තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනපති අනුරට තුති…..

තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙස පත් වූ සී. ජෝසප් විජේ මහතා, තම මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සුබ පැතුම් එක් කළ අනුර කුමාර දිසානායක මහතාට ස්තූතිය පළ කර තිබේ.

සිය X ගිණුම හරහා සටහනක් තබමින් සී. සී. ජෝසප් විජේ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ තමා ගෞරවයට පත්වන බවය.

“ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ  ගෞරවයට පත්වෙමි. ඔබගේ උතුම් අභිනයට ස්තූතියි,” යනුවෙන් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර….

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වා තිබේ.

එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇත.

ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබේ.

එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි ප්‍රශ්න කර ඇත.

එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවත් පොලීසිය සඳහන් කර තිබේ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින් “සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද?” යනුවෙන් විමසා ඇත.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයට නිලධාරීන් පවසා ඇත්තේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවය.

ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලීසිය පවසා ඇත.

ඒ අනුව පොලීසිය විසින් කළ ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇත.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තබා තිබේ.

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි……

මෙරට පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් විශ්‍රාමික Nayyar Naseer HI මහතා ඊයේ (11) විශ්‍රාමික නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවී තිබේ.

මෙහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළේය.

දෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේදී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ආරක්ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගෙන ඇත.

මේ අතර, ආපදා කළමනාකරණය ජාතික ආරක්ෂාවේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව දෙපාර්ශවයම පිළිගෙන ඇති අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ආපදාවන්ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, ක්‍රියාකාරී මනා සම්බන්ධීකරණයකින් යුත් සහ තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිචාර දැක්වීමක ඇති වැදගත්කම ද මෙහිදී තවදුරටත් පෙන්වා දී ඇත.

එමෙන්ම, දේශ සීමා ඉක්මවා යන සමුද්‍රීය අපරාධ, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මතුවෙමින් පවතින තර්ජනයන් පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

මෙම අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීම සඳහා තවදුරටත් තාක්ෂණික සහ සහයෝගීතා සහාය අවශ්‍ය බව දෙපාර්ශවයම පිළිගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී වී තිබේ.

යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා – පොලිස් ඇමති……

රට තුළ දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“දැන් පොලීසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. යම් ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමිනි.

දිට්වා ව්‍යසනයෙන් හානියට පත්වූ බෝයවලාන පොලිස් ස්ථානය සඳහා විකල්ප ඉඩමක අවශ්‍යතාව පෙන්වා දීමත් සමඟ ඇති වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් විසඳුම්……

දීර්ඝ කාලයක් පුරාවට උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයන් හී ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුව සඳහා කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථීර විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මීට පෙර පැවැති තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධතාව සලකා බලා විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරි නැමීමට රජය තීරණය කර ඇත.

මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස උමා ඔය ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වු පුද්ගලයින් 246 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙක්පත් ඌව පරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක් වෙනුවෙන් ප්‍රධානය කිරීම අද (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.

කැබිනට් අනුකමිටුව ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම තීන්දු ලෙන ඇති අතර මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් තමන්ට හිමි වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළකර අත්සන් තබා ඇති බවත් වාර්තා වේ.

මේ අතර මෙම වැඩපිළිවෙල හරහා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන් ඉඩම් හිමිකම් සහ වන්දි සම්බන්ධ ගැටලු රැසක් කඩිනමින් විසඳීමටද රජය අපේක්ෂා කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්…..

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලු ජනාධිපතිවරයා මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (12) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලු ජනාධිපතිවරයා අර්ධ හානි නිවාස සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් වෙන් වෙන්ව විමසා බැලීය.

ආපදා තත්ත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 12,169කට අර්ධ හානි සිදුව තිබෙන අතර නැවත පදිංචි කළ යුතු අධිඅවදානම් අර්ධ හානි 1583ක්, ගෙවීම් ගැටලු සහිත අර්ධ හානි 2304ක් සහ NBRI පරික්ෂා කළ යුතු සහ වාර්තා ලැබිය යුතු නිවාස 3795ක් පවතී.

ඒ අනුව දැනට නිශ්චිත ගෙවීම් සිදු කළ හැකි නිවාස ප්‍රමාණය 4488ක් වන අතර එයින්, 3038ක ප්‍රමාණයක් වෙනුවෙන් මේ වන විට ගෙවීම් සිදු කර තිබෙන බව නිලධාරීන් පෙන්වා දුන්හ.  ඉතිරි නිවාස සඳහාද ගෙවීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, අධිඅවදානම් කලාපවලට අයත් වීම හේතුවෙන් වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු
පවුල් වෙනුවෙන් ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අධිඅවදානම් කලාපවල, ජනතාව පදිංචි වීම වැළැක්වීම රජයේ වගකීම බවත්, ඊට අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පෞද්ගලික වතුවල ජීවත් වන නැවත පදිංචි කළ යුතු වතු ජනතාවට සහන සැලසීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කළ අතර නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

තනි නිවාස නොවන නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ප්‍රතිපාදන ලබා දීම මෙන්ම අර්ධ නිවාස හානි සඳහා ගෙවීම් සිදු කළ නොහැකි නිවාස ඉදිරියෙන් ඇති භූමිය ස්ථාවරව තබා ගැනීම සඳහා පැති බැමි සකස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා විය.

ව්‍යාපාර හානි ගෙවීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විචලනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මිල විචලනය පිළිබඳ මතුව ඇති ගැටලුවට ලබන සතිය තුළ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ තනුර දිසානායක, ජගත් මනුවර්ණ, ඊ.එම් බස්නායක, රියාස් ෆාරුක් යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද,  මහනුවර නගරාධිපති, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු මහජන නියෝජිතයෝද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි…..

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බවය.

සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බව නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම නඩු විභාග ආරම්භ කිරීමට පෙර සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙනවා ද ඒ පිළිබඳ ස්ථාවරය මීළඟ දින දැනුම්දෙන ලෙසත් දන්වා සිටින ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුකරය මේ මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ත්‍රිකුණාමලයේ බිලිඳු මරණයට වෘත්තීය ක්‍රියාමාර්ගවල කිසිදු සම්බන්ධයක් නෑ -GMOA….

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට කිසිදු අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ගවල සම්බන්ධයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (11) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසා සිටියේ, සූතිකාගාර ප්‍රතිකාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී කිසිදු විටකදී වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාරවලින් ඉවත් වීමක් සිදුනොකරන බවය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් සිතාමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවත්, අදාළ වෛද්‍යවරුන් වැඩතහනමකට ලක්වූ බව මාධ්‍ය මඟින් දැනගැනීමට ලැබුණද ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අදාළ වෛද්‍යවරු රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ, තමන්ගේ සේවා කාලයෙන් පිටත අවස්ථාවක බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තවදුරටත් සඳහන් කළේය.

පසුගිය අප්‍රෙල් 9 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුව එම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ, රාජකාරි කාලසීමාවේ සිය රාජකාරී පැහැරහැරීම සහ පෞද්ගලික සේවාවල නියැලීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවය.

එලෙස වැඩ තහනම් කර ඇත්තේ එම මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේය.

අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියට අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදී ඇතත් ඔවුන් එම අවස්ථාවේ නොපැමිණි බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට  සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ වෛද්‍යවරු දෙදෙනා රාජකාරි වේලාව තුළ පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ රෝහලේ රාජකාරි කර ඇතැයි රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් ද යොදා තිබූ බවය.

ඒ හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාගේ රාජකාරි වැඩතහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර, මෙම සිදුවීම සිදුව ඇති අප්‍රෙල් 09 වෙනිදා රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ දිනයකදීය.

එමෙන්ම රාජකාරි පැහැරහැරීම හේතුවෙන් වැඩතහනමට ලක්වූ විශේෂඥ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය මට්ටමේ සභාපතිවරයෙක්ද වේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

රෝද පුටුවෙන් ආ කෙහෙළිය…..

ප්‍රමිතියෙන් තොර Immunoglobulin ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම, මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව මේ දිනවල විභාගයට ගැනේ.

මෙම නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පවත්වනු ලබයි.

ඖෂධ මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීම, රජයට පාඩු සිදුකිරීම සහ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදාහැරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා රැසක් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇත.

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

අදාළ එන්නත් ලබාගත් රෝගීන්ට අසාත්මිකතා සහ විවිධ සංකූලතා ඇතිවූ බවට වාර්තා වීමත් සමඟ මෙම මහා පරිමාණ ඖෂධ වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ විය.

‘දක්ෂිණා ප්‍රභා’ ජාතික වෙසක් මංගල්‍යය ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්….

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ 2026 මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් වන මාතර පුරවරය සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයන්වහන්සේ රැසක් බිහිකළ පින්බිමක් වන අතර මාතර පුරවරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට දායාද කළ දහම් පණිවිඩය අදටත් සජීවිව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එබැවින් අතීත බෞද්ධ උරුමයේ අසමසම අභිමානය ලොවට විදහා දැක්වීමටත්, එම ප්‍රෞඩ ආධ්‍යාත්මික පණිවුඩය යළිත් ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ජාතික වෙසක් මංගල්‍යය සඳහා මාතර පුරවරය තෝරා ගැනීම විශේෂත්වයකි.

“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත  අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ.

ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ  ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කරනු ලැබ ඇත.

කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරගය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය.

එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින් ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

වෙසක් කුඩු තරගය විවෘත, පාසල් වශයෙන් සහ භක්ති ගීත රාජ්‍ය අංශය සහ පාසල් අංශය යටතේ පැවැත්වෙන අතර නිර්මාණශීලිත්වය සහ ගුණාත්මකභාවය ඇගයීම සඳහා ප්‍රවිණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.

මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන අතර මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත් වේ.

ජූනි 01දායින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුදෙනා දායක කර ගනිමින් මෙම වෙසක් මහෝත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.‍

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නයද, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන්ද, මාතර දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ ප්‍රජාව සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.