විධායක නිලධාරීන්ගේ වැටුප දිනක් පමණ ප්‍රමාද විය හැකියි – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකි බවත්, විධායක නිලධාරීන්ගේ වැටුප එදිනම හෝ ඊට පසුදා ගෙවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවත්, ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිඟයක් ඇති බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළා.

දේශපාලන පක්ෂ නියෝජිතයන්ට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අද දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අපිට කිසිම අභියෝගයක් නෑ, අපි වැඩ කරපු ආණ්ඩුවක් – මහින්දානන්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ කිසිඳු අභියෝගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

වත්මන් ආණ්ඩුව කතාවට පමණක් සීමා නොවූ බවත් යුද්ධය සහ කොරෝනා වසන්ගතයද අවසන් කළ ආණ්ඩුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කුරුණෑගල නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ තුෂාර සංජීව විතාරණ ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය පරාජයට පත්වීම හේතුවෙන් ඔහු මෙලෙස ඉවත් කර ඇති අතර කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

c6e32afb85d09d26a031271c194aaedb

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි – මාර්තු 09

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම අද (21) දහවල් 12 ට අවසන් වුනා.

ජනපති රනිල් පළාත් පාලන මැතිවරණය නම් කොහොමටවත් තියන්න ඉඩ තියන්නේ නෑ – පී. හැරිසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.

ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දුන්නේ ඉතාමත් නරක පූර්වාදර්ශයක් – පාඨලී

මැතිවරණයට අවශ්‍ය මුදල් නොමැති බව කියමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අධිකරණයට කළ දැනුම් දීම ඉතාමත් නරක පුර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මෙය ඉදිරියේ දී ජනාධිපතිවරණයක දී පවා සිදු කිරීමට හැකි දෙයක් බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20) දිනයේ දැනුම් දුන්නා.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ඊයේ (20) දිනයෙන් අවසන් වුණා.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදායින් අවසන් වීමට නියමිත බවත් වාර්තා වනවා.

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ වූ බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

01

02