පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය…..

පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මම හරි පැහැදිලිව කිව්වා EPF සහ ETF අරමුදල් දෙකේ වෙනස. අපි EPF එක  විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා මම කිව්වේ නැහැ. මම කියපු එක වැරදි විදියට ගියා..මේ EPF එක තියෙන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන්. අපි අවධානය යොමු කරලා තිබෙනවා පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන්. එහෙම නැතුව EPF අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා කිව්වේ නැහැ.”

ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි…..

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගීවූ අග්‍රාමාත්‍යවරිය අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු විවාදයට එක්වීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

“ජනාධිපති අයින් කරගන්න බැරි වුණා. අඩුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කළා නේ. කෝ ඉතින්. මං මේ අද උදේ ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. ගේන්නේ නැද්ද?. අපරාදේ. අපි ලෑස්තිවෙලා හිටියේ.” 

“විශ්වාසභංග යෝජනාව ඔබතුමාලා ගෙන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කළාම අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා..අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්.”

මීළඟ පාර්ලිමේන්තු‍ සතියේ වැඩ වෙන හැටි……

පාර්ලිමේන්තුව ලබන මස 03, 05 සහ 6 යන දිනවල රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මෙම දින තුනෙහි පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1  සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර
පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

2026 පෙබරවාරි 3 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) විවාදයට ගැනේ.

2026 පෙබරවාරි 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා තත්‍ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත.

එසේම පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති  කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්‍ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ   දෙවැනිවර කියවීමේ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සිදු කෙරෙනු ඇත.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ.

ඒ අනුව හේෂා විතානගේ, චමින්ද විජේසිරි, රවී කරුණානායක, ලාල් ප්‍රේමනාත්, රෝහණ බණ්ඩාර, නලින් බණ්ඩාර ජයමහ සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් යෝජනා විවාදයට ගනු ඇත.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය) විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

වෛද්‍ය වර්ජනය හෙටත්…..

රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ද අද පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ හංසමාල් වීරසූරිය මහතා
”අපි මේ ඉල්ලන්නේ හෙට පඩි වැඩි කරලා දෙන්න කියලද? නෑ. මේ ඉල්ලීම් ඇතුලේ සත පහක්වත් වියදම් වෙන්නේ නැති යෝජනා අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඇයි රජයට බැරි ඒ යෝජනා ටික කරලා දෙන්න. අඩුම තරමේ මේ සඳහා සාකච්ඡාවක්වත් දෙන්න මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශය ලෑස්ති වෙලා නෑ. අපිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න තැනට ආණ්ඩුව විසින් තල්ලු කරලා තියෙන්නේ. ”

2026 අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලුවලට නිසි විසඳුම් ලැබී නැතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම අයවැය සමයේදීම වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් වෙත ලබාදුන් ලිඛිත එකඟතා මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය පසුගිය නොවැම්බර් 28 වැනිදා තාවකාලිකව අත්හිටුවූවා.

එලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතා අතර

1.සියලු කාණ්ඩවල වෛද්‍යවරු ඇතුළත් කරගනිමින්” ශ්‍රී ලංකා වෛද්‍ය සේවය”නමින් සුවිශේෂි සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන ඉදිරි කටයුතු සිදුකිරීම.
2. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
3.22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳීම
4.අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත්කිරීම
5.පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳීම

යන කරුණු ඇතුළත් විය.

ඒ අනුව මෙම කරුණු කාල රාමුවක් සහිතව විසඳීම සඳහා පසුගිය ජනවාරි 05වැනිදා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නමුත් එහිදි ද නිසි විසඳුමක් නොලැබුණු බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී තීරණය කර ඇත්තේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටය.

ඒ අනුව අද පෙරවරු 8 සිට පැය 48ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ.

එම සංගමය නිවේදනය කරන්නේ වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්,පිළිකා රෝහල්,වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක නොවන බවය.

එමෙන්ම මෙම පැය 48 තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔවුන් නිවේදනය කර සිටී.

කෙසේවෙතත් අද උදෑසන ඇරඹි වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක කටයුතුවලට ඉන් බාධා එල්ල විය.

වර්ජනය හේතුවෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවලටය.

මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට…..

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදීය.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරයි.

අදාළ සැකසහිත බහුදින ධීවර යාත්‍රා දෙක මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.

ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ……

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (23) විවෘත කෙරුණි.

ඒ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙනි.

උතුරු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ හා නවෝත්පාදන වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය වැනි කාර්යයන් මෙම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ.

මුල් අදියරේදී රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතවත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන 24ක් මෙලෙස පිහිටුවීමට නියමිතය.

කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි…..

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2025 වසරේදී සමත්වී තිබේ.

තානාපති කාර්යාලය මගින් මෙලෙස ලබාගෙන ඇති මුළු වන්දි මුදල රුපියල් 197,719,710.36ක් බව වාර්තා වේ.

ඉන් රුපියල් 23,641,182.00ක මුදලක් තානාපති කාර්යාලය හරහා සෘජුවම අදාළ පවුල් වෙත ලබා දී ඇත.

ඉතිරි රුපියල් 174,078,528.36ක මුදල මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

විශේෂයෙන්ම 2014 වසරේ සිට විසඳීමට නොහැකිව තිබූ නඩු කිහිපයකට අදාළ වන්දි මුදල් ද මෙවර ලබා ගැනීමට හැකිවූ බව සඳහන් ය.

කෙසේවෙතත් පසුගිය 2024 වසරේදී ද මෙම තානාපති කාර්යාලය රුපියල් මිලියන 172කට අධික වන්දි මුදලක් ශ්‍රී ලාංකික පවුල් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දැනුවත් කරයි…..

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයන උපායමාර්ගික ප්‍රමුඛතා සහ වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා දූත මණ්ඩලවල කාර්යභාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සැසියට විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අලුතින් පත් වූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් රැසක් සහභාගී වූහ. ඒ අතර මැලේසියාවේ මහා කොමසාරිස් දර්ශන එම්. පෙරේරා මහතාජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ ස්ථිර නියෝජිත ඩී.එම්.එස්.පී. දසනායක මහතාඔස්ට්‍රියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ ස්ථිර නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මියරුමේනියාවේ තානාපති එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතාඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ තානාපති එන්.අයි.ඩී. පරණවිතාන මහත්මියඊශ්‍රායලයේ තානාපති සමන් කුමාර චන්ද්‍රසිරි මහතාකෙන්යාවේ මහා කොමසාරිස් ධම්මික ප්‍රනාන්දු මහතා සහ පලස්තීනයේ නියෝජිත එම්. ෆවුසර් ෆාරුක් මහතා ද වියමීට අමතරවලෙබනනයේ තානාපති අනුර විතානගේ මහතාඉරානයේ තානාපති මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මහත්මියලොස් ඇන්ජලීස් හි කොන්සල් ජනරාල් බී.ඒ.ඩී.ඒ.පී. පෙරේරා මහත්මියටොරොන්ටෝ හි කොන්සල් ජනරාල් එස්.ඩී.එම්. පීරිස් මහත්මියජෙඩා හි කොන්සල් ජනරාල් එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතා සහ ඩී.ඩී.පී. සේනානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියාකාරීත්වය සහ ජාතික ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. නව වෙළඳපල අවස්ථා හඳුනා ගැනීම, වෙළඳ බාධක ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපල සමඟ සම්බන්ධතා ඇති කර දීම සඳහා විදේශ දූත මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර සමීප සම්බන්ධතාවයක ඇති වැදගත්කම ඔහු අවධාරණය කළේය.

වෙළඳපල සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා සෞම්‍යා කන්නන්ගර මහත්මිය විසින් ද්විපාර්ශ්වික වෙළඳ ප්‍රමුඛතා සහ අපනයන හැකියාවන් ඇති ක්ෂේත්‍ර පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන ලදී. මෙම වැඩසටහනේ විශේෂ අවධානයක් යොමු වූයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026″ (Sri Lanka Expo 2026) ප්‍රවර්ධනය කිරීම කෙරෙහිය. විදේශීය වෙළඳ සංවිධාන සහ ගැනුම්කරුවන් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී කරවා ගැනීමට දූත මණ්ඩල ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බව එහිදී ප්‍රකාශ විය.

වැඩසටහන අවසානයේදී, අලුතින් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධන මුලපිරීම් සඳහා සහාය වීමටත්, ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමටත්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 වැනි ජාතික වෙළඳ ඉසව් ප්‍රවර්ධනය කිරීමටත් සිය කැපවීම ප්‍රකාශ කළහ. තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා රටේ අපනයන වෙළඳපල පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ දූත මණ්ඩල අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී එකඟතාවය පළ විය.

හේලීස් අතුරු ලාභාංශයක් සහ හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කරයි…..

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2026 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී එක් කොටසක් වෙනුවෙන් රු. 6ක ලාභාංශයක් නිවේදනය කර ඇත.

මේ අතර මීට සමගාමීව සමාගම විසින් රු. බිලියන 9ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ. දැනට පවතින ඡන්ද බලය හිමි සෑම කොටස් 50කටම 3ක් බැගින් වන පරිදි මෙම හිමිකම් නිකුතුව සිදුකෙරෙන අතර එහිදී කොටස් මිලියන 45ක් අලුතෙන් නිකුත් කෙරෙනු ඇත. ඒ එක් කොටසක් රු. 200 බැගිනි.

සමාගම පවසන්නේ යෝජිත නව ආයෝජනයන් සහ පවතින ණයවලින් කොටසක් පියවීම වෙනුවෙන් මෙම අරමුදල් භාවිත කිරීමට නියමිත බවයි.

හේලීස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ සමසභාපති හා අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා ඉහත ඡායාරූපයෙන් දැක්වේ. හේලීස් පීඑල්සී පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු වන අතර සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් කොටස් මිලියන 382.59 ක් හෙවත් 51.01%ක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.

‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක්….

‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඊට අදාළ චෙක්පත කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.