මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමු වූ පුද්ගල මළ සිරුර ගැන විශේෂ විමර්ශනයක්….

මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ මුත්තියාන්කට්ටු ශිවනගර් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමේදී එක් අයෙක් මෙලෙස වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය 09 වැනිදායි.

ඒ ප්‍රදේශවාසීන් පිරිසක් විසිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය වෙත ඊයේ නිවේදනයක් නිකුත්කර තිබුණි.

එහි සඳහන් වන්නේ මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි, යුද හමුදා 12වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවාහැරිමට එම නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පලාගිය එක් අයෙක් වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එහිදී කඳවුරෙන් ඉවත් කෙරෙන යකඩ සහ වෙනත් දෑ රැගෙනයාමට පසුගිය 07වැනිදා රාත්‍රියේ පුද්ගලයින් පස් දෙනෙකු එම කඳවුරට ඇතුළුවී ඇති බවත් එහි සඳහන් වේ.

එහිදී කඳවුරේ නිලධාරීන් ඔවුන්ව දැක තිබූ අතර එම නිලධාරීන් පිරිස පලවාහැරීමට කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී සැකපිට සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී එක් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කඳවුරට ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණ වීමත් සමගය.

අනෙකුත් සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ‍ එම පිරිසට කඳවුරට ඇතුළුවීමට සහ සොරකමට අනුබලදීමේ චෝදනා මත බව පොලිසිය සඳහන් කළේය.

එම සෙබළුන් තිදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මුත්තියාර්කට්ටු වැවේ ගිලීගොස් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුවෙමින් ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවද තරකර ඇත.

විදෙස් කාන්තාවක් මුහුදේ ගිලී මරුට….

අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවකි.

අදාළ කාන්තාව තවත් පිරිසක් සමඟ මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිට ඇති අතර එහිදී ඇය දිවැලකට හසුව ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට ඇයගේ දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

 කළුතර ගල්පාත චන්දන පෙරේරා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

දක්ෂීණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් ලොරි රථයක ගිනි ගැනීමට ලක්ව ඇති බවද වාර්තා වේ.

තවද අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට….

මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 24ක සහ 34ක පුද්ගලයින් වන බව පොලීසිය පැවසුවේය.

මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාකින් ටිකට් කැඩූ ජාවාරමක් හසුවෙයි….

හබරාදූව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බව අනාවරණය වී ඇත.

උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ බස්‍ රථයක් ගාල් කිරීම සදහා රුපියල් 1,500ක මුදලක් ද, කාර් වෑන් ඇතුළු අනෙකුත් රථවාහන ගාල් කිරීමට රුපියල් 1,000ක් ලෙස අයකර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 35 සහ 41 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

සැකකරුවන් හබරාදූව පොලීසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරැල්ලේ වෙඩිතැබීමෙන් අසාද්‍ය තත්වයේ තවත් තරුණයෙක් මරුට

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.මියගිය පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලීසිය පැවසීය.ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී ඇත.

GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි….

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, සිය ඉල්ලීම්වලට හෙට පෙරවරු 8 ට පෙර විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙය ක්‍රියාත්මක කරන බව පවසා තිබුණි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකාබලමින් මෙලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා ඇත.

රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.

මෙහිදි ඔහු මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එහි අගය 286,085කි.

එමෙන්ම මෙම වසරේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 135,722 ක් සහ රුසියාවෙන් 116,257 ක්ද මෙරට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අගොස්තු 01 වැනි දින සිට 05 වැනි දින දක්වා  සංචාරකයින් 40,047 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එහි අගය  6,963ක් වේ.

එමෙන්ම එක්සත් ජනපදයෙන් 4,345ක් සහ චීනයෙන් 3,090ක් ද ප්‍රංශයෙන් 3,049 සහ ඉතාලියෙන් 2,739ක්ද පැමිණ තිබේ.

ප්‍රධාන පෙළේ මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් කොටුවෙයි

ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.

මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී ඇත.

එවැනි මත්පැන් බෝතල් 33ක් ද සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස්ජනරාල්තුමාගේ උපදෙස් පරිදි එම මත්පැන්හලට මුද්‍රා තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.