කටුනායක ගුවන්තොටේ E-Gate පද්ධතිය විවෘත කෙරේ…..

කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E – Gate System) අද (28) පස්වරුවේ විවෘත කළේය.

ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මෙරට පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක වටිනාකමකින් ඉදිකළ මෙම ගේට්ටු පහසුකම යටතේ බෝවන රෝග හඳුනාගැනීම වැනි පහසුකම් ගණනාවක්ද ඇතුළත්ය.

මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පවති අතර, දැනට මෙම පහසුකම මෙරට මගීන්ට පමණක් විවෘතව ඇත.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිමකර ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට නව පද්ධතිය හරහා අවස්ථාව උදාවනු ඇත.

මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් චමින්ද පතිරාජ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිට පැය 48ක් කල්දෙයි…..

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (28) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පූර්ණ අවස්ථාව ලබාදී තිබේ.

අද පැවැති මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිහිපයකට එළඹ ඇති අතර දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩ තවදුරටත් සිදුකිරීමට එහිදී තීරණය කර ඇත.

රෝහල් තුළ නොමැති ඖෂධ පිටතින් රැගෙනඒම සඳහා තුණ්ඩු ලිවීම තවදුරටත් සිදු නොකෙරෙන අතර දේශපාලන කණ්ඩායම්වලින් සිදුකෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගී නොවීමටද මෙහිදී තීරණය කර තිබේ.

එමෙන්ම ද්‍යෛවරු ප්‍රමාණවත් නොමැති රෝහල් තුළ ඉදිකෙරෙන වාට්ටු සහ ඒකක ඉදිකිරීම් අවස්ථා සඳහා සහභාගී නොවීමට ද අද පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.

සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට….

හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරුපැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබේ.

ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්ය. ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පහරදීම සිදුකල නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කල බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පහරකෑ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පැවසීය.

හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු සඳහන් කළේ, එවැන්නක් වාර්තා වී ඇති බවත්, තමන් එම ස්ථානයේ නොසිටි බවත්ය.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

විදේශ කටයුතු‚විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදුකළ පුද්ගලයෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය වී තිබේ.

සැකකරු  මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි, යටිනුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙකු බව සඳහන් වේ.

සැකකරු ඊයේ  (27) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු පසුගිය 26 දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව ස්ථානයක රැඳී සිටිමින් ජාවාරම මෙහෙයවන අවස්ථාවේ දී ය.

මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදුකර ඇති අයෙකු බවත් ඔහුට එරෙහිව මහනුවර අධිකරණයේ නඩු කිහිපයක් ම පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

නාමල් හා කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන ඇමති අතර හමුවක්….

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු ලෙස පිළිගැනෙන කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් අද (28) බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුව ඇත.

සිද්ධරාමයියා මහතා කර්ණාටක ප්‍රාන්තයේ සංවර්ධනය සහ දියුණුව උදෙසා බොහෝ වැඩ සිදුකළ අයෙකු ලෙස ප්‍රචලිතය.

කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහාවන සමාජ සුබසාධන යෝජනා ක්‍රම රැසක් ඔහු යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඔවුන් දෙපළ තොරතුරු තාක්ෂණය සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳ මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.

අරිජිත් සිං පසුබිම් ගායනයෙන් සමුගනී….

හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්‍රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය තීරණය රසිකයන් වෙත දැනුම්දී ඇත.

එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසර ගණනාව පුරා රසිකයන් තමන්ට මෙතරම් ආදරයක් ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවය.

තමන් මෙතැන් සිට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කිසිදු නව වැඩක් භාර නොගන්නා බවත්, එය නවතා දැමූ බවත් හෙතෙම පවසා තිබේ.

අරිජිත් සිං යනු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීයම ගීත කිහිපයක්  ඉදිරිපත් කර ඇති ගායකයෙක්ය. ආෂිකි 2 හි ‘තුම් හි හෝ’ ඔහුගේ පෙරළිකාර සාර්ථකත්වය ලෙස කැපීපෙනෙන ගායනයක්ය.

ජාතික චිත්‍රපට සම්මාන 2ක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 8ක් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන ඔහු 2025 වර්ෂයේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබීය.

Rebuilding Sri Lanka වැඩසටහනට ලැබී ඇති දෙස් විදෙස් ආධාර රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවයි….

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් අද (23) දිනය වන විට රුපියල් බිලියන 8.5 ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ මෙම මූල්‍යාධාර තුළ ඇතුලත් විදෙස් ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක් බවයි.

“මෙම වැඩපිළිවෙල ආරම්භකළ දවසේ සිට අද වෙනකන් රුපියල් වලින් ලැබුණු මුදල් ප්‍රමාණය, දේශීය පුරවැසියන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු මුදල් ප්‍රමාණය මෙන්ම විදේශ රට වලින් අපට ලැබුණු මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු අපි ලග තියනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලද තොරතුරු අනුව මේ දක්වා ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවා ගිහින් තියනවා. එම ලැබුණු මුදල් වල සමස්ථ වටනාකම එම මුදල තුළ ඇතුළත් වනවා.
මේ සඳහා විදේශ මුදල් වලින් ඉහළ මුදල් වල අන්තර්ගත වෙලා තියන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9.49 ඉක්මවා ගිහින් තියනවා.”

කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමකට පැමිණෙද්දී අද රු. බිලියන 10.5ක වාර්තාගත පිරිවැටුමක්….

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයයන් වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී කැපීපෙනෙන කාරණය වූයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණීමයි. කෙසේවෙතත් දිනය නිමාවේ දී එහි අගය ඒකක 23,956.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.74ක ඉහළ යාමක් වේ.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 31.65ක ඉහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසන් වන විට ඒකක 6,649.50ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර අද දින රු. බිලියන 10.50ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී කළම්බු කොඩ්යාර්ඩ් සමාගමේ රු. බිලියන 2.12 ක හා   LOLC හෝල්ඩිංග්ස් හි රු. බිලියන 1.24ක වටිනාකමකින් යුතු කොටස් හුවමාරු වී තිබුණි.

මිල දර්ශකවල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් LOLC හෝල්ඩිංග්ස්, කළම්බු ඩොක්යාර්ඩ්, කොමර්ෂල් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හා මෙල්ස්ටාකෝප් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

 

2025 දී සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවයි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය….

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී  ඩොලර් බිලියන 1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ඉක්මවා යමින් එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යක් වෙත පැමිණ ඇත.

2024 වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමක් නියෝජනය කරමින් 2025 වසර සඳහා  සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 1,057 ලෙස වාර්තා වේ. මෙම ප්‍රගතිය, ආර්ථික ස්ථාවරත්වය, පැහැදිලි ප්‍රතිපත්ති දිශානතිය සහ වැඩිදියුණු කළ ආයෝජන පහසු කිරීමේ ක්‍රියාවලිය මගින් ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය ආයෝජකයින්ගේ විශ්වාසය අලුත් වී ඇති බව පිළිබිඹු කරයි.

සමස්තයක් වශයෙන්, සමාගම් 188 ක්, 2025 වසර තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා දායකත්වය ලබා දුන් අතර, ඉන් 24 ක් එම වසර තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කළ නව ආයෝජන ව්‍යාපෘතින් වේ. මෙම නව ව්‍යාපෘති මගින් ඇ.ඩො. මිලියන 134 ක දායකත්වයක් ලබා දී ඇති අතර, එය වසර සඳහා වන මුළු සෘජු විදේශ ආයෝජන ගලා ඒමෙන්  13% ක් වේ. සමාන්‍යයෙන්, නව ආයෝජන වලින් ලැබෙන සෘජු විදේශ ආයෝජන  මුලු සෘජු විදේශ ආයෝජන ලැබීම් වලින් 2% – 10% ක ප්‍රමාණයක් වන අතර, මෙම වසරේදී එය 13% දක්වා වර්ධනයක් පෙන්වීම විශේෂත්වයකි. ඉතිරි ඇ.ඩො. මිලියන 923 ක සෘජු විදේශ ආයෝජන ගලා ආවේ දැනට පවතින ආයෝජකයින්ගේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ව්‍යාප්ත කිරීම සඳහා සිදු කරනු ලබූ ආයෝජන වලිනි.

නව ආයෝජන ආකර්ශනය කර ගැනීම ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිවීමේ දර්ශකයකි.  පළමු-වරට ආයෝජනය කිරීම සාමාන්‍යයෙන් ඉහළ අවදානමක් සහ දිගු කාලීන පැවත්ම සඳහා වූ අපේක්ෂාවක් සහිතව සිදුකරන්නකි. 2025 වසර තුල නව ආයෝජකයින්ගේ සාර්ථක ප්‍රවේශය ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැවත ලබා ගත් විශ්වසනීයත්වය පෙන්නුම් කරයි. ඒ අතරම, දැනට ක්‍රියාකාරීව පවතින ආයෝජකයින් විසින් ආයෝජනය සඳහා මුදල් රට තුලට ගෙන ඒම සහ ලාභය  නැවත ආයෝජනය කිරීම හරහා අඛණ්ඩව ඒවා පවත්වාගෙන යාම සහ පුළුල් කිරීමේ ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීම, පවතින ආයෝජකයින් අතර ගොඩනැගුනු තිරසාර විශ්වාසයත්, වර්ධනය වන ආයෝජන පරිසරයක ධනාත්මක සහ අපේක්ෂිත ප්‍රවණතාවයත් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත සමාගම් වලින් ලබා ගන්නා ලද, යාවත්කාලීන කරන ලද දත්ත වලට අනුව, ඇ.ඩො. මිලියන 1,057 ක සෘජු විදේශ ආයෝජන, ඇ.ඩො. මිලියන 167 කොටස් ප්‍රාග්ධනය,  ඇ.ඩො. මිලියන 213 ප්‍රති- ආයෝජන, ඇ.ඩො. මිලියන 567 අන්තර්-සමාගම් ණය සහ ඇ.ඩො. මිලියන 110 ආයෝජන සඳහා ලබාගත් වාණිජමය ණය වලින් සමන්විත වේ.

මුළු සෘජු විදේශ ආයෝජන ගලා ඒමෙන් 46% ක් නිශ්පාදන අංශයෙන් ද, 26%ක්  වරාය සංවර්ධන අංශයෙන් ද 11% සංචාරක අංශයෙන්ද් විය. සිංගප්පූරුව, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග්, 2025 වසරේදී සෘජු විදේශ ආයෝජන ලැබුනු ප්‍රධාන රටවල් පහ බවට පත්ව ඇත.

මීට අමතරව, 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජන ව්‍යාපෘති 146 ක් අනුමත කර ඇති අතර එහි මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 1,906 කි. මෙයට නව ව්‍යාපෘති 70ක් සහ ව්‍යාපෘති පුළුල් කිරීම් 76ක් ඇතුළත් වේ. අනුමත කරන ලද මුළු ආයෝජනවලින් ඇ.ඩො. මිලියන 896 ක් විදේශ ප්‍රාග්ධනය ලෙස ගලා එනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2026 වසර සඳහා ඉලක්ක ගත ඇ.ඩො බිලියන 1.5 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

ව්‍යාපෘති ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ රේඛීය ආයතන සහ නියාමන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණය ඇතුළුව පසුගිය වසර තුළ ස්ථාපිත ශක්තිමත් ආයතනික පදනම මෙම සාර්ථකත්වයට හේතු වූ බව  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. මෙම පියවරයන් ආයෝජන මණ්ඩලයේ තුළ පමණක් නොව පුළුල් ආයෝජන පරිසර පද්ධතිය හරහා ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

2025 වසර තුල පෙන්වූ ප්‍රගතිය මත, ආයෝජන මණ්ඩලය ආයතනික පරිවර්තනයේ කේන්ද්‍රීය මාවතකට අවතීර්ණ වී ඇත. මෙම ගමනේ ප්‍රධානතම මුලපිරීමක් වන්නේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීම, ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගෝලීය වශයෙන් තරඟකාරී සහ ආයෝජක හිතකාමී නියෝජිතායතනයක් ලෙස ස්ථානගත කිරීම ඉලක්ක කරගත් දෙවසරක ක්‍රියාකාරී සැලැස්මක් මඟින් පැහැදිලි උපාය මාර්ගයක් සහ මාර්ග සිතියමක් සකසන BOI Accelerate වැඩසටහන දියත් කිරීමයි.

ආයෝජන මණ්ඩලයේ ආයෝජන පහසුකම් සැපයීමේ කාර්යභාරය වැඩිදියුණු කිරීම සඳහා විශේශිත වූ තවත් මුලපිරීම් කිහිපයක් ද සිදු කර ඇත. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සහයෝගීතාවයෙන් ආයෝජන               ප්‍රවර්ධනය, ආයෝජන ව්‍යාපෘති ඇගයීම සහ ඉඩම් වෙන්කිරීම් පිළිබඳ  පුළුල් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කරන ලද අතර ඒවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආයතනය තුළ මානව සම්පත් සංවර්ධනයේ වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2025 දී විවිධාංගීකරණය වූ නිපුණතා සහිත කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගන්නා ලද අතර, තීරණාත්මක පුරප්පාඩු වූ සේවක තනතුරු පිරවීම සඳහා අවශ්‍ය අනුමැතිය ද ලබා ගන්නා ලදි.  තවද, කලමණාකාරීත්වය සවිබල ගැන්වීම සමඟ තිරසාර පුහුණු කිරීමේ ක්‍රියාවලියක් තුලින් මානව සම්පත සංවර්ධනය සඳහා ද කටයුතු කරන ලදි.

ව්‍යුහගත සහ ඉහළ බලපෑමක් ඇති කරන ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින්, BOI විසින් ව්‍යුහගත ආයෝජන අවස්ථා” හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නව මුලපිරීමක් ද දියත් කරන ලදී. මෙම මුලපිරීම යටතේ, තිරසාර සහ උසස් තත්ත්වයේ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉලක්කගත සහ ශක්තිමත් ප්‍රවර්ධන වැඩපිලිවලක සහාය ඇතිව පළමු අදියරේදී ව්‍යුහගත ව්‍යාාපෘති 20ක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ..

2026 දෙස බලන විට,  සැලකිය යුතු ආයෝජන ව්‍යාපෘති කිහිපයක් සමඟ ගිවිසුම් ගත වීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘති සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකමය, දේශපාලනිකව හා සමාජමය වශයෙන් සිදුවන ප්‍රගතිය හා සමගාමීව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට දැඩි ලෙස කැපවී සිටින අතරම පවතින ආයෝජකයන්ගේ ව්‍යාපෘතීන් පුළුල් කිරීම් සඳහා ද නිරතුරුව සහය වෙමින්, තිරසාර, සහ දිගුකාලීන ආර්ථික වර්ධනයක්  වෙනුවෙන් සිය දායකත්වය දක්වයි.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය 05 වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.