නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් වෙන්නේ නෑ – අගමැති හරිනි…..

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්,  ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ ඊයේ (02) පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය,

“සාම්ප්‍රදායික් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශ්‍රාස්ත්‍රිය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්න උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් කටයුතු කරනවා. 

තවමත් සමහර පිරිස් වැරදි මතවාද අරගෙන යනවා ඉතිහාසය හා ආගම සහ සෞන්දර්යය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට, ඒ  සාවද්‍ය ප්‍රකාශවල කිසිඳු පදනමක් නැහැ. ඉතිහාසය සෛෟන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත් කර නැහැ. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරනවා. 

වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්‍රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. 

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වනවිටත් සාදා නිම කළ  අවසන් ප්‍රතිසංස්කරණය නෙමෙයි.”

විෂය ප්‍රවීණයන්,ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැරකරමින් පියවරෙන් පියවර ඉදිරියට සිදු කරන්නට නියමිත ප්‍රතිසංස්කරණයක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරත් පෙන්වා දුන්නාය.

කළුතර දිස්ත්‍රික් යොවුන් සම්මේලනය යුධ පිටියක් වෙයි.නිළවරණය ආවරණයට මාධ්‍ය වලට ඉඩ නැහැ……

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලන කළුතර දිස්ත්‍රික් සම්මේලනය අද(03) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තරුණ සමුළුව ආරම්භ කිරීමට ප්‍රථම බේරුවල යොවුන් බලමණ්ඩලයේ හිටපු උප සභාපතිවරයා පූර්ණ සච්චදිත් අලහකෝන් මාධ්‍යයට අදහස් පල කරමින් සිටියදී ජාතික ජන බලවේගයේ පිරිසක් එයට බාධා කරමින් අදහස් පල කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය

එම උණුසුම්කාරී තත්ත්වයත් සමඟ හිටපු උප සභාපතිවරයා කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉදිරි 2025-2026 වසර සඳහා නව දිස්ත්‍රික් නිලධාරී මණ්ඩලය සභාපති කවිදු පියුමාල් -මදුරාවල
භාණ්ඩාගාරික විකුම් වින්දීප කළුතර, සංවිධායක දිනූ බිම්සර බේරුවල, උප සභාපති විශ්ව තරංග මතුගම, පත්විය. මෙම පත්වීම් සියල්ල මාධ්‍යට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොතිබිණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් එස්.තිරිමාන්න මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හා දිස්ත්‍රික් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් youth club යෞවන සමාජය දිස්ත්‍රික් සම්මේලනය හා නිල වර්ණය පැවැත්විය.

2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු……

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාවට භාර දීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසාන දිනය පසුගිය ජුනි මස 30 වැනි දින වන බවය.

කෙසේ නමුත් මේ මස 31 දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාර දීමට අපොහොසත් වන නිලධාරීන් හට 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

2025.06.30 දින සිට 2025.08.31 දින දක්වා භාරදෙනු ලබන ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩ අය කිරීමක් සිදුකරන බවත් ඒ අනුව මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානියාට භාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද එම කොමිසම නිවේදනය කර තිබේ.

එමෙන්ම තවදුරටත් ජුනි පස 30 දිනට පසුව ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානී විසින් භාරගත යුතු බවත් යම් හෙයකින් ආයතන ප්‍රධානීන් විසින් එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දන්වා සිටින ලෙසත් එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

පාකිස්තාන – අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය වසර 2කට කල්යයි

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන – අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය 2027 වසර දක්වා කල් දැමීමට සිදුව තිබේ.

තරග කාලසටහන්වල ගැටලුවක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

විස්සයි විස්ස තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අයර්ලන්ත කණ්ඩායමේ පළමු පාකිස්තා තරග සංචාරය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අදාළ සැලසුම් 2024 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාදනය සඳහා රුපියල් මිලියන 500ක්…..

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම කාර්යාලයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා විෂය භාර ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා. 2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාදන අරමුදලින් රුපියල් මිලියන 300ක් වශයන් රුපියල් මිලියන 500ක් මේ වසරේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබසාදනය සඳහා රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

▲ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සංශෝධනය කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම.

▲ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීම.

▲ සියළුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්තාන නව මාර්ගෝපදේශන අනූව ලියාපදිංචි කිරීම.

වැනි කරුණු පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා සඳහන් කළේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සියළුම වැඩිහිටියන් සඳහා සුව පහසු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් උරුමකර දීම වෙනුවෙන් වගකිය යුතු ප්‍රධාන අමාත්‍යංශය ලෙස හා ආයතනය ලෙස විශාල වගකීමක් පැවරී තිබෙන බවයි. ඒ වෙනුවෙන් සියළු දෙනා කැප විය යුතු බවද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු එම කාර්යාලයේ සියළුම නිළධාරීන් එම අවස්තාවට සභාගිව සිටියා.

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, වත්මන් හා හිටපු රජයේ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික නායකයින් ඇතුළුව දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මේ අතර අගෝස්තු 2 වන දින රාත්‍රිය නිමාවට පත් වූයේ සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන්ගේ රංගනයෙන් වර්ණවත් කරමින් මෙරට සුවහසක් ජනතාවට අද්විතීය මෙන්ම අමතක නොවන ජාත්‍යන්තර තලයේ විනෝදාස්වාද අත්දැකීමක් ද ලබා දෙමිනි.

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති City of Dreams Sri Lanka මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

City of Dreams Sri Lanka, Cinnamon Life හි කාමර 687 ක් සහ Nüwa සන්නාමය යටතේ අධි සුඛෝපභෝගී කාමර 113 ක් ඇතුළුව කාමර හා සුඛෝපභෝගී කාමර 800 කින් සමන්විත වෙයි. තවද මෙහි පාරිභෝගිකයින්ට උසස් තත්වයේ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සඳහා Shoppes නමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළ පෙළේ සිල්ලර සන්නාමවලින් සමන්විත සුඛෝපභෝගී වෙළඳ සංකීර්ණයක් ද ඇත.

මීට අමතරව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුලින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එමෙන්ම විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන MICE කාණ්ඩයේ සියලු පහසුකම්වලින්ද එය සමන්විත වේ.

තවද City of Dreams Sri Lanka දෙස් විදෙස් අමුත්තන් හට ලොව සුපතල සූපවේදීන් විසින් නිර්මාණය කරනු ලබන අද්විතීය හා ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් පිරිනමනු ලබන අතර ප්‍රසංග, සංස්කෘතික උත්සව සහ සුවිශේෂී සංදර්ශන සඳහා වෙන් වූ විශේෂ ස්ථාන ද එයට ඇතුළත් වේ. City of Dreams Sri Lanka හි සෑම අංශයක්ම තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, උසස් පරිසර හිතකාමී තාක්ෂණයන් භාවිතා කරමින් සහ ශ්‍රී ලංකාව කෙරෙහි දිගුකාලීන ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සහාය වෙමින් නිර්මාණය කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කරයි……

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය.

රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ  කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

2024/2025 ආදායම් වාර්තා ලබා දීමට තිබූ PIN අංකයේ කාලය දීර්ඝ කෙරේ

024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීම් අංකය (PIN) වලංගු කාලය දීර්ඝ කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි වලංගු කාලය එළැඹෙන නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 01

ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි……

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය.

මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි.

තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි.

ඒ අතරින් සංචාරකයින් 279,122ක් ඉන්දියාවෙන්, 131,377ක් රුසියාවෙන් සහ 115,470ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

දළදා මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය.

සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි.

කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය.

පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි.

අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.