අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්…..

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.

ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණි.

මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 8,514ක් සහ එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ඒ අතර වන බව සඳහන්ය.

පසුගිය වසරේ ලැබුණු පැමිණිලි අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231ක් ලැබී තිබේ.

2025 වර්ෂයේදී යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

ළමා විවාහ 9ක් සිදුව ඇති අතර ස්ත්‍රී දුෂණ 38ක් පසුගිය වසර තුළ සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී ඇති අතර සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ තනතුර ASP ඕලුගලට…..

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ බව පොලීසිය දැනුම් දී තිබේ.

ඒ මහතා දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති.

ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් මෙහෙයවා ඇත.

ඕලුගල මහතා විසින් අති සාර්ථකව මෙහෙය වූ ආසන්නතම පොලිස් මෙහෙයුම් ලෙස කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී  අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගැනීම පෙන්වා දිය හැකිය.

2025 වසරේ සමස්ත ඇඟලුම් අපනයනය සැලකියයුතු ලෙස ඉහළට…

2025 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ආදායම ඉහළ ගොස් තිබේ.

සමස්තයක් වශයෙන්, දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා ඩොලර් මිලියන 23.03 කින් වැඩි වීමක් පෙන්නුම් කරයි.

එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයෙන් ලැබුණු ඉල්ලුමේ වැඩිවීම බව සඳහන් වේ.

මෙම ඉල්ලුම වැඩිවීමත් සමඟ දෙසැම්බර් මාසයේ දී ඉහළ ලාභක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව පෙන්වා දිය හැකිය.

2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසය තුළ අමෙරිකාවට සිදුකළ අපනයන 6.49% කින් ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 178.29 ක් බව සඳහන් වේ.

එමෙන්ම යුරෝපා සංගමයට කළ නැව්ගත කිරීම් 6.76% කින් වර්ධනය වී ඇති අතර එය ඩොලර් මිලියන 141 ක් බවත්, එක්සත් රාජධානියට කළ අපනයන 12.95% කින් ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 55.12 ක ආදායමක් බවත් සඳහන් වේ.

කෙසේ වෙතත්, අනෙකුත් රටවලට සිදුකළ අපනයන 4.06% කින් පහළ ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 72.8 ක් බව කියැවේ.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා සම්පූර්ණ වසර කාලය සඳහා, මුළු ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය ඩොලර් බිලියන 5.02 ක් වූ අතර එය 2024 දී ඩොලර් බිලියන 4.76ක් බව සඳහන් වේ.

සමස්තයක් වශයෙන් 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ මුළු අපනයනය 5.42% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඩොලර් මිලියන 258.18 ක වැඩිවීමක් බවත් වැඩිදුරටත් සඳහන් වේ.

රංගන ශිල්පි රජිත හිරාන්ට(පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධුරයක් ලබාදී ඇති බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයක් – අජිත් නාරගල…

රංගන ශිල්පි රජිත හිරාන්ට(පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නාරගල

“අද දින 2026.01.29 දින කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලය (Lotus office)පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.මේ උත්සවයට සහභාගී වීම සදහා දේශ්පාලඥයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී විය.මෙහිදී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් මහතා (පිං පොං)ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු නිරීක්ෂණය කළෙමි.තවද එහිදී කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් මහතා (පිං පොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක්ද පළවී තිබෙනු නිරීක්ෂණය කළෙමි.මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ, අසත්‍ය ප්‍රවෘත්තියකි.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත් මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන කලාකරුවන්,මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද පහත් උත්සාහයක් ලෙස මා දකිමි.

රාජිතට එරෙහි නඩුව කල්යයි…

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව  අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව යළි අප්‍රේල් මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා  විත්තියේ නීතිඥවරු අමතමින් සංශෝධිත අධිචෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේදැයි ප්‍රශ්න කළේය.

එවිට විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී විරෝධතා මතු කිරීමට අපේක්‍ෂා කරන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව විභාගය සඳහා අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

කැරට් 24 රන් පවුමක් රු 15,000කින් ඉහළට….

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි.

කැරට් 24ක රන් පවුමක් 420,000ක් මේ වනවිට රුපියල් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 386,400ක් වේ.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව පසුකර ඇත.

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (28) පැවති හමුවේදී එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසින් මේ බව තහවුරු කර ඇත.

මෙරටට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වය සොයා බැලීමට සහ IMF අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම සහතික කිරීම සඳහා ඇය දිවයිනට පැමිණෙන බව සඳහන්.

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි – ජනාධිපති ලේකම්…..

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට  අවබෝධයක් තිබිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන් රාජ්‍ය ආයතන 250හි ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.

මෙම  වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන 106ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා එම නිලධාරීන් පුහුණු කිරීම මීට පෙර සිදු කරන ලදී.

එහි දෙවන පියවර ලෙස තවත් රාජ්‍ය ආයතන 250ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අනුග්‍රහය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක රැඳී සිටියත් 2024 දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ 121 වන ස්ථානය බව ද ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

එය සෙසු ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වලට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය ජනතා නැඟී සිටීමේදී ප්‍රධාන සටන් පාඨය දූෂිත දේශපාලනයට එරෙහිව වුවත් එම චෝදනාව දූෂිත දේශපාලනඥයින්ට පමණක් නොව දූෂිත රාජ්‍ය නිලධාරීන්ටද එල්ල විය.

එම ජනතා නැගී සිටීම සිදු වූයේ ආර්ථික වශයෙන් රට බංකොලොත් වී එහි අනිටු ප්‍රතිඵල ඔවුන්ට දැනෙන්නට වූ අවස්ථාවේ බවත් ජනතාව නැඟී සිටීම ක්‍රමානුකූල ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය වන බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

”ජනතා නැගී සිටීම සුළුපටු නැහැ. එය බොහොම ප්‍රබලයි. ඒ නිසා ජනතා නැගී සිටීම සහ ජනතා අභිලාෂ පිළිබඳ දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද යම් කිසි අවබෝධයක් තිබිය යුතුයි. ජනතාවට සුපිළිපන්න සේවාවක් ලබා දීමට රාජ්‍ය සේවකයින් ලෙස අප බැඳී සිටිනවා. ඒ නිසා ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවය සුපිළිපන්න කිරීම සඳහා කිසියම් ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ් ඔස්සේ තමයි අපි අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටවනු ලැබුවේ. 

රාජ්‍ය නිලධාරීන් තම රාජකාරි ඉටු කරන අතරතුර ඔවුන්ගේ සුපිළිපන්නභාවය වර්ධනය කර ගැනීමට සැලකිලිමත් විය යුතු අතර, එමඟින් රාජ්‍ය අංශයේ දූෂණ සංස්කෘතිය වෙනස් කළ හැකිය. අභ්‍යන්තර කටයුතු ඒකක, රාජ්‍ය සේවය තුළ සුපිළිපන්න සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් ලෙසත් රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය විමසීමට ජනතාවට පහසුකම් සලසන වේදිකාවක් ලෙසත් සැලකිය හැකියි.”

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා….

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට වැඩබලන අමෙරිකානු තානාපතිනී ජේන් හොවෙල් මහත්මිය අතර එම සාකච්ඡාව බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බව එහිදි වැඩබලන අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

මෙහිදි මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇති බව සඳහන්ය.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය….

ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිය කොළඹදී පවත්වා තිබේ.

දෙරට අතර පවතින දිගු කාලීන ආර්ථීක හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර සැසියේදී එකඟතාවන්ට එළඹුනු බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී ඇති අතර පාකිස්තාන දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාද පිළිබඳ විශේෂ සහකාර හාරූන් අක්තාර් මහතා විසින් මෙහෙයවා තිබේ.

මෙම සැසියේදී දෙපාර්ශවය විසින් වෙළෙඳාම සහ ආයෝජන, කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ පශූ සම්පත්, බැංකු සහ මූල්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව සමාලෝචනයට ලක් කළ බව අමාත්‍යංශය සඳහන් කළේය.