සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය……

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත කිරීමට ඉඩ සලසාදීම සමාගමක නම වෙනස් කරන විට මහජනයාට දැනුම් දීමේ කාල සීමාව වැඩ කරන දින 20ක් දක්වා දීර්ඝ කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම තහනම් කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳ සමාගම වෙත දැනුම් දීම හා බලපත්‍ර දරන්නාගේ තොරතුරු සමාගම් ලේකම් වෙත පනතේ දින සිට දින 60 ක් ඇතුළත හෙළිදරව් කිරීමේ වගකීම එම බලපත්‍ර දරන්නා වෙත පැවරීම, ප්‍රතිෂ්ඨාව ලැබීමෙන් පසු සමාගමක් විසින් ප්‍රතිෂ්ඨාව ලද දින සිට දින 20ක් ඇතුළත කොටස් විභජනය කළ යුතු වීම මෙම පනතේ විධිවිධානවල ඇතුළත්  වේ.

තවද කොටස්වල “අර්ථලාභී අයිතිය” සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දීම, එනම් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු, ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් විස්තර රෙජිස්ට්‍රාර්වරයාට හෙළිදරව් කිරීම, රෙජිස්ට්‍රාර්වරයා විසින් එම තොරතුරු පිළිබඳ වාර්තා තබා ගැනීම, සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්වරයා විසින් මහජනතාව වෙත ලබා දීම, සමාගමක් හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ විස්තර රාජ්‍ය බලධාරීන් වෙත ලබා දිය යුතු බව සහ “අර්ථලාභී අයිතිය” සහ “සඵල පාලනය” සඳහා නව අර්ථකථන ඇතුළත් කිරීම මෙම පනත සංශෝධනය කිරීම මගින් සිදුවේ.

එමෙන්ම ඇතැම් ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සමාගමකට ලබා දෙන කාල සීමාවක් දීර්ඝ කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය ලබා දීම, නම කපා හරින ලද සමාගමකට නිශ්චිත කාල සීමාවක් තුළ නැවත ලියාපදිංචි වීමට සහ රජය සතු කරන ලද එහි දේපළ නැවත ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම, ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා සමාගම් ආරවුල් මණ්ඩලයට යොමු කිරීමේ හැකියාව පුළුල් කිරීම, සමාගම් අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් පන්තියකට මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා දිරි දීමනා ගෙවීමට ප්‍රතිපාදන සැලසීම,  සාමාන්‍ය දඬුවම් සඳහා විධිවිධාන සැලැස්වීම සහ  ප්‍රධාන ප්‍රඥප්තියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පාඨවල දෝෂ නිවැරදි කිරීම සඳහා උපලේඛනයක් සැපයීම මෙම පනත සංශෝධනය මගින් සිදුවේ.

මෙම සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජුනි මස 05 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 12  දරන  සමාගම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වැඩකල කළුතර පොලිස් නිළධාරියෙක්ට පහර දීමක්….

වෙනිවැල්කැටිය,කළුතර දකුණ. ප්‍රදේශයේ කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විරෝධතාවයක් දක්වමින් නිහඩ සේවයක් කල පොලිස් නිලධාරියෙකුට මත්ද්‍රව්‍ය ආවාරම් කරන පිරිසක් එකතුවී පහරදීමෙන් තුවාල ලබා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එගොඩ උයන පොලිසියේ සේවයේ නියුතු ජයනාත් සංජීව නැමති නිලධාරියෙකි.

කළුතර ගල්පාත චන්දන පෙරේරා

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ  2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහාය.

එහිදී අදහස් දක්වමින් චාමර සම්පත් මහතා පැවසුවේ පසුගිය 2024 වසරේදී ගැසට් නිවේදනයක් මගින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බවය.

නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබා නොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

ඒ අනුව මේ තුළින් දූෂණයක් සිදුව ඇතැයිද ඒ සම්බන්දව පොලිසිය භාර අමාත්‍යවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා,

“2024 පොලීසියට SIලා බඳව ගන්න ගැසට් එකක් ගැහුවා. 2024.05.09 යෝග්‍යතා පරීක්ෂණයක් තිබ්බා ඇප්ලිකේෂන් 18,000ක් ආවා. යෝග්‍යතා පරීක්ෂණයෙන් 6,000ක් තෝරගෙන විභාගයට වාඩි වුණා. ඒකෙන් අවසන් සම්මුඛ පරික්ෂණයට 3,000ක් වාඩි වුණා. වෛද්‍ය පරීක්ෂණ, මත්ද්‍රව්‍ය පරීක්ෂණ තියලා හරියටම 100ක් තෝරගෙන තිබුණා. මේ 100 තෝරගෙන පත්වීම් දෙන්න 2024.11.20 සූදානම් කරලා තිබුණා. ඒ සූදානම් කරලා තිබුණාට පස්සේ අද වෙනතුරු මේ පත්වීම් දෙන්නේ නෑ පොලීසිය භාර ඇමති සහ පොලිස් දෙපාර්තමේන්තුව. මේක හරි අසාධාරණයක් මේ 100ක් පොලිස් පරීක්ෂකවරු බඳව ගන්න මේ පරීක්ෂණයෙන් පස්සේ මේකට වියදම් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්. මේකේ දූෂණයක් වෙලා තියෙනවා. මේවා නවත්වලා පත්වීම් නොදී ඉඳලා මේගොල්ලෝ ලෑස්ති වෙනවා අලුතින් ගැසට් කරලා අලුතින් පත්වීම් දෙන්න. එතකොට මේකට වියදම් කරපු මුදල් කාගේ මුදල්ද? මේවා රජයේ මුදල්. ඒකයි මම අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේවා වෙනුවෙන් වියදම් කරපුවා අල්ලස් කොමිසම මේ හැම එකක් ගැනම මේ ගැනත් පරීක්ෂණ කරන්න. පොලිසිය භාර ඇමති හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් වෙනුවෙන් තමයි පැමිණිල්ල දැම්මේ. එතකොට 2024 තිබ්බේ ශ්‍රී ලංකා පොලීසිය නෙමෙයිද ? මම මේ අසාධාරණය වෙනුවෙන් තමයි මම මේ පැමිණිල්ල දැම්මේ.”

අත්සන් කළ ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් 07 බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ….

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා CID යට…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්ය.

පද්මේගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට මරණ තර්ජන…..

තම සගයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබේ.

ඊයේ (03) රාත්‍රී8.45ට පමණ කෙහෙල්බද්ද පද්මේ විසින් මෙම ඇමතුම ලබාදී තිබුණි.

කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන 39 හැවිරිදි ගම්පහ දේවා නැමැත්තා ඊයේ (03) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අවස්ථා කිහිපයකදී කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාව රුසියාවේදී හා තායිලන්තයේදී හමු වී ඇති අතර, මෙවරද ඔහු තායිලන්තයට යාමට සූදානම් වී ඇත්තේ පද්මේ හමුවීම සඳහා බවට පොලීසිය සැකපළ කළේය.

අදාළ සැකකරු මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා සහ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙමින් පවතී.

එවන් පසුබිමක දුරකථන ඇමතුමක් ලබාදෙමින් කෙහෙල්බද්දර පද්මේ කියා සිටියේ, “ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්…අපිත් ප්ලේ කරන්නේ ගේම් එකක්නේ. හරිවිදියට මේක කරන්න කියන්න. ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද? කරන්න ඕන දේ ඔබතුමත් දන්නවා නේ. අපි කොහොමත් මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නේ අපි මැරෙන්න බය නෑ.” යනුවෙනි.

මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා පවසා සිටියේ, “මොකද්ද ළමයෙක් ගැන කියලා කියන්නේ. මොකද්ද කෙරෙන්න ඕනේ. අපිත් බය නෑ. තමුසේ හිතන්න එපා තමුසේගේ මරණ වරෙන්තුවට මම බය වෙයි කියලා. ලංකාවට ඇවිත් කතා කරමු අපි දෙන්නා. නීතිය තමා ක්‍රියාත්මක වෙන්නේ.” යනුවෙනි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියේ සැකකරුවෙකුගේ ඇප ඉල්ලීම ගැන නියෝගය කල්යයි…..

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය දැනුම් දුන්නේ එම නියෝගය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියේ පළමු සැකකරු ලෙස පෙත්සම්කාර ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නම් කර ඇත.

වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සැකකරු සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝග ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 20000 ඉක්මවයි…..

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

තවත් මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගනී

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇත.

මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් යයි……

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබීය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.