ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් අවසන්……

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් (15) අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙම කොමිෂන් සභාවේ අවසන් රැස්වීම අද (14) පැවැත්වීමට නියමිතව ඇත.

නිල කාලය හෙටින් අවසන් වූවත් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කරන තුරු මෙම නිලධාරින් එම ධුරවල කටයුතු කරනු ඇති බව සඳහන්ය.

2023 වසරේ මැයි 15 වෙනිදා පත් කෙරුණු මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාය.

ජාතික පොලිස් කොමිෂන් සභාවට සභාපතිවරයකු සහ සාමාජිකයින් හතර දෙනෙකු පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කරනු ලබයි.

2022 ඔක්තෝම්බර් මස 31 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා නවයක්  පත් කිරිමට අපේක්ෂා කෙරිණි.

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම ස්වාධීන කොමිෂන් සභා නවයෙන් එකක් වන අතර ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත අධීක්ෂණ කාර්ය භාරයක් ඊට පැවරී තිබේ.

ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍ර‍ථම වරට ස්ථාපිත කරන ලද්දේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2002 වර්ෂයේදීය.

බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස අන්තරේ වටලයි……

හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ‘ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව’ මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.

එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.

අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

ඒ මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබූ පසුබිමකය.

පසුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළේය.

අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය.

පසුව මෙම නිවයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.

එම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ඇමති විජිත සහ බෙලරුස් ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා…..

බෙලරුස් රාජ්‍යයේ සංචාරයක නිතරව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (14) එරට ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමුවී ද්විපාර්වීය සාකච්ඡා පවත්වා තිබේ.

දෙරට අතර ආර්ථික සබඳතා නිෂ්පාදන කාණ්ඩ කිහිපයකට සීමා වී ඇති බව පෙන්වා දී ඇති ජනපති ලුකෂෙන්කෝ මහතා, එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා අවධානය යොමුකර ඇත.

ඒ අනුව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන වෙළෙඳ, කර්මාන්ත, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැහැදිලි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව මෙහිදි සාකච්ඡා කර තිබේ.

ඒ අනුව දෙරටේ රාජ්‍ය නියෝජිතයන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාවට සහාය විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් සොයාබැලීමටත් එකඟතාවත් පළකර තිබේ.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර මේ දක්වා ජාත්‍යන්තර නීතිමය ගිවිසුම් 8කට අත්සන් තබා ඇති අතර, වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ද ක්‍රියාත්මකය.

පසුගිය වසරේ දෙරට අතර වෙළෙඳාම ඩොලර් මිලියන 23.6ක් වූ අතර, එය 2024 වසර හා සැසදීමේ 227%ක වර්ධනයක් බව සඳහන්ය.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් මෙම වසරට සම්පූර්ණ වේ.

මැයි 19 – 22වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි……

පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ දිනවලට නියමිත කටයුතු තීරණය කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.

මැයි 19 අඟහරුවාදා, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, අනතුරුව විපක්ෂය විසින් ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

මැයි 20 බදාදා, පෙරවරු 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය විී ඇත.

මැයි 21 බ්‍රහස්පතින්දා, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.

මැයි 22 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව  (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ  කනගසබෙයි තම්මන්පිල්ලෙයි   යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවද පාර්ලිමේන්තුව සඳහන් කරයි.

ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ඉඟියක්…..

ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එහෙත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර, එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

පෙබරවාරි මාසයේ දී අපට තෙල් අනායනයට වැය වී තිබුණේ, ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ දී අපිට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක්. අප්‍රේල් මාසයේ දී අපට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. මැයි මාසයේ දී අපි ගණනය කරා අපිට වැයවෙනවා ඩොලර් මිලියන 522ක්. පෙබරවාරිය හා සංසන්දනය කරලා බලද්දි 6 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් ආනයනය සිදුවෙලා තියෙනවා. අපිට යම් අභියෝගයක් සමඟ තමා ආර්ථිකය කළමනාකරණය කරන්න වෙන්නේ. 

තෙල් වියදම බැලුවොත් පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රු 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබාදෙන්නේ 392කට. අපි ආණ්ඩුවෙන් රු 100ක වැයබරක් දරනවා. එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ රු 492යි. එතනත් ඔවුන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවා ගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාවේ විශාල පාඩුවක් ආණ්ඩුව අරන් තියෙන්නේ. ඒ පසුගිය කාලයේ ආණ්ඩු නිසි කළමනාකරණයක් නොකළ නිසා. බිලියන 84ක පාඩුවක්. සංස්ථාව භාණ්ඩාගාරයට පවරා ගෙන තියෙන්නේ. 

විදුලි බිලත් එහෙම තමා. තෙල් වැඩිවීම නිසා අද බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අපි ඒකටත් යම් සහනයක් දෙන්නම්. විදුලි බිල 18%කින් වැඩි වෙද්දි 95%කට වැඩිවීම බලපාන්නේ නැති ආකාරයකට. 5%කට වගේ තමා විදුලිබිල වැඩි වුණේ. 

නමුත් දිගටම අපිට තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙමින් පවත්වාගෙන යන්න බෑ. ඒවා කාර්යක්ෂම කරගන්න ඕනේ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදියට අනිත් දේවල් කළමනාකරණය කරන්න ඔ්නේ. 

ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ ඉලක්කයක් තියෙනවා. මොකද වැඩි මිලකට ඉන්ධන මිල ඉහළ ගියාම පරණ පරිභෝජනය තිබුණොත් ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි පරිභෝජනය අඩුකිරීමේ අවශ්‍යතාවයෙන් තමා අපි යම් තීන්දු තීරණ අරන් තියෙනවා. අපි උත්සාහ කරනවා ඉන්ධන සම්බන්ධයෙන් විසඳුම් ඉක්මනින් ලබාදෙන්නම්. 

 

අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුවක් ජූනි 19ට කල්යයි……

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජූනි මස 19 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය ජූනි 19 වනදාට කල් තැබීමට තීන්දු කර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා සහ 2015 ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව පවසමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් අනීතික ලෙස වැය කර මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් මෙරට රෝහල් පද්ධතියට…..

මෙරට ප්‍රධාන රෝහල් රැසකට අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් (Cath lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු කරමින් සිටී.

මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වය, මඩකළපුව, රත්නපුර, බදුල්ල, ගාල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මඩකළපුව, රත්නපුර, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 4 සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් මිලියන 715ක්    වැය කිරීමට අපේක්ෂිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1,188ක මුදලක් වැයකර, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 03ක් ස්ථාපිත කිරීමටත්, මහනුවර ජාතික රෝහල මෙන්ම යාපනය, කලුබෝවිල යන ශික්ෂණ රෝහල්වල හෘද කැතිටකරණ යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමටත් නියමිතය.

එමෙන්ම ජයිකා (JICA) ආධාර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකක්ද, කුරුණෑගල, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ මහනුවර ජාතික රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ සදහා වැයවන මුදල රුපියල් මිලියන 1200ක්ය.

ඒ අනුව මෙම සියලුම හෘද කැතිටකරණ යන්ත්‍ර ස්ථාපිත කරන ව්‍යාපෘතිය සඳහා වැය කරන මුළු මුදල රුපියල් මිලියන 3103ක් බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ වනවිට හෘද කැතීටකරණ යන්ත්‍රය බැගින් කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේ මෙන්ම යාපනය, කුරුණෑගල, රාගම, කලුතර, අනුරාධපුර සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ශික්ෂණ රෝහල්වල මෙන්ම පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල සහ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල්තුළ ස්ථාපිතකර ප්‍රතිකාර සේවා සපයනු ලැබේ.

ඒ අනුව නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමග එම යන්ත්‍ර ප්‍රමාණය 26ක් දක්වා ඉහළ යනු ඇත.

රජයේ ප්‍රධාන රෝහල් පද්ධතිය තුළ මෙම හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපනය කිරීමත් සමග හෘද රෝගීන්හට කාර්යක්ෂම සේවාවක් ලැබෙන අතර, පොරොත්තු ලේඛණද අවම කිරීමට හැකියාව ලැබේ.

එමෙන්ම වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අවම කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදි අරමුණු ද සඵල කරගත හැකි වනු ඇත.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්…..

මැයි දින වේදිකාවේදී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසයි.

කොළඹදී අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි තීන්දුව පිළිබඳව දන්නේ විනිශ්චයකාරතුමා පමණක් වන අතර ඔහුට එය තුන්වන පාර්ශවයකට හෙළිදරව් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවද මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම ඉතාම බරපතළ වරදක් වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා,

”මැයි දිනයේ දී ජනාධිපතිතුමා මහරගම දී සිදු කළ කතාවේ බොහොම පැහැදිලිව එතුමා කිව්වා මැයි 30 අහපු නඩුවේ තීන්දුව ලැබෙනවා කියලා මැයි 25 වෙනිදාට.. ඒත් එක්කම කිව්වා ඒ නඩු තීන්දුව අත්පුඩි ගහලා මහත් හරසරින් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.. අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එම තීන්දුව දන්නේ එක පුද්ගලයෙකු විතරයි. ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමා විතරයි.. ඔහුට කිසිම අයිතියක් නෑ ඒ තීන්දුව තුන්වන පාර්ශවයකට කියන්න.. සාකච්ඡා කරන්න පුලුවන්කමකුත් නෑ.. අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම කියන්නේ ඉතාම බරපතළ වරදක්… එහෙම කරන කෙනෙක්ට ලැබෙන දඬුවම තමා අවුරුද්දක් බන්ධනාගාර ගතවීම.. ඒත් එක්කම අවුරුදු 5ක කාලයකට ප්‍රජා අයිතිය අහිමි වීම.. ඒ නිසා විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් හා නියෝජිතයින් හැටියට අපි තීරණය කළා  අගවිනිසුරුවරයාට සංදේශයක් යොමු කිරීමට.. එතුමාගේ ගෞරවාන්විත අවදානය මේ උග්‍ර ප්‍රශ්නය වෙනුවෙන් යොමු කරන්න කියන ආයාචනය තමා අපි සාමූහිකව කරන්නේ..”

හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි…..

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.

ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් තිබේ.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම විසින් කළ කැඳවීමකට අනුව ඔහු අද (12) කොමිසම වෙත පැමිණ තිබුණි.

ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඇමති විජිත බෙලරූස් ජන රජයේ නිල සංචාරයක…..

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරූස් ජනරජයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සංචාරය සිදු වන්නේ මැක්සිම් රයිෂෙන්කොව් මහතාගේ විශේෂ ආරාධනයකට අනුවය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ බෙලරූස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 25ක් සම්පූර්ණ වීමත් සමඟ මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව අමාත්‍යාංශය පවසයි.

මින්ස්ක් නගරයේදී අමාත්‍ය විජිත හේරත් මහතා, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමු වීමට නියමිත අතර, බෙලරුස් විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

එමෙන්ම බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සංචාරය අතරතුර දෙරට අතර අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළඳ හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙනු ඇත.

තවද මින්ස්ක් හිදී බෙලරූස් ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවක් ඇමතීමටද අමාත්‍යවරයා නියමිත අතර, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවීමටද කටයුතු යොදා ඇත.