තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…..

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….

සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියේය.

පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්ය.

ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් රට අමෙරිකාව වන ඔවුන් අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත් විය.

එමෙන්ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ද මේ සඳහා සුදුසුකම් ලබා සිටියි.

ඒ හැරෙන්නේ මහද්වීපික කලාප සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ආසියානු කලාපයෙන් ඇෆ්ගනිස්තානයත්, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයෙන් ජපානයත් සුදුසුකම් ලබාගත්තේය.

ඊට අමතරව යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තය මෙලෙස සිය ස්ථාන තහවුරු කරගෙන සිටියි.

සත්කාරක රටක්වන නැමීබියාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පරාජය වූ හෙයින් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් නැත.

ඔවුන් සත්කාරක රටක් වුවද, පූර්ණ සාමාජික රටක් නම් පමණක් එම අවස්ථාව හිමිවන බැවින් ඔවුන්ට ඍජු සුදුසුකම් ලැබීමේ වාසිය අහිමි විය.

තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ICCය විසින් ඉදිරියේ දී  කාණ්ඩ හතරකට බෙදීමට නියමිත අතර, එම එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ  ඉහළම කණ්ඩායම් තුන සුපර් සික්ස් අදියරට පිවිසෙනු ඇත.

සුපර් සික්ස් අදියර කොටස් 2ක් යටතේ පැවැත්වෙන අතර, ඒ සෑම කාණ්ඩයකින්ම පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතා 5කට ඉන්දියාව හිමිකම් කියන අතර, වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව ශූරතා 4කට හිමිකම් කියයි.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේ ජනවාරි- පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට….

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෙට (18)  දැනුම්දෙනු ඇති බවය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැලසුම් කර තිබුණි.

මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත්වී ඇති අතර, එම අභියාචනා පිළබදව සිදුකළ විභාගයෙන් අනතුරුව එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාල ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

A-9 මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් ගොස්ගොස් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක කාන්තාවක් හා අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

ආණ්ඩුව ට්‍රිලියන 1.2ක් අච්චු ගහලා.. රටේ ණය බර බිලියන 905 කින් ඉහළ ගිහින්..

මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්‍රිලියන 1.2) ක් අච්චු ගසා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමු වීමේ ආරම්භය විය හැකි බව එහි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, මේ දක්වා කාලය තුල එක් එක් මාසයේ දී අච්චු ගසා ඇති මුදල හෙවත් ‘පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම’ (money printing – Broad money (M2b) ප්‍රමාණය පහත දැක්වේ.

(රු.බිලියන)

2024 ඔක්තෝබර් 58.70

නොවැම්බර් 78.30

දෙසැම්බර් 234.80

2025 ජනවාරි 117.40

පෙබරවාරි 104.70

මාර්තු 233.90

අප්‍රේල් 154.20

මැයි 33.60

ජූනි 210.30

අච්චු ගැසූ මුළු මුදල රු. බිලියන 1,225.9 (පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b))

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජූනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර පළමු මාස හය තුල මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී, අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා. 2022 අප්‍රේල් – මැයි පුළුල්වීම 17% -20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදු විය. 2001, රටේ මුල්‍ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි.

ණය බර වැඩිවීම

පසුගිය සැප්තෑම්බර් ජනාධිපතිවරණ‍යෙන් පසුව නැවත රටේ ණය ක්‍රමිකව නමුත් වේගයෙන් වැඩි වෙමින් ඇත. නව රජය බිහිවන විට රු. බිලියන 17,595.05 ක් වූ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 අප්‍රේල් වන විට රු. බිලියන 18,629.86 දක්වා එනම්, රු. බි. 1034.81 කින් ඉහළ නැග ඇත.

නව රජයේ පාලනය යටතේ රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව රු. බිලියන 28,574.65 සිට රු.බි. 29,480. 39 දක්වා රු. බිලියන 905.74 ඉහළ ගොස් ඇත. විදේශ ණය ප්‍රමාණය පහත වැටී ඇති නමුත්, දිගින් දිගටම බැඳුම්කර හරහා දේශීය ණය ලබා ගැනීම මෙයට හේතුවයි.

පසුගිය අගොස්තු 12 දින මහ බැංකුව ඉදිරිපත් කළ රු. බිලියන 65 ක බැඳුම්කර නිකුතුව අලෙවි වූයේ නැත. 2032 කල් පිරෙන (8% පොලිය) බැඳුම්කරයට එකම ලංසුවක් හෝ නොවීය. දේශීය ණය ලබා ගැනීමේ ප්‍රතිපත්තියට මෙය පැහැදිලි රතු එළියකි.

විදේශ සංචිත පහත වැටීම

මහ බැංකුවේ නිල දත්ත අනුව, 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ සංචිත ජූනි මස ඩො.මි. 6,080 ට පහත වැටුණි. ජූලි මස විදේශ සංචිත ඩො.මි. 6,114 කි. Swap (හුවමාරු) හරහා සිදුවන ව්‍යුත්පන්න කොන්ත්‍රාත්තු (derivative contracts) ද ඇතුලත් කරමින් ‘සංචිත’ ප්‍රකාශයට පත් කෙරේ.

කෙසේ වුවත්, Swap හුවමාරු අගය ඉවත් කළ විට, 2025 මාර්තු ඩො.මි. 2,799 ක් වූ රටේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ජූනි මස වන විට ඩො.මි. 2,210 දක්වා අඩුවී ඇත.

2024 දෙසැම්බර් මුළු සංචිත ඩො.මි. 6,122 න්, Swap ඩො.මි. 3,548 ක් වූ අතර, ශුද්ධ සංචිත 2,574 කි.

2025 ජූනි මුළු සංචිත ප්‍රමාණය ඩො.මි. 6,080 න්, චීන සහ වෙනත් Swap ඩො.මි. 3,870 ක් වු අතර, ශුද්ධ සංචිත ඩො.මි. 2,210 කි. ඒ අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජූනි දක්වා ශුද්ධ විදේශ සංචිත අඩුවීම ඩො.මි. 364 කි.

2021 – 2022 ආර්ථිකය බිඳවැටීමේ පූර්ව ලක්ෂණ මතුවන විට ප්‍රමාණික විෂය දැනුමක් සහිත පිරිස් මුදල් අච්චු ගැසීම, අසීමිත ණය ගැනීම හා විදේශ සංචිත පහත වැටීම ගැන අනතුරු හඟවනු ලැබීය. එම අනතුරු හැඟවීම් නොතකා කරුණු සැඟවීම හා විචාරකයින්ට අවලාද නැගීම 2022 ‘මූල්‍ය බිඳ වැටීම’, දැවැන්ත ආර්ථික බිඳවැටීමක් දක්වා වර්ධනය වූවේය. වසර හතරකට පසු නැවත එවැනිම මුල්‍ය බිඳවැටීමක පෙරමඟ ලකුණු හඳුණාගෙන පිළියම් යෙදීම මහ බැංකුව, භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුවේ වගකීමකි.

රුපියල් බිලියන 1225.9 මුදල් අච්චු ගැසීම, ඩො.මි. 364 කින් විදේශ සංචිත පහත වැටීම හා රු. බිලියන 905.74 කින් රටේ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම අනිවාර්ය වනු ඇත. එය දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරන තත්වයකි.

LANKA LEADER NEWS

උතුරු – නැගෙනහිර හර්තාලය ගැන රජයේ මතය…

රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම හර්තාල් ව්‍යපාරය හෙට (18) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේ ගැන පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. දැනටමත් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබෙන්නේ. 

මේ සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් හදන්න උත්සාහ දරන බවක් පේනවා.

ඒ නිසා රටේ ජනතාව කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න”.

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීහු එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහ යන මහත්වරු ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.

කාන්තාවන් සහ ළමයින් ගැන කතා කරන්න කාන්තා සහ ළමා අනුකමිටුවක්……

සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව “කාන්තා සහ ළමා අනුකමිටුව”ක් පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කාන්තා සහ ළමා අනුකමිටුව කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කළුතර, මතුගම සහ හොරණ කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාශ හා පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය යන ආයතන නියෝජනය කරනු ලබන නිලධාරීන් ද මේ සඳහා සහභාගී වී ඇත.

ළමා හා කාන්තා ඒකක ළමා මිතුරු ඒකක ලෙස දැනට පවත්නා ඒකක සංවර්ධනය කිරීම සහ පහසුකම් ලබා දීම, දිස්ත්‍රික්කයේ පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීමේ වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සංචිත අරමුදලක් ඇති කිරීම ආදී යෝජනා පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.

එමෙන්ම දරුවන්ට සහ කාන්තාවන්ට මතුවන ගැටලුවලදී පවත්නා නෛතික බාධාවන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම,පෙර පාසල් ගුරුවරියන් සදහා වාර්ෂික අනිවාර්ය අවම පුහුණු තුනක්වත් සංවිධානය කිරීම, වයස අවුරුදු 0-3 දක්වා දරුවන්ගේ මුල් අමා විය සංවර්ධනය සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා පිළිබඳව සාකච්ඡා කර ඇත.

දිස්ත්‍රික්කයේ දරුවන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සහ අපයෝජන, අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය සහ ඇබ්බැහිය, ළමා මව්වරුන් සම්බන්ධ සමාජ ගැටළුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

දිස්ත්‍රික්කයට මෙපමණ කලක් අඩුපාඩුවක්ව පැවති රජයේ නියාමනය සහිත කාන්තා සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයක්, කාන්තා ව්‍යවසායකයන් අරමුණු කරගත් අලෙවි පොලක් හා බොජුන් හලක් දිස්ත්‍රික්කය තුළ කලාප මට්ටමින් ස්ථාපිත කිරීම ඉදිරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට ද මෙහිදී තීරණය විය.

ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරීමේ සූදානමක්..

2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රුපියල් මිලියන 8ක් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි කටයුතු කර ඇත.

ගෙවීම් ක්‍රියාපටිපාටි සහ බැඳුම්කර ස්ථානගත කිරීම පිළිබඳ ගැටළු මතුවීමෙන් පසුව ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී තිබේ.

අයථා පරිහරණය පිළිබඳ පෙර විමර්ශන සළකා බලා අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත ආරම්භ කර තිබිණි.

දූෂණ චෝදනාවලට මුහුණ දෙන වත්මන් රජයේ පළමු අමාත්‍යවරයා අමාත්‍ය ජයකොඩි වනු ඇත.

මීට පෙර, මඩකලපුව දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කරමින් කියා සිටියේ පොහොර සංස්ථාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ පුද්ගලයකු ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලයේ සේවය කරන බවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම පියවර ගනු ලබන්නේ පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩු මාලාවක් ද විභාග කරමින් තිබියදීය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ….

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වූ ගාලු කුමාරි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය ඊයේ (16) දින පස්වරු 5.30ට පමණ ගිංතොට දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්විය.

පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් 250කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්රිය පීලිවලටද දැඩි හානි සිදුවිය.

දුම්රිය පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

හානියට පත්වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ රාත්‍රියේම නැවත ආරම්භ කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

ඒ අනුව අද (17) පෙරවරු 11.00ට පමණ එක් මංතීරුවක් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පීලි පැනීමෙන් හානියට පත්වූ දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කර හැකි ඉක්මනින් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බවය.