2025 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා…

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

ලොහාන්ගේ තත්වය යහපත් නැහැ සුව දුක් බලන්න හිටපු ජනපතිවරුත් යයි……

රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් මීට සතියකට පෙර රෝහල් ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්වසන පද්ධතිය තුළ හට ගත් දැඩි සංකූලතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ එම පෞද්ගලික රෝහලක  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ලොහාන් රත්වත්තේ මහතා මීට පෙරද මෙලෙසම රෝගී වී රෝහල් ගත කෙරුණු අතර එම රෝගී තත්ත්වය යළිත් උත්සන්න වීම හේතුවෙන් මෙසේ රෝහල්  ගත කෙරුණු බව ඔහුගේ පවුලේ සමීපතම ආරංචි මාර්ග පැවසීය.

ලොහාන් රත්වත්තේ මහතාගේ රෝගී තත්ත්වය දැන ගත් විගස හිටපු ජනාධිපති වරුන් වන මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු ඔහුගේ දේශපාලන සමීපතමයන් හා හිතවතුන් පවුලේ ඥාතීන් සුවදුක් විමසීමට රෝහලට පැමිණෙන බව එම ආරංචි මාර්ග පැවසීය.

ලොහාන් රත්වත්තේ මහතාගේ තත්ත්වය යහපත් නොවන බවද ඔහු කෘත්‍රිම ශ්වසන පද්ධතියක ආධාරයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය මත ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

Kandy Prime News

යෞවන සමාජ දේශපාලනීකරණය වීම ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්….

මෙරට ඇති යෞවන සමාජ දේශපාලනයට යෙදා නොගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී හිටපු ජනාධිපතිවරයා යෝජනා කරනුයේ අමාත්‍යවරයාට හිටපු නිලධාරීන් සමග මෙන්ම දැනට පත්ව ඇති නිලධාරීන් සමගද සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සෑහිමකට පත්විය හැකි විසඳුමක් ලබා දිය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන  සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි. ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.

මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.

දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන  සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.

මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න.

මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි”

ඊ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට….

මෙරට පරිහරණයට තහනම් වන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා ” ඊ”  දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

එම සැකකරු ළඟ තිබී ඊ දුම්වැටි 620ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම්වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා මෙම දුම්වැටි තොගය සොයා ගෙන තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ චොකලට් සහ සුවඳ විලවුන් ආනයනය කරන අතරවාරයේදී ඒවායෙහි සඟවා මෙම ඊ දුම්වැටි ආනයනය කර පුද්ගලයන් වෙත රුපියල් 8000- 10000ත් අතර මිලකට අලෙවි කරන බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තෙදින නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියාය.

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මහත්මිය හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අවධානය යොමු විය.

එසේම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටි කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් එක් විය.

මෙම පිටත්ව යාමේ අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් වලස් කටා පලා යාමට තැත් කරලා….

තිළිණ සම්පත් නොහොත් වලස් කටා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පළා යාමට උත්සාහ දැරීමේදී ඔහුගේ දෙපාවලට සහ එක් අතකට හානි සිදුව තිබේ.

දින 90ක රැඳවුම් නියෝග මත වලස් කටා මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

ඒ අනුව ඊයේ (09) රාත්‍රි 9.15ට පමණ සැකකරුට වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී අත්මාංචු ගලවා නිලධාරීන් සිව් දෙනෙකු සමග ඔහු වැසිකිළියට ගොස් තිබේ.

එහිදී වැසිකිළියට යන අතරතුර වලස් කටා නිලධාරීන්ට පහරදී තුන්වන මහලින් බිමට පැන ඇති බව වාර්තා වේ.

එහිදී මොහුගේ දෙපා කැඩී ගොස් ඇති අතර එක් අතක් වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ශ්‍රී ලංකා රග්බි ⁣යෞවනයෝ අවසන් මහා තරගයට…

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් විය.

ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජයට පත් කරමින්.

මහජන ආරක්ෂක ඇමති ලේකම් ලෙස වෙස්ගෙන මහරගම පොලීසියට ඇමතුම් දුන් අයෙක් අල්ලයි…

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලීසිය වෙත ඇමතුම් ලබා දුන් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු විසින් හොරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසියෙන් නිදහස් කර ගැනීම සඳහා මෙලෙස ඇමතුම් ලබා දී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදු නොකරන බවය.

එමෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම සඳහාත් රට තුළ නීතියේ හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහාත් විශේෂ මැදිහත්වීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ යැයි පෙනී සිටිමින් යම් පුද්ගලයෙකු අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ පොලීසිය ඇතුලු ආයතනවලට අයුතු බලපෑමක් සිදු කරන්නේ නම් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ.

UAE පරදා ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට තියුණු ජයක්….

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අද (09) පැවැති එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 26-24ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ සියලුම තරග ජයගෙන අපරාජිතව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි.

අද පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං ලකුණු 19-24ක් ලෙස පරාජය කළේය.

ඉන් අනතුරුව සත්කාරක ඉන්දීය කණ්ඩායමද ලකුණු 24-05ක් ලෙස පහසුවෙන් පරාජය කළේය.

මෙම තරගාවලිය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වේ.

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක්….

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය.

මෙහිදී අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ පිරිමි පුද්ගලයින් අතරේ ගත් විට දෙවැනි වැඩිම පිළිකාව බවට පත්ව ඇත්තේද මෙම පෙනහළු පිළිකා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා,

“දැනට ලංකාවේ පිළිකා රෝගීන් ගත්තාම පිරිමි පුද්ගලයින්ගේ දෙවැනියට වැඩිම පිළිකාව පෙනහළු පිළිකාව.  ඒ වගේම 2021 වසරේ සිට දත්ත සලකළා ගත්තාම ඔවුන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පෙනහළු පිළිකාව වාර්තා වෙනවා. පසුගිය දත්ත ගත්තාම කාන්තාවන්ගේ සහ එහි පෙහළු පිළිකා වර්ධනයක් අපි දකිනවා. පසුගිය අවුරුදු 5-10 අතර කාලය තුළ පෙනහළු පිළිකාව ලංකාව තුළ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ධනය පිරිමි පුද්ගලයින් සහ කාන්තාවන් දෙපාර්ශ්වයේම වාර්තා වෙනවා. 

මේ පෙනහළු පිළිකාවට ප්‍රධානම කාරණයක් තමයි දුම්පානය. ඒ වගේම තමයි වර්තමානයේ සමීක්ෂණ වාර්තා අනුව අපි හොයාගෙන තියෙනවා කිසිම දවසක දුම්පානය නොකර සිටින පුද්ගලයින්ද පෙනහළු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය දුම් පානයට සෘජුව සම්බන්ධ නොවන පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා වර්ධනයකුත් දක්නට ලැබෙනවා. ඒකට සෘජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් අපිට වාතාශයේ තියෙන වායු දුෂණය කියන කාරණා සහ ගෙවල්වල තියෙන වායු දූශක කාරක.

වසරකට වාර්තා වෙන පෙනහළු පිළිකා රෝගීන්ගේ ගණන  2021 වසරේ ඉඳන් දත්ත සලකලා ගත්තාම වසරකට නව පිළිකා රෝගීන් 2,000- 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා.”

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය ඒශාන්ත් පෙරේරා මහතා පැවසුවේ මෙම රෝගයේ රෝග ලක්ෂණ සුළු කොට තැකිය නොහැකි බවය.

“කොහෙමද ළය පිළිකාවක් මහජනතාව දැනගන්නේ.. ඉතාම වැදගත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඕනම ශ්වසන රෝගියෙකුගේ දකින කැස්ස. විශේෂයෙන්ම කැස්ස කාලාන්තරයක් තිස්සේ යනවානම්, සති දෙකතුනකට වඩා යනවානම් නැත්නම් වරින්වර එනවානම් ඒක ඉතා වැදගත් රෝග ලක්ෂණයක්.  ඒක අපි සුළුකොට තැකිය යුතු නැහැ. ඊට අමතරව කැස්සක් හොඳ වෙලා ආයෙම ඊළඟ මාසෙත් එනවානම් ශ්වසන රෝග කිහිපයකම රෝග ලක්ෂණයක් විය හැකියි ඒක. 

අනෙක් කාරණය කැස්සක් සමග ඔවුන්ට ලේ පිටවෙනවා නම්, සමහර අයට හුස්ම ගැනීමේ අපහසුතාවය නොයෙකුත් ළය පිළිකා සංකූලතා නිසා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පපුවේ වේදනාව ළය පිළිකාව තියෙන ප්‍රදේශයේ සිට ස්ථානවලට පැතිරෙන්න පටන් ගත්තාම නොයෙකුත් ස්ථානවල වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් රෝගීන්ට කාලාන්තරයක් තිස්සේ පවතින උණ ගතිය, කෑම අරුචිය, අසාමාන්‍ය ලෙස බර අඩුවීම මෙම රෝගයේ ලක්ෂණ විය හැකියි.

ඒ වගේම ශරීරයේ නොයෙකුත් ස්ථාන වෙත පැතිරෙන්න පුළුවන්. ඒ පැතිර ගිහින් තැන්පත් වෙන ස්ථානය අනුව ඒ ඇතිවන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඉතිං ඉතා වැදගත් අපි මේ ළය පිළිකා ගැන දැනුවත් වීම.”