බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයින් තිදෙනෙක්ට බරපතළයි….

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මෙයින් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් මේ වනවිට ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවය.

කෙසේවෙතත් බරපතළ තුවාල ලැබු තිදෙනාම මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මීට අමතරව තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ යුතුව ඇතැයි ද සඳහන් කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිශ්චිතව මේ වනවිට පැවසිය නොහැකි බව ද සඳහන් කළේය.

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ  ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

මේ අතර, අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම ජයග්‍රහණයක් – සුප්‍රීම් සැට් විශේෂ නිවේදනයක්

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවය.

එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.

බො‍රැල්ලේ වෙඩි තැබීමක්…පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට…..

බො‍රැල්ල සහස්‍රපුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56යේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි….

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.‍

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අග්‍රාණ්ඩුකාරවරිය විසින් අවධාරණය කරන ලදී.

මෙම සංචාරයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සුනාමි ව්‍යසනයේදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදීද ඕස්ට්‍රේලියානු රජය සෘජුව මෙන්ම, ජාත්‍යන්තර ආයතන හරහා ලබා දුන් සහයෝගය සිහිපත් කර සිටියේය. එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක, සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහායද  ජනාධිපතිවරයා මෙහිදී අගය කළේය.

ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට බොහෝ දේ ඉගෙන ගත හැකි බවත්, එම අත්දැකීම් සාර්ථකව බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතය.

ඕස්ට්‍රේලියානු දූත පිරිස සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගල්කුලමේදී අනතුරක 06ක් රෝහලේ…

වන්දනා කරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අද (07) තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදි අනතුරට ලක්විමෙන් එහි රියදුරු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි තිරප්පනය පොලිසිය කියයි.
මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. මතුගම සිට අනුරාධපුරයේ වන්දනාව සඳහා යමින් සිටි මතුගම ප්‍රෙද්ශයේ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ධාවනය වෙමින් තිබූ එම වෑන් රථයේ රෝදයක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එම රෝදය ගැලවී ගොස් එය රියදුරුගේ පාලනයෙන් ගිලිහි මාර්ගයේ පෙරැලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම වෑන් රථයේ පුද්ගලයින් අට දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. සිදුව ඇති අනතුරෙන් එම වෑන් රථයේ රියදුරු ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් ඛළ බව පොලිසිය කියයි. එම තුවාල කරුවන් මතුගම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
තුවාල කරුවන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ති‍රප්පනේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කැකිරාව කුෂාන් ජයවර්ධන

අගමැතිනිය පැවසූ ‘චිචීගේ රොකට්ටුවේ’ දත්ත වැරදියි – ඇමති වසන්ත කියයි….

රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් යවනු ලැබූ සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරිය විසින් ඊයේ (06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කරුණුවල දත්තවල යම් වැරැද්දක් සිදුව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එහිදී අමාත්‍යවරයා අද (07) රැස්වූ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අගමැතිනිය සඳහා මෙම තොරතුරු ලබා දී ඇත්තේ BOI සමාගමක් විසින් බවත්, එහිදී තොරතුරු ලබාදෙද්දී මෙන්ම තොරතුරු ලබාගෙන සටහන් කිරීමේදී සංඛ්‍යා ලේඛන සටහන් කිරීමේ දී යම් වැරැද්දක් සිදුව ඇති බවයි.

පොදුවේ “චීචීගේ රොකට්ටුව” ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අදාළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සඳහන් කළේ, සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විෂමතා කිහිපයක් සොයාගෙන ඇති බවයි.

දැනට පවතින දත්ත අනුව, සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම 2012 මැයි මාසයේදී චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ විදුලි සංදේශ සේවා සැපයීමට BOI සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ව්‍යාපෘතිය එම වසරේම නොවැම්බර් මාසයේදී දියත් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2012 දී සමාගම රුපියල් බිලියන 12.14ක් වත්කම් ලෙස ප්‍රකාශ කර ඇති බවත්, 2013 සහ 2014 මූල්‍ය වාර්තාවල බදු දීමේ පදනම මත ලබාගත් චන්ද්‍රිකාවක් සඳහා රුපියල් මිලියන 12ක ආයෝජනයක් පෙන්නුම් කරන බවයි.

නමුත් 2014 සහ 2015 මූල්‍ය වාර්තාවල කලින් ප්‍රකාශ කළ වත්කම්, වගකීම් සහ ආයෝජන පිළිබඳ විස්තර අඩංගු නොවන බව පෙන්වා දුන් ඔහු, චන්ද්‍රිකාවේ පිහිටීම ද සොයාගත නොහැකි බව පැවසුවා.

අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ජනපතිගේ කීර්ති නාමය පළුදු කළ බවට සමාජ මාධ්‍ය පෝස්ටුවකට එරෙහිව CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කාන්තාවක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය පළ කිරීමකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නීතිඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හා චරිතයට හානි කිරීමේ අරමුණින් මෙම අසත්‍ය සහ අපහාසාත්මක කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට එහි සඳහන් වෙන්නේ.

එම පැමිණිල්ල මගින්, මෙම පදනම් විරහිත සහ නොමග යවනසුලු සටහන් පළ කළ සමාජ මාධ්‍ය ගිණුම්වල හිමිකරුවන් පිළිබඳව විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සඳහන් වෙන්නේ.

විදෙස් සංචිතය සියයට 1කින් ඉහළට….

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

නුවරඑළියේ අයාලේ යන පෝනියන් වෙන්දේසි කරන්න යයි…..

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම වාහනවලට අවහිර ලෙස අයාලේ සැරිසරන පෝනියන් අල්ලා ගාල් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෝනියන්ගේ අයිතිකරුවන්, පෝනියන්ගෙන් ආදායමක් ලබාගැනීම පමණක් සිදුකර සතුන් රැකබලා ගැනීමක් සිදු නොකරන බවය.

මෙ‍ම සතුන් නගරය පුරා සැරිසරමින් ආපනශාලාවලින් හා සංචාරකයින් ලබාදෙන ආහාර ගන්නා බවත්, ඇතැම් පෝනියන් රෝගාතුරව සිටින බවත්, එම සතුන් සුවපත් කිරීමට අයිතිකරුවන් කටයුතු නොකරන බවද නගරාධිපතිවරයා පැවසීය.

අයාලේ සැරිසරන පෝනියන්ගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම තීරණය ගෙන තිබේ.

මෙම පෝනියන් නගරසභාව විසින් ගාල් කර ඇති බවත් නැවත අයිතිකරුවන් භාරයට ගන්නේ නම් දඩ මුදලක් ගෙවිය යුතු බවත්, භාර නොගන්නේ නම් නගර සභාව විසින් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරත් පැවසීය.

රේගු භාරයේ තිබූ BYD වාහන 991ක් මුදා හැරීමට එකඟතාවයක්…

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(08) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර තිබේ.

අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත.

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් බිලියන 3.6කට ආසන්න මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.

ඉදිරිපත් වූ කොන්දේසිවලින් කිහිපයකට පෙත්සම්කාර පාර්ශවය එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව මෙම වාහන මුදා හැරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට සිය එකඟතාවය පළ කළේය.