NSB හි රුපියල් ලක්ෂ 1800ක වංචාවකට නිලධාරීන් ඇතුළු සැකකරුවන් 5ක් රිමාන්ඩ්….

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) නිලධාරින් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 1800 ක් වංචා කර ඇතැයි නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඊයේ (30) දන්වා සිටියේය.

අදාළ බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක මහජනතාවගේ මුදල් මෙලෙස අවභාවිත කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුළුල් විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ රාජ්‍ය බැංකුවේ ණය දෙන අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇතැයි දන්වා සිටි රජයේ නීතිඥවරයා එම වංචාවට අදාළව අදාළ බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද දන්වා සිටියේය.

මෙම මහා පරිමාණ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක්ද සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳවද විමර්ශන පවත්වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ණය අයැදුම්පත් කරන පිරිසකට ඉතා සැලසුම් සහගතව අදාළ බැංකුවේ සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂ ගණනින් ණය මුදල් දී ඇති බවත්, එම ණය මුදල් අනුමත කර දීම වෙනුවෙන් එම බැංකුවේ ඇතැම් පිරිස් රුපියල් ලක්ෂ ගණනින් කොමිස් මුදල් පවා ගෙන තිබීම පුදුම සහගත කරුණක් බවද රජයේ නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

“අදාළ රාජ්‍ය බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන පවත්වමින් සිටිනවා

මෙම අපරාධය ඉතා සංවිධානාත්මකව සූක්ෂම අයුරින් කර ඇති බවද පේනවා.

මෙම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු වශයෙන් කටයුතු කළ බව කියන ක්‍රිෂාන් අබේගුණවර්ධන නමැති නඩුවේ තුන්වැනි සැකකරු වටා එකතු වෙමින්, අනෙකුත් සැකකරුවන් මෙලෙස මුදල් වංචා කර ඇති බවද හෙළිවෙලා.

අදාළ බැංකුවේ ණය ගනුදෙනු අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මූලිකව එම බැංකුවේ ණය ගොනු 10 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. අනතුරුව ණය ගිණුම් 46 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ උපදෙස් පරිදි අංශ කීපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මීට අදාළ විමර්ශන කරනවා. මෙය ඉතා විශාල විමර්ශනයක් බව කිව හැකිය.

මෙම නඩුවේ පළමු වැනි සැකකාරිය වන බාලසූරියගේ දිලිනි මහේෂිකා පෙරේරා සහ 04 වැනි සැකකාරිය වන ශානිකා ප්‍රියදර්ශනී අදාළ බැංකුවෙන් ණය අයැදුම් කිරීම සඳහා කූට ලේඛන සකස් කර වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නඩුවේ එක් සැකකාරියක් බොරැල්ල ප්‍රදේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයට විවිධ ආයතනවල ලෙටර් හෙඩ් මුද්‍රා සහතික පිටපත් ගැනීමට පැමිණෙනවා. ඒවායේ පිටපත් අදාළ සැකකාරිය තබාගෙන ව්‍යාජ දත්ත ඇතුළත් කර ණය අයැදුම්පත් කර තිබෙනවා. මෙම නඩුවේ සැකකාරියන් දෙදෙනා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 02 ක විධායක ශ්‍රේණියේ නිලධාරිනියන් දෙදෙනකු ලෙසත්, ඉතා ඉහළ වැටුප් ගන්නා අය බවත් සඳහන් කර ණය අයැදුම්පත් කර තිබෙනවා.

අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ සටහන් කරගත්තා. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකාරියන් දෙදෙනා ඔවුන්ගේ ආයතනවල නිලධාරිනියන් නොවන බවයි.

මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන අදාළ බැංකුවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ තැනැත්තාට රුපියල් ලක්ෂ 30 දක්වා ණය අනුමත කළ හැකි වෙනවා. එම නිසා අදාළ සැකකරු රුපියල් ලක්ෂ 29, 28 වැනි ආකාරයේ රුපියල් ලක්ෂ 30 ට අඩුවෙන් ණය අනුමත කර තිබෙනවා.

නමුත් 03 වන සැකකරුට අදාළ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහයෝගයක් නොමැතිව මෙම වංචාවන් කළ නොහැකියි. එම නිසා අදාළ රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සිටින පිරිසක් ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරනවා. එම පුද්ගලයන් කුමන තරාතිරමක රැකියාව කළත් වරදක් අනාවරණය වන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.

රටේ මිනිසුන්ගේ රුපියල් ලක්ෂ 1800 ක් මෙහෙම හොරකම් කරන්න ඉඩ දෙන්න බැහැ. මෙම සිද්ධිය පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවත්වන විට දැන් ගොඩක් අය කලබල වෙලා තියෙනවා.

මෙම නඩුවේ 04 වැනි සැකකාරිය වන හානිකා ප්‍රියදර්ශනී නමැත්තිය විසින් ජාතික හැඳුනුම්පත් 02 ක් සකස් කර තිබෙනවා. එම සැකකාරිය ක්‍රිබ් එකට යෑම නිසා වෙනත් ජාතික හැඳුනුම්පතක් සකස්කර ණය අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. සමහරු කූට ලේඛන සකස් කරලා. ඒවා භාවිත කරලා රටිනුත් පැනලා ගිහිල්ලා තියෙනවා.

මෙම නඩුවෙ 02 වැනි සැකකරු වන ජයසූරිය මුදියන්සේලාගේ ධර්මකීර්ති නමැත්තා කටාර් රාජ්‍යයේ සිට ලංකාවට ඒමේදී අත්අඩංගුවට ගත්තා. නඩුවේ 05 වැනි සැකකරු වන රාජරත්නම් නිරෝෂන් නමැත්තා කටාර් රාජ්‍යය වෙත යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝග ගෙන තිබූ නිසා එලෙස අත්අඩංගුවට ගත්තා. ඔවුන් ණය ගැනීම සඳහා කූට ලේඛන සකස් කර තිබෙනවා.

මෙහෙම රටේ මිනිසුන්ගේ සල්ලි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බැහැ. එම නිසා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඔවුන් සියලු දෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි, තරිඳු වික්‍රමනායක ඇතුළු නීතිඥවරුන් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

සැකකරුවන් 05 දෙනා ලබන මස 13 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, එදිනට සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති සාක්ෂි පිළිබඳ සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙයි.

 

කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්….

ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද 31.07.2025 දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතගේ සභාපතිත්වයෙන් යුතුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්වුනා. එහිදී 2025 වර්ෂයට අදාලව කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව මගින් රුපියල් මිලියන 230ක වියදමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 102ක් පිළිබන්දව ප්‍රගතිය සාකච්ඡා කළා.
එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු සහ ඒ සඳහා විසඳුම් සොයා බලා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. ප්‍රදේශයයේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පොදු ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්නට විය. මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම, ගංවතුර පාලනය, කිරිබත්ගොඩ නගරයේ අධික වාහන තදබදය වැනි කරුණු පිළිබන්දව ද අවධානය යොමු කරන්නට විය.
කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරු, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, පෑලියගොඩ නගර සභාවේ සභාපතිතුමන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්තාවට එක්වසිටියා.

කොළඹ උද්ධමනය ඉහල යයි…..

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5%ක් දක්වා අඩු වී ඇති අතර, 2025 ජුනි මාසයේ දී එය වාර්තා වූයේ 4.3%ක්  ලෙසය.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී -1.2%ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2025 ජුනි මාසයේ දී -2.8%ක් ලෙස වාර්තා විය.

සැකකරුවෙකු පළායාමේ සිදුවීමට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්……

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.

අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.

පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බව වාර්තා ‍වේ.

අදාළ සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු පළා යාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රත්නපුර මූලස්ථාන පොලීසියේ කාර්යය භාර නිලධාරීවරයාගේ සහ පොලිස් සිරමැදිරිය භාරව සිටි නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා ගැන ගොනුකළ නඩුව විභාගයට…..

තුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් සලසා නොමැති බවට චෝදනා කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබේ.

ඒ අනුව නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 18 දින ප්‍රකාශයට පත්කරන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා නියෝග කළේය.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය විසින් ගොනුකර ඇති අදාල නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ප‍්‍රවාහන මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකරිවරයා,  උතුරු පළාත සහ අනුරාධපුර භාර ඉංජිනේරු අධිකාරිවරයා යන අය නම්කර ඇති බව සදහන් වේ.

ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් ජීවිතක්ෂයට පත්වෙයි…..

ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව සිටියේය.

අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබේ.

කෙසේ වෙතත් එදින පැවති අයහපත් කාලගුණය හා දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි විය.

ඒ හේතුවෙන් එදිනට මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, ඊයේ (30) උදෑසන නැවතවරක් මෙහෙයුම් ආරම්භ කළේය.

එහිදී ඩොල්මයර්ව හමුව ඇති අතර, ගලවාගැනීමේ කණ්ඩායම් විශ්වාස කරන්නේ අනතුර සිදු වූ සඳුදා දිනයේම ඇය මියයන්නට ඇති බවය.

මෙම ගලවාගැනීමේ මෙහෙයුමට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින්නන් ද එක්ව තිබේ.

biathlon ක්‍රීඩාවේ අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක වන 31 හැවිරිදි ලෝරා ඩොල්මයර්, ඔලිම්පික් උළෙල 2කට, ලෝක ශූරතාවලි 5කට හා ලෝක කුසලාන 7කට ජර්මනිය නියෝජනය කරමින් සහභාගි වී ඇත.

රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි…..

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ.

ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණි.

එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

නව අගවිනිසුරු පිලිගැනීමේ උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වෙයි…

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විය.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.

මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය.

කොස්ගොඩදී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි…..

අද උදෑසන හයට පමණ කොස්ගොඩ දූවෙ මෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇත.එම පුද්ගලයා නිවසේ  නිදා සිටියදී පැමිණි පුද්ගලයකු මෙම වැඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දූව මෝදර  ප්‍රදේශයෙක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවකුවන විසි හතර හැවිරිදි අරුන් මෙන්ඩිස් නමැති අවිවාහක පුද්ගලයෙකි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙරළ දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස්  ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරු පැදියක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අතුරුවැල්ල පලම අසල දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අම්බලන්ගොඩ අනුරාධ.