෝසල් එක අනුව ගෙන එන එක පාර්සල් එකකට නිශ්චිත අගයක් අපි ලබා දෙනවා. පිටරටින් ගේන අනගි මැණික් ඒ කියන්නේ රූබීස්, ශපායා, එමරල් වගේ කාණ්ඩයේ මැණික් අපි ගේනකොට කිලෝඑකක වටිනාකම අපි ඇසිටිමේට් කරනවා ඩොලර් 900ක් විතර.. ඒ ඩොලර් 900ට තමා වැට් එක හැදෙන්නේ.. ඩොලර් 200 කියන කස්ටම් චාර්ජ් එකත් අපි මේ ක්‍රමයෙන් ඉවත් කරලා තියෙනවා.”

නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට….

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 43 ක් වන ෆෙයාෆීල්ඩ් වත්ත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලීසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44 ක් හා 55 ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරයේ වීඩියෝපටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උපදෙස් හා නියෝග පරිදි සිදුකළ විමර්ශන අනුව අදාළ වින්දිත පාර්ශවයන් හඳුනාගෙන ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සැකකරු සිය නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන ලද කාන්තාවක්, පිරිසක් ඉදිරියේ එම නිවසේදී නිරුවත් කර එය වීඩියෝ පටිගත කර වට්ස් ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවටය.

මෙම සැකකරු සම්බන්ධව පොලීසිය විසින් අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක් ද ලබා ගෙන විමර්ශන සිදු කරගෙන ගොස් ඇති අතර සැකකරු සිද්ධියෙන් පසුව පොලීසිය මඟ හරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගෙන සිටි බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ නව සංශෝධනයන් ඇතුලත් දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවා ගැනීමේ පටිපාටියේ පිටපත් 05, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම හා එම බඳවා ගැනීමේ පටිපාටියට අදාළ අන්තකාලීන විධිවිධාන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණය වීමට තීරණය කළ බවය.

අදාළ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් වෙත පසුගිය 09 වනදා ලිඛිතව දැනුවත් කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

නමුත් මේ දක්වා ඊට අදාළ විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එළැඹෙන 23 වනදායින් පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.