කීර්තිබණ්ඩාරපුර ට්‍රැෆික් OIC අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට…

කීර්තිබණ්ඩාරපුර රථවහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථානාධිපතිවරයා ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (05) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ  වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.

වඳුරෙක් නිසා සිදු වූ විදුලි බිඳවැටීම ගැන PUCSL ප්‍රසිද්ධ විභාගයක්…..

ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් දිවයිනටම විදුලිය විසන්ධි වූ බව කියන සිද්ධියට අදාළව මහජන උපයෝගීතා කොමිසම සිදුකරන ප්‍රසිද්ධ විභාගය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අද පෙරවරුවේ ප්‍රකාශ ලබාදුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 09 වනදා දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.

එම අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් විදුලි බිඳවැටීම සිදුවූ බවය.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට එවක විදෙස් මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබුණි.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් ලබා දී තිබෙන වාර්තා පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් නැවත විමර්ශනයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කළේය.

ඒ අනුව අදාළ ප්‍රසිද්ධ විභාගය අද පෙරවරු 8.30ට පමණ ආරම්භ කෙරුණ අතර එය පස්වරු 6 දක්වා පැවැත් වේ.

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමේ විවාදය ඇරඹේ….

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවේ දී විවාදය ට ගෙන තිබේ.

යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව  සම්මත කර ගැනීමට හැකියාව හිමි වේ.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්…..

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

ඇමති විජිතගේ සංචාරක ආදායම ගැන නියෝජ්‍ය ඇමති කියූ කතාව…..

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයින් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (04) පැහැදිළි කිරීමක් සිදු කළේය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු වාර්තාවට ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව සඳහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.7ක් ලෙස බවය.

කෙසේ නමුත් ජූලි මාසයේ දත්ත මීට ඇතුළත්ව නැති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජූලි මාසයේ ගත්තාද එවැනි ආදායමක් ලැබෙනු ඇති බව තමන් නොසිතන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා,

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය….. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ.”

ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරිය වැඩ භාරගනී…

ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස පත්වු අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය සිය තනතුරේ වැඩ බාරගැනීම අද (04) පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිදුවිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇත බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන,සංස්කෘතික හා කළා කටයුතු,ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියදි ඌවේ ප්‍රධාන ලේකම් තනතුරට පසුගියදා පත්විය.

මානව ප්‍රේමීය ජන සමාජයක් උදෙසා “ඌව එකට” සංකල්පය පෙරදැරි කරගෙන ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ සියලු නිලධාරින්ගේ සහයෝගය සංවිධාන ශක්තිය කැපවීම සමග අන් සියලු පළාත් වලට ආදර්ශයක් වෙමින් විශිෂ්ටතම ජනතා හිතවාදි පරිපාලනයක් ගොඩ නගිමින් ‌‌ඓතිහාසික ඌව වෙල්ලස්ස ගොඩ නැගීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බව ඇය නිලධාරින් හමුවේ ප්‍රකාශ කරන ලදි.

1970 මාර්තු 12 දින උපත ලද අනුෂා ගෝකුළ මහත්මිය 2000  වසරේදි ශ්‍රී ලංකා පරිපාලන සේවයට
එක්ව මේ දක්වා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන රැසක ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේන පරිණත කළමණාකරන වේදිනියකි,

ඇය මාධ්‍යවේදිනියක, නිදහස් ලේඛකයෙකු, උපදේශකයෙකු, කථිකාචාර්යවරියක, සම්පත්දායකවරියක සහ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි මනා දැනුමකින් කටයුතු කරමින් ග්‍රන්ථ 45 කට වැඩි ගණනක කතෘවරියකද වේ.

රාජ්‍ය සේවය තුළ ඇය අධ්‍යක්ෂ ජනරාල් මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව,අතිරේක ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සමාජ සේවා අධ්‍යක්ෂ, ග්‍රාම සංවර්ධන හා පුහුණු පර්යේෂණ ආයතනය නියෝජ්‍ය අධ්‍යක්ෂ,ග්‍රාම සංවර්ධන අභ්‍යස හා පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ,සභාපති ජාතික චිත්‍රපට සංස්ථාව,අතිරේක ලේකම්,‍ ධීවර අමාත්‍යාංශය,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභාව, ආදි විවිධ ආයතන වල ප්‍රධාන තනතුරු රාශියක් දරමින් කටයුතු කර තිබේ.

රටටම Starlink දෙන්න ඊලෝන් මස්ක් සමඟින් ධම්මික පෙරේරා එක්වෙයි

නොබෝදා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමි වූ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ.

සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙන අතර ඉතා නුදුරේ දීම මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර Starlink Sri Lanka Official ෆේස්බුක් පිටුව විසින් මේ බව තහවුරු කරමින් පහත නිවේදනය පළ කර ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී යනු මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමකි. සිංගර් (ශ්‍රී ලංකා) හි 67.13%ක කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්ස් සතුවන අතර, හේලීස් හි 51.01% ක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුව පවතී.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඊලෝන් මස්ක් ස්ටාර්ලින්ක් හි හිමිකරුවා වන අතර ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකේ.

ස්ටාර්ලින්ක් යනු අධිවේගී අන්තර්ජාල පද්ධතියක් වන අතර එය ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමට සමත් චන්ද්‍රිකා දහස් සංඛ්‍යාවකින් සැදුම්ලත් පද්ධතියකි. පෘථිවියට ආසන්න කක්ෂයක් හෝ පහළ ප්‍රථිවි කක්ෂයක් තුළ මෙම චන්ද්‍රිකා ස්ථාන ගත කර තිබේ.

උදෑසන වාර්තා තැබූ කොටස් වෙළෙඳපොළ සවස් යාමයේ පසුබසී….

අද (04) උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඉතිහාසයේ මුල්වරට ඒකක 20,000 සීමාව අතික්‍රමණය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සමත් වුව ද දිනය අවසන් වූයේ එහි ඒකක 128.02ක පහළ යාමක් වාර්තා කරමිනි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,786.23ක් දක්වා පහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 37.14කින් පහළ ගොස් ඒකක 5,857.61ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වුණි.

අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, NDB,ඇක්සෙස් ඉජිනියරින්ග් සහ බුකිට් ඩාරා ඇතුළුව සමාගම් 165ක කොටස් මිල පහළ යාම් හේතු වී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.53ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.46ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.45 ක් ලෙසින් සටහන් වී තිබුණි.

විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 74ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 82ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට….

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

එහිදී නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රාව පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ද සිය භාරයට ගෙන ඇත.

මෙම ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් තිබේ.

එමෙන්ම ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම පිරිස යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.