ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්……

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඩිජිටල් ගනුදෙනුවලදී විශේෂයෙන් අපේ රටේ ගෙවීම් සහ පියවීම් සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් කාලයක් තිස්සේ සම්පූර්ණ කරලා තියෙනවා. Online Banking, QR code එක පාවිච්චි කරලා ගෙවන ඒවා රජයේ ගෙවීම්වලටත් රජය විසින් දැන් GovPay කියලා එකකින් යම්කිසි රජයේ සේවාවන්වලට ගෙවන්න පහසුකම් හදලා තියෙනවා. බදු ගෙවීමට පුළුවන් ඒ ආකාරයට. පහසුකම් තියෙනවා. නමුත් අපි දකින්නේ භාවිතය ඉතාම අඩුයි. විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටතට යනකොට අපි දකිනවා විශාල වශයෙන් තවමත් මුදල් විශේෂයෙන් නෝට්ටු සහ කාසි භාවිතයට තමයි හුඟදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි පහසු විදිහට දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට සහ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් හැමෝටම මේ මුදල් පරිහරණය ඇත්ත වශයෙන්ම අමතර කාලයක් මුදලක් වැය වෙන කාරණයක් හිතලා බැලුවොත්. විශේෂයෙන් බැංකු පද්ධතිය සහ මූල්‍ය ආයතන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරන ආයතනවලට තියෙනවා විශේෂ කාර්යයභාර්යක් මේ වගේ තැන්වලට ඇවිත් ප්‍රවර්ධනය කරනවාට අමතරව මේක යන්න ඕන ගමටම. එහෙම ගියොත් විතරයි මේ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. මේකේ අනිසි බියක් තියෙනවා මේ බදුවලට අහුවෙයි කියලා. එහෙම එකක් නැහැ බදුවලට අහුවෙනවා නම් සල්ලිවලින් ගනුදෙනු කළත් බදුවලට අහුවෙනවා නම් අහුවෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.”

අත්අඩංගුවට පත්වුන සැකකාර කාන්තාවකගේ කෝටි 03ක වත්කම් තහනම් කෙරේ….

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපොළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වනදා මෙම සැකකාරිය නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය බෝකුන්දර, පිළියන්දල ප්‍රදේශයේ වයස 36 හැවිරිදි කාන්තාවකි.

විමර්ශනයට අදාළව සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධව විමර්ශනයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයේ නඩු පවරා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය.

තවද සැකකාරිය නීතිවිරෝධී ආකාරයට උපයා ගන්නා ලද රුපියල් කෝටි 03ක පමණ මුදලින් මිලට ගත් පිලියන්දල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගිය 09 වනදා සිට දින 07ක කාලයක් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කර තිබූ අතර මේ සම්බන්ධව හෝමාගම මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු එම ක්‍රියා විරහිත කිරීමේ නියෝගය 2025.10.15 වන දින දක්වා දීර්ඝ කර බලාත්මක කර තිබේ.

මේ අතර සැකකාරිය ජුලි 29 වන දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂිකව අධික දඩ මුදලක් පැනවීමට සැරසෙයි….

මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස්කරමින් පවතින බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ දිවයින පුරා මෙවැනි අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බවය.

“පසුගිය වසර 10ක් හෝ 15ක් තුළ විශාල වශයෙන් වෙරළ කලාප තුළ අනවසර ඉදිකිරීම් සිදුකරලා තියෙනවා. අපි සමහර ඒවා කඩා දමනවා. ඇතැම් ඒවාට වාර්ෂිකව ඉතා වැඩි දඩයකට යටත් කරනවා. මේ අවිධිමත්භාවය විධිමත් භාවයට පත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.”

කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් අබියස

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 19,914.25 ක් දක්වා ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 271.77 ක හෙවත් 1.38%ක වැඩිවීමක් වේ. ඒ අනුව ඒකක විසිදහසේ මංසළකුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අද දිනයේ මෙම වර්ධනය ඉහළ දායකත්වයක් ලබා දී ඇත. විශේලේෂකයින් පවසන්නේ බොහෝදුරට මීළඟ ගනුදෙනු දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යනු ඇති බවයි.

මේ අතර S&P SL20 අද දිනයේ දී ඒකක 132.58 ක හෙවත් 2.30% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 5,894.75 ක් ලෙසින් ඒ අනුව වාර්තා වී තිබුණි.

අද දින රු. බිලියන 7.36 ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ කැපීපෙනෙන අයුරින් ඉහළ ගිය අතර එහිදී HNB, කොමර්ෂල්, DFCC හා NDB යන බැංකු සමාගම්වලින් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත්ව තිබුණි.

සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 ප්‍රසංගය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි….

රන්සිළු කලායතනය මගින් 2025.07.26 වන දින සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 නමින් නර්තන ප්‍රසංගයක් වේදිකා ගත කරන ලදී. මෙම ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උඩරට අධ්‍යනාංශයේ හිටපු අධ්‍යනාංශ ප්‍රධානී , මහාචාර්ය ධම්මිකා ලංකාතිලක මහත්මියයි.. ඊට අමතරව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ,නර්තන ගුරුවරුන් සහ නර්තන ශිල්පීන් රැසක් මෙම අවස්ථාව ඒකාලෝක කිරීමට සහසම්බන්ධ විය. උඩරට, පහතරට, නිර්මාණ, භරතනාට්‍යම් සහ නව නිර්මාණ යන නර්තන අංග රැසකින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. මෙහි සියලු නර්තන නිර්මාණයන්හි නර්තන රචනය නෘත්‍ය විශාරද, රන්සිළු කලායතනාධිපති මේධනී මධුශානි අමරතුංග මහත්මිය විසින් සිදු කිරීම විශේෂත්වයකි. දරුවන්ගේ නව්‍ය චලන ප්‍රාසාංගික වේදිකාවට ගෙන එමින් ඔවුන්ගේ නර්තන කුසලතා සමාජගත කිරීම මෙම ප්‍රසංගයේ අරමුණ විය. එය ඉතා සාර්ථක අයුරින් මෙලෙස දිගහැරුණි..

 

IMA_1652 IMA_1969 IMA_2785 IMB_6933 IMB_7902 IMB_8209

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ මතය…..

මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දී සැළකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරුන් අගමැති ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝසභාවේ ස්වාමීන්වහන්සේලා දැනුම්වත් කිරීම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජුලි 31 පැවති සාකච්ඡාවකදී අනුනාහිමිවරුන් මේ බව පැවසූහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති වැරදි මත පිළිබඳවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පවතින තත්වය සහ එහි සත්‍ය ස්වභාවය පිලිබඳව මෙහිදී අගමැති සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව විසින් අස්ගිරි මල්වතු උභය විහාරික සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළේය.

මෙහිදී අනුශාසනා සිදු කළ අස්ගිරි මල්වතු උභය විහාරික අනුනාහිමිවරුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ සාරධර්ම ඉගැන්වීම වැදගත් බවත්, වෘත්තීය වශයෙන් මෙන්ම මානූෂිය වශයෙන් දරුවන් තුළ වර්ධනය කළ යුතු අංශ පිලිබඳවත් අවධාරණය ක⁣ළහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගාමීව පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදුකළ යුතු වෙනස්කම් පිලිබඳවද මෙහිදී අදහස් පළ කළහ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රි උපාලි නායක ස්වාමීන්වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රි සරනංනකර විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙරට වාණිජ ප්‍රවාහනය පරිවර්තනයට ලක් කිරීමට, සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC), ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන ATUL ඔටෝ ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින්, ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මානයකට ගෙන ඒමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, නවීනතම ත්‍රිරෝද රථ පෙළක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇත.

වසර 60කට වැඩි අත්දැකීම් ඇති, රටවල් 24කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති ATUL Auto සන්නාමය, විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති කල්පවත්නා, ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට පහසු ත්‍රිරෝද රථ නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලයි. මෙම හවුල්කාරිත්වය හරහා, සොෆ්ට්ලොජික් සමාගම දේශීය වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන ප්‍රධාන ත්‍රිරෝද රථ මාදිලි තුනක් දියත් කරනු ඇත: එනම්, පෙට්‍රල් මගින් ක්‍රියාත්මක වන, ආකර්ෂණීය සහ අයවැය හිතකාමී මගී රථයක් වන Atul RIK; ඩීසල් මගින් ක්‍රියාත්මක වන, වාණිජ ප්‍රවාහනයට සුදුසු ඉඩකඩ සහිත මාදිලියක් වන Atul GEM Paxx; සහ භාණ්ඩ බෙදාහැරීම්, කෘෂිකාර්මික සහ සැපයුම් කළමනාකරණ (logistics) යෙදවුම් සඳහා නිපදවා ඇති, ශක්තිමත්, අධික බර රැගෙන යා හැකි Atul GEM Cargo මාදිලියයි.

මෙම සහයෝගීතාව ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වන මොහොතකය. විශේෂයෙන්ම, වර්තමානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ අවසාන සැතපුම් සම්බන්ධතාවය (last-mile connectivity) වෙනුවෙන්, මිල දැරිය හැකි, විශ්වාසනීය සහ ඉන්ධන කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් සඳහා වූ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින යටිතල පහසුකම් අභියෝග හමුවේ, අඩු නඩත්තු පිරිවැයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත වාහන සඳහා වෙළෙඳපොළේ ප්‍රමුඛතාවය වර්ධනය වී ඇත. සරල යාන්ත්‍රික පද්ධති, වායු සිසිලන එන්ජින් සහ අධි බලැති චැසියක් සහිත ATUL වාහන පෙළ, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද විශ්වාසනීය කාර්ය සාධනයක් සහ අඩු මෙහෙයුම් පිරිවැයක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ATUL ඔටෝ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ නීරාජ් චන්ද්‍ර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවට ATUL වාහන හඳුන්වා දීම සඳහා සොෆ්ට්ලොජික් වැනි ගෞරවනීය හා ඉදිරිගාමී ව්‍යාපාරික සමූහයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක්. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ආයතනයක් ලෙස, අපි ඉදිරිපස සහ පසුපස එන්ජින් වින්‍යාසයන් දෙකෙන්ම පෙට්‍රල්, ඩීසල්, LPG සහ විදුලි මාදිලි පිරිනමන්නෙමු. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ බලගන්වමින්, ආර්ථික වර්ධනයට සහ ප්‍රවාහන පහසුකම් වර්ධනයට දායක වන විශ්වාසදායක සහ දැරිය හැකි මිලකින් යුතු විසඳුම් සැපයීම අපගේ මෙහෙවරයි.” යනුවෙන් පැවසීය.

පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කිරීම පිණිස, ATUL දැනටමත් සිය තාක්ෂණික විශේෂඥයින් කොළඹට යොදවා ඇති අතර, වාහන ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතර කොටස් වල ස්ථාවර සැපයුමක් ද ස්ථාපිත කර ඇත. “ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට පමණක් නොව, ආරම්භයේ සිටම ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කිරීමට ද අපි කැපවී සිටිමු,” යනුවෙන් චන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම හවුල්කාරිත්වය යටතේ හඳුන්වා දෙන සියලු වාහන සඳහා මාස 24ක හෝ කිලෝමීටර් 25,000ක පුළුල් වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් හි පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලය හරහා අඛණ්ඩ සහාය හිමිවනු ඇත.

සොෆ්ට්ලොජික් හි මෝටර් රථ අංශයේ (Automotive Sector) ප්‍රධාන විධායක නිලධාරී, බිෂ්රි ෆාරුක් මහතා අවධාරණය කළේ, “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට නව්‍ය සහ තිරසාර ප්‍රවාහන විසඳුම් ගෙන ඒමේ අපගේ උපායමාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයකි. ATUL රථ පෙළ, ප්‍රායෝගිකත්වය සහ විශ්වසනීයත්වය මනාව සමතුලිත කරමින්, මගී සහ භාණ්ඩ ප්‍රවාහන අංශ දෙකම සඳහා අතිවිශිෂ්ට වටිනාකමක් ලබා දෙයි.” යනුවෙනි.

ATUL හි එකම බලයලත් බෙදාහරින්නා වන සොෆ්ට්ලොජික්, ශ්‍රී ලංකාව තුළ ATUL හි ව්‍යාප්තිය මෙහෙයවීමට සූදානමින් සිටින අතර, ඒ සඳහා, ක්ෂණික වාහන ලබා ගැනීමේ හැකියාව සහ පූර්ණ සේවා යටිතල පහසුකම් දැනටමත් ස්ථාපිත කර ඇත. සොෆ්ට්ලොජික්-ATUL හවුල්කාරිත්වය, ඩීසල් මගී සහ භාණ්ඩ අංශවල ප්‍රමුඛයා වීමේ උසස් සැලසුම් සමඟින්, සියලු දෙනාටම පහසුවෙන් ළඟා විය හැකි, ප්‍රායෝගික ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, මෙය දිවයිනේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද අතිශය වැදගත් දායකත්වයක් සපයනු ඇත.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ගතික සහ ප්‍රගතිශීලී විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරවලින් එකක් වන අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා, මෝටර් රථ සහ සංචාරක කටයුතු යන ප්‍රධාන අංශ හයෙහිම වෙළඳපල ප්‍රමුඛත්වය දරයි. ශ්‍රී ලංකාව, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව පුරා සේවකයින් 11,000 කට අධික ශ්‍රම බලකායක් සමඟින් ක්‍රියාත්මක වන මෙම සමූහය, උපායමාර්ගික ආයෝජන සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම සමඟ ඇති ගෝලීය හවුල්කාරිත්වයන් හරහා දිගුකාලීන වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව වෙනුවෙන් පුළුල් ලෙස පිළිගැනේ.

 

IMG-20250801-WA0004 IMG-20250801-WA0005 IMG-20250801-WA0006 IMG-20250801-WA0007 IMG-20250801-WA0008 IMG-20250801-WA0009

කථානායක නිල නිවස ගැන නව තීරණයක්…..

කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට  පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිව තිබේ.

ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.

පසුගිය 24 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදී මේ පිළිබද සාකච්ඡා කෙරිණි.

රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම  යෝජිත මධ්‍යස්ථානය මගින්, උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

වසරේ මේ දක්වා කාලය තුළ විදේශ රැකියා පැමිණිලි 2620ක්…..

මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්‌යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය මාස 7 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 567ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2620ක් කාර්යාංශයට ලැබී ඇත.

එමෙන්ම මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද වැටලීම් ප්‍රමාණය 05ක් වන අතර, ඊට නීති විරෝධි ක්‍රියාවල යෙදුණු එක් බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක්ද අයත් වේ.

මෙම කාලය තුළදී වංචනිකයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 07ක්ද ඊට අයත් වේ.

මේ අතර, 2024 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 1825කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයින්ට යළි අය කර දීමට කාර්යාංශය සමත්වී ඇති අතර, පසුගිය වර්ෂයේදී විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 4658ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දී ඇත.

පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද  විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

2028 ඔලිම්පික් ක්‍රිකට් සිහිනය ශ්‍රී ලංකාවට බොද වෙයිද ?

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.

එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕෂනියාවෙන් ඔස්ට්‍රේලියාව, යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව හිමිවනු ඇත.

ඉතිරි කණ්ඩායම් ද්විත්වයෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇත.

මේ හේතුවෙන් සියවසකට වැඩි කාලයකට පසු ඔලිම්පික් උළෙලට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාව” ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජිකයින්ට අහිමි වනු ඇති බව වාර්තා වේ.

අවසන් වරට ඔලිම්පික් උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී තිබුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලටය.

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග එම වසරේ ජූලි 12 සහ 29 කාලසීමාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි කාන්තා ඉසව්වක්ද පැවැත්වෙන අතර, ඒ සඳහාද කණ්ඩායම් 6කට අවස්ථාව සලසා දී ඇත.

තරග විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.