පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහින්ද,බැසිල් සහ නාමල් පිල්ලෙයාන් හමුවී ගෝඨාභය බලයට පත් වී සතියක් තුළ ඇප ගන්නා බවට දැනුම් දී ඇතැයි අනාවරණයක්…..

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළේ ය.

ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සතියක් තුළ පිල්ලයාන්ට ඇප ලබා ගැනීමට කටයුතු කරන බව, ඔවුන් එහිදී දැනුම් දී ඇති බවයි.

පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශ මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේ ය.

ඔහු කියා සිටියේ ප්‍රංශයේ වෙසන අසාද් මවුලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කරගත් බවයි.

newsfirst.lk

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියානු සහාය……

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුව ඇත්තේ රුසියාවේ කසාන් නගරයේ පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදයට සමගාමීවය.

එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහභාගී වී සිටියේය.

දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂණික දායකත්වය සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින්, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

මෙම අවස්ථාවට රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩිමිත්‍රි ස්වෙරෙව් ද එක්ව සිටියේය.

චාමරට එරෙහි තවත් නඩුවක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි…..

අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් දුෂණ චෝදනා නඩුකරයක් සම්බන්ධයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර තිබුණි.

ලබන 23 වනදා සිට එළැඹෙන 06 වනදා දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරයක නිරත වීම සඳහා තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ කාල සීමාව තුළ සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නියෝග කර ඇත.

චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන තවත් නඩුවක් ඊයේ (18) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ද එම නඩුකරයට අදාළව ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කර තිබුණි.

බාල්දුවෙන රුපියල බේරගන්න හැටි ඇමති විජිත පෙන්වයි……

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉදිරියේදි කළමනාකරණය කරගත හැකිවෙනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් රට තුළට පැමිණීමට නියමිතව ඇති බැවින් මෙන්ම ආනයන සීමා කිරීම මගින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇති බවය.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය මත ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින් මේ හේතුවෙන් සමස්ත ආර්ථිකයේ භාණ්ඩ මිල ඉහළ යා හැකි අවධානමක් පවතින බවත් ඒ පිළිබඳව රජය විසින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපි බලමු IMF එකත් හෙට අනිද්දා තව ඩොලර් මිලියන 700ක් විතර ලබා දෙන්න නියමිතව තිබෙනවා. අපි හිතනවා ඒක ලැබෙයි කියලා. ඒ වගේම ADB එක තව මිලියන 200ක් ලබා දෙන්න නියමිතව තිබෙනවා. ඒකත් එක්ක තව ඩොලර් ප්‍රමාණයක් රට තුළට එනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා ඩොලර් පිටට යාම යම් පාලනයක් වෙනවා. අනිත් පැත්තෙන් ඩොලරයේ විචලනයත් එක්ක අපනයන ආදායමෙත් වැඩිවීමක් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ කළමනාකරණය කරලා තියෙන්නේ. අපි හිතනවා මේ තත්ත්වය මගින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා.”

පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබානොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..

රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීම පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඊයේ (18) ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි.

නමුත්, එම අවස්තාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට ගොස් පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ නොසන්සුන්තාවයක් ඇති විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අද පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වෙමින් පෙරහුරුව කාර්යයන් සිදුකරමින් තිබෙන අවස්ථාවේ විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවය.

එබැවින් එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් විසින් එම උත්සාහය ව්‍යථ කර එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසා තිබුණි.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්‌ග ගැනීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති……

රණවිරුවන් විසින් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔවුන්ගේ අරමුණ සහ ප්‍රාර්ථනාව වූයේ මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම වන බවත් එම ප්‍රාර්ථනය ඉටු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (19) බත්තරමුල්ලේදී පැවැති 17 වැනි ජාතික රණවිරු සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට දෙකෝටියක් ජනතාවගේ කඳුළු පිසදැමීම උදෙසා රණවිරුවන් විශිෂ්ට කාර්යක් කළ බවත් එම කාර්ය වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට තම උත්තමාචාරයද පුද කරන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අපි සියලු දෙනා එක් වී සිටින්නේ මෑත ඉතිහාසයේ මව්බිම නිදහස් කර ගැනීම සඳහා උර දුන් අපේ  විරුවන්ට උත්තමාචාරය සහ ගෞරවය පුද කිරීමටයි.

රට වෙනුවෙන් තම ජීවිත පූජා කළ විරුවන් මේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී සිහිපත් කිරීම සහ ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අරමුණු ඉටු කිරීම වෙනුවෙන් යුද්ධය අවසන් වී වසර 17ක් වන අද දින අප මේ සමුළුව පවත්වනවා. 

නිදහස් රටක අභිමානය වෙනුවෙන් ජීවිත සහ ලේ කදුළුවලින් මිල ගෙවූ සියලුම විරුවන් මේ මොහොතේ උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරනවා. තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන් ඉටු කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා. 

විශේෂයෙන්ම, මෙවැනි වීරෝදාර විරුවන් මේ මව්බිමට දායාද කළ දෙමාපියන්ට, අපේ ගෞරවයත්, උත්තමාචාරයත් පුද කළ යුතුයි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇති. මෙම රණවිරු ස්මාරකය මත ඇති දහස් ගණනක් නම් අතර ඔබ සොයන්නට ඇත්තේ ඔබට අහිමි වූ ඔබේ පියා විය හැකියි. එසේ නොමැති නම් ඔබේ සැමියා, පෙම්වතා, ඥාතියා, සහෝදරයා විය හැකියි. එසේත් නැතිනම් ඔබේ හොඳම මිතුරා හෝ ළඟම හිතවතා විය හැකියි. ඔවුන් සිය ජීවිතය කැප කළේ ඔබේ, මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වගේම තවත් විශාල අරමුණු පෙරදැරි කරගෙනයි. 

ජීවිතය පරිත්‍යාග කළා හා සමාන ලෙසම තමන්ගේ ශරීර කොටස් පරිත්‍යාග කළ සොහොයුරන් සැමදා අපගේ හදවතේ වීරත්වයෙන් වැජඹෙන බව මම කියන්න කැමතියි. ඔබ කරන ලද උත්තුංග පරිත්‍යාගයේ සහ කැපකිරීම්වල ප්‍රතිඵල අද අපි රටක් ලෙස අත්විඳිමින් සිටිනවා.

ඔබගේ පරිත්‍යාගය, කැපකිරීම නොතිබෙන්නට අපි තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් බියජනක රාජ්‍යයක ජීවත් වෙනවා. ඔබ මේ මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී විශාලතම කාර්යභාරය ඉටු කරන ලද පිරිස ලෙස ඉතිහාසයට එක් වන බව අපිට විශ්වාසයයි. හැබැයි, ඒ පරිත්‍යාගය  තුළ තවත් අරමුණු බොහෝ ප්‍රමාණයක් ගැබ් වී තිබුණා. ඒ අරමුණු නම් සාමකාමී රටක්. යුද්ධය සහ ගැටුම් සහිත රටක් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධානම කණ්ඩායම වන්නේ ඔබයි. ඔබ දන්නවා යුද්ධය මොන තරම් විනාශකාරීද, බිහිසුණුද කියලා. ඒ නිසා මේ මාතෘභූමිය තුළ යුද්ධය ප්‍රතික්ෂේප කර සාමකාමීත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් විශාලතම අඬහැරය සහ විශාලතම ප්‍රාර්ථනාව තිබෙන්නේ ඔබ තුළ කියා මම විශ්වාස කරනවා. 

ඒ වගේම සංවර්ධිත රටක් අවශ්‍යයි.මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී මාතෘභූමිය නිදහස් කර ගැනීම හා සමාන ලෙසම අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ ඔබට තිබුණා. ඒ වගේම, සර්ව සාධාරණත්වය පිරි, නීතිය අගයන රටක්. ලෝකය දිනන රටක් ඔවුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවක්. ඔවුන් ජිවිතය පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව.ඔවුන් ප්‍රාර්ථනා කළ අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපි භාරගන්නා බව මම මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට ශපථ කර ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනා කිසිසේත්ම පාවා නොදෙන බවට මම ශපථ කරනවා.

සෑම විජයග්‍රහණයක්ම සමරන මොහොතක අප සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. ගේ දොරකඩට වී තම පියා එනතුරු බලා සිටින දූ දරුවන් තවමත් සිටිනවා. ඔවුන්ට කිසිදාක තම පියාගේ සෙනෙහස ලබා ගැනීමට වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, තම සැමියා අහිමි වූ බිරින්දෑවරුන්ගේ වේදනාව ඇගේ මුළු ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දෙනවා. නැවත ඇයට ඇගේ ස්වාමියා ලැබෙන්නේ නැහැ. එය අපි දන්නවා. ඒ වගේම අහිමි වූ දරුවාගේ මතකය සමග අනෙක් දරුවන් දෙස බලා සිටින මව්වරුන්, පියවරුන් සිටිනවා. එම මව්වරුන්ට, පියවරුන්ට තම දරුවා නැවත ලැබෙන්නේ නැති බව අපි දන්නවා. මේ සියලු දෙනා එක්ව රණවිරු ස්මාරකය මත ඔහු සොයනවා. තම හදවතේ ගැඹුරු තැන තමන්ගේ ස්වාමියා, දරුවා, සොහොයුරා, තැන්පත් වී ඇති බව සැබෑවක්. එහෙත්, මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට තිබෙන නම සොයාගෙන පපුවට අත තබාගෙන සුසුම් හෙළනවා. මෙම සංවේදීතාවට පිළිතුරක් ලබා දීමට අපිට පුළුවන්ද? අහිමි වූ වීර සෙබළ සෙබළියන් සැමරීමට අපිට කළ හැකි වන්නේ ඔවුන් විසින් කරන ලද වටිනා කැපකිරීමට ආචාරය පුද කිරීම පමණක්ද? මේ කැපකිරීම් ස්මරණය කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය හැකිද? මේ කැපකිරීම්වලට උත්තමාචාරය පුද කිරීම පමණක් ප්‍රමාණවත්ද, ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද රාජ්‍යය ගොඩනැගීමේ වගකීම ජිවත් වී සිටින අපිට පැවරී තිබෙනවා. 

සෑම උවදුරකදීම සහ සෑම තර්ජනයකදීම ඔවුන් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ආවා. සතුරු උවදුරකදී වේවා, ස්වභාවික ව්‍යසනයකදී වේවා, ඔවුන් ඔවුන්ගේ ජිවිත පරිත්‍යාගයේ අද්විතීය මෙහෙවර ඉටු කර තිබෙනවා. යුද්ධයේදී රට ගලවා ගැනීමේදී වගේම ව්‍යසනයකදී ජීවිත ගලවා ගැනීමටත් ඔවුන් කැපකිරීම් කළ බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් සැමදා අපේ හදවත් තුළ අනුස්මරණීයයි කියන සහතිකය අපි ලබා දෙනවා. 

පසුගිය වසරේ මා සඳහන් කළ පරිදි අපි සන්ධිස්ථානයක සිටගෙන සිටිනවා. නොදැනුවත්කමට වඩා දැනුම සොයාගත යුතුයි. අසමගියට වඩා එකමුතුකම ගොඩනැගිය යුතුයි. එකතැන පල්වීමට වඩා ප්‍රගතිය වෙත ගමන් කළ යුතුයි. මා එදා කියූ පරිදිම අපිට මේ සන්ධිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් වන්නේ විනාශකාරිත්වයේ පැරණි ගෝත්‍රිකවාදී එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වපුරන මාවත. අනෙක් මාවත වන්නේ මේ රට සමගිය, සංවර්ධනය, සමෘද්ධිය කරා ගෙන යමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මා හිතනවා අසීරුතම මොහොතේ හෝ අප තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කළ මාවතයි. ඒ මාවතේ නොබියව අධිෂ්ඨානශිලීව ගමන් කිරීමට මා ඔබ ඉදිරියේ ශපථ වෙනවා.

මේ පරිවර්තනය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට ජනතාවට වග කියන, ජනතාවගේ ජනරජයක් බිහි වී තිබෙනවා. ඒ ජනරජය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවගේ. ස්ථීර වශයෙන් මතු පරම්පරාව වෙනුවෙන්. අද අපි ගමන් කරමින් සිටින්නේ මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම කරා යන ගමනයි. ඒ ගමන අධිෂ්ඨානයෙන් පිරුණු ඔරොත්තු දීමේ ගිනි දැල් මත ගොඩනැගුණු ගමනක් බව සිහිපත් කළ යුතුයි. ඒ ගමන අසාමාන්‍ය දුෂ්කරතා සහ කම්කටොළු මත වැටී ඇති බව සිහිපත් කළ යුතුයි. එහෙත් මේ දුෂ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරිම බව සිහිපත් කළ යුතුයි. මේ රණවිරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි. එම ප්‍රාර්ථනාව ඉටු කිරීමේ වගකීම අපිට තිබෙනවා. 

අද අපි ඉදිරියට ගෙන යන්නේ අප අතර ඇති මනුෂ්‍යත්වය නොබෙදිය හැකි ආත්මයයි. අපි ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කරමින් සිටිනවා. අපේ රට නීතීය, අධිකරණයේ ස්වාධීනත්වය අගයන රටක් බවට පරිවර්තනය කර තිබෙනවා. මේ රට බේරා ගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනාව අපේ දෙවුර මත තබාගෙන ආදර්ශවත් රටක් ගොඩනැගීමේ අධිෂ්ඨානශීලි ගමනක අප නිරත වෙමින් සිටිනවා. 

යුද්ධයට ලෝකය කැබිලිවලට පුපුරුවා හැරිය හැකියි. එහෙත් සාමයට කළ හැක්කේ ලෝකය එකතු කිරීමයි. මළ සිරුරු ගොඩවල් මත මිනිස් සමාජයක් නිර්මාණය කරන්න බැහැ. ලේ ගංගා මැද සාමයේ දේවාල නිර්මාණය කරන්න බැහැ. පිපිරෙන බෝම්බ සහ වෙඩි උණ්ඩ මත මතු පරපුරට සැනසිලිදායක රටක්, ලෝකයක් ඉතිරි වන්නේ නැහැ. යුද්ධය ඛේදවාචකයක්. ඒ නිසා අපි යුද්ධයේ කතාව ඉතිහාසයට පවරා සාමයේ තිරසාර වන්දනාව වර්තමානයට එකතු කරගෙන තිබෙනවා. 

අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තමන්ගේ යුතුකම ඉටු කළා. ඔවුන් යුද්ධ කළේ බෙදුම්වාදයට එරෙහිව. මේ මාතෘභූමිය සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාට ඕනෑම තැනක ජීවත් විය හැකි අයිතිය තහවුරු වී තිබෙන මාතෘභූමියක්. එම මාතෘභූමිය බෙදා වෙන් කිරීමට එරෙහිව ඔබ සටන් කළා. ඔවුන් යුද්ධ කළේ ජාතියකට විරුද්ධව නොවෙයි. යුද්ධයේ බිහිසුණු ප්‍රතිවිපාක සියලු ජාතීන්ට අත්විඳීමට සිදු වුණා. එකම රටක තරුණයන් මේ යුද්ධය නිසා අහිමි වුණා. 

අවස්ථාවාදී බලලෝභී දේශපාලකයන්ගේ අන්තවාදී කැත පන්නයේ න්‍යාය පත්‍රය නිසා එකම රටක මිනිස්සු දෙකට බෙදුණා. 

දේශපාලන අශිෂ්ටත්වය මනුෂ්‍යත්වයේ පාපන්දුවක් බවට පත් වුණා. අදත් සමහරු යුද්ධය හොඳද නරකද කියා තර්ක කරනවා. මා යුද්ධය හොඳද, නරකද කියා විනිශ්චයක් දෙන්න සුදානම් නැහැ. හැබැයි මම නැවත කිසිදිනෙක යුද්ධයක් ඇති නොවන බවට වගබලා ගන්නවා. මා ඉදිරිපිට සිටින විරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි. මා සහ මගේ රජය පෙනී සිටින්නේ යුද්ධය හොඳද, නරකද කියා වගවිභාග කිරීමට නොවෙයි. මා සහ මාගේ රජය පෙනී සිටින්නේ නැවත යුද්ධයක් ඇති නොවන ලෙස වගබලා ගැනීමටයි. රණවිරුවන්ගේ සහ මේ රටේ සියලු දේශප්‍රේමි ජනතාවගේ ප්‍රාර්ථනය එය කියා මම විශ්වාස කරනවා. 

ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද සහිතව ජීවත් වීමේ නිදහස සහතික විය යුතුයි. මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම සමස්ත ජීවිතවලට ඇතුළත් විය යුතුයි. අපේ සාමජය පුරුදු වී තිබුණා එක්කෝ මහා බල අධිකාරින් ඉදිරිපිට දණගහගෙන ජීවත් වීමට. එසේ නැතිනම් බියට පත් වී ජීවත් වීමට.ඇතැම් කණ්ඩායමකට නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත් වීමට පුරුදු නැහැ. ඔවුන් කැමති ගැටුම්, අපහාස, අවලාදවලට. එහෙත් අපි කැප වී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් වෙනුවෙන්.

හැකියාව, දක්ෂතාව සහ කුසලතාව ඇති සියලු දෙනාට ඉදිරියට ආ හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාදවලින් වැජඹුණු සමහරුන්ට එය වේදනාවට කාරණයක් විය හැකියි. තමන් විශේෂයි කියා සිතමින් අනෙකා පීඩාවට පත් කළ අය තවදුරටත් විශේෂ නොවීම නිසා කලබල විය හැකියි. ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වියරු වැටිය හැකියි. එහෙත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව කැප වී සිටිනවා. ජනතා අභිලාෂයන් තිරසාරව ඉටු කරනවා.මේ මියගිය විරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි.

අපි මේ සැමරුම සිදු කරන මාසය ආගමික වශයෙන් සුවිශේෂී මාසයක්. ලෝකයට කරුණාව, මෛත්‍රියේ සහ සාමයේ පණිවිඩය ලබා දුන් බුදුන්වහන්සේගේ තෙමඟුල අපි මේ මාසයේ සමරනවා. බුදු දහම පදනම් වන්නේ අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය මතයි. අපේ රට චිරාත් කාලයක් මුළුල්ලේ මේ උදාර ධර්මය මත පිහිටා කටයුතු කරනවා. එහෙත් තමන්ගේ බලය සහ වුවමනා වෙනුවෙන් වෛරය, ක්‍රෝධය වපුරන ඉතා සුළුතර පිරිසක් සිටින බව අපි දන්නවා. 

ශ්‍රී ලංකාව සතු බහුවිධ සංස්කෘතික චිත්‍රයක් තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අපූරු නවාතැනක් වී තිබෙනවා. පශ්චාත් යුද සමයක ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම්වලින් එතෙර වීමට උත්සාහ ගනිමින් සිටිනවා. යුද්ධය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. එම වේදනාව අපේ මතු පරපුරට උරුම නොකිරීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. තිරසාර සාමය සහ සහජීවනය සඳහා පාලම් ගොඩනගමින් සිටිනවා. විවිධත්වය පිළිගැනීම සහ වෙනස්කර නොසැලකීම මගින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා ඒ පාලම් දායකත්වයක් සපයනවා. 

ලෝකප්‍රකට ශ්‍රී පාදස්ථානයේ සියලු ආගමික බැතිමතුන් වන්දනා කරනවා. පොළොන්නරුව යුනෙස්කෝ ලෝක උරුම නගරයේ බෞද්ධ ආරාම තුළ හින්දු සිද්ධස්ථාන තිබෙනවා. කතරගම දේවාලය බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වෙනවා. උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගමින් ආරම්භ වන පුජනීය පාද යාත්‍රාවකට සියලු බැතිමතුන් එකතු වෙනවා. කිරි වෙහෙර වඳින්න යන බැතිමතුන් දේවාලයටත් යනවා. ස්වභාවික ව්‍යසනයක් හමුවේ ජාතිකත්වය වෙනුවට මනුෂ්‍යත්වය උතුරා යනවා. නැති බැරි මොහොතක කිසිදු භේදයකින් තොරව මිනිස්සු උපකාර කරනවා. 

මෙතරම්  සුන්දර මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනැගිය හැකිද? අප විසින් අත්විඳින ලද විනාශයන් ඉතිහාසයට සීමා කළ යුතු යුගය උදා වී තිබෙනවා. අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජය ගත යුතුයි. අපි දශක ගණනාවක සිට විරැකියාවේ යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජයගත යුතුයි. තරුණ පරපුර නිදහස් නිවහල් රටක් ප්‍රාර්ථනා කරනවා. අපි එය ජයගත යුතුයි. 

අපේ රටේ දරු පරපුරට විශිෂ්ට රටක් හිමි කර දීමේ යුද්ධයක අපි ගිලී සිටිනවා. කිසිවක් නොදන්නා දරුවන්ට, දෙමාපියන්ගේ සෙනෙහස, රැකවරණය නොලැබුණු කළ රටක් සිය අනාගතය දිනන්නේ කසේද? අපි ඒ යුද්ධය ජයගත යුතුයි. සෑම පුරවැසියෙකුටම සමාන ලෙස සාධාරණත්වයෙන් සලකන හැම දෙනාගේම මාතෘ භූමිය ලෙස සලකන රටක් බිහි කිරීමේ යුද්ධය අපි ජයගත යුතුයි. 

දශක ගණනාවක යුද්ධය නිමා කරමින් මේ රටේ දෙකෝටියක් ජනතාවගේ කදුළු පිස දැමූ සියලු දෙනාට අපගේ උත්තමාචාරය පිරිනමනවා. එහිදී රණවිරුවන් ඉටු කළ මෙහෙය විශිෂ්ටයි. ඔබගේ එම උත්තුංග කාර්යය වෙනුවෙන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය පුද කරනවා. 

තවදුරටත් යුද්ධයක වචනයක් නෑසෙන සාමයේ පිරුණු, නිවහල් රටක පෙරට යාමට මම ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ජාතිවාදයේ ගෝරනාඩුව, ආගමික අන්තවාදයේ ගෝරනාඩුව සහ කුඩා කැළඹිලි සහගත කණ්ඩායම්වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේතම යළි කවර හෝ ජාතිවාදී, අන්තවාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුයි. ඒ වෙනුවෙන් එක් වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරනවා.”

ඇමති නලින්ද 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුව ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී ආරම්භ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර සමුළුව නියෝජනය කරනු ලබයි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)79වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr.Tedros Adhanom Ghebreyesus මහතා ලෝක සෞඛ්‍ය සමුළුව නිල වශයෙන් විවෘත කළ අතර සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටී.

මෙවර සමුළුවේ තේමාව “One world for Health” යන්නයි.

මෙම තේමාව යටතේ ගෝලීය සෞඛ්‍ය අභියෝග, වසංගත සඳහා සුදානම සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳව සාකච්ඡා, වැඩමුළු, සැසි, දේශන ගණනාවක්ම පැවැත්වේ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමති මිහිඳු සෙත් මැදුරේ රණවිරු සුවදුක් විමසයි….

ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගෙන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද (19) අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැදුර රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

යුද්ධ හා නාවික හමුදාපතිවරුන් සමග එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දශක කිහිපයක් පුරා පැවැති සන්නද්ධ ගැටුම්වලදී තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද බරපතළ තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණක්ෂිතයට පත් රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය.

මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිස රණවිරුවන් සමග ඉතා සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ වත්මන් අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමු කළ අතර ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෛද්‍ය පුනරුත්ථාපන සහ සෙසු සුබසාධන සේවාවන්හී වත්මන් ප්‍රගතියද නිරීක්ෂණය කළේය.

යුද සමයේදී මෙම රණවිරුවන්ගේ කැපවීම අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් රජයේ නොමද සහයෝගය සහ උපරිම දායකත්වය අඛණ්ඩව ලබා දෙන බවටද මෙහිදී සහතික විය.

එමෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් රැකබලා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීමේ උදාර කාර්යභාරය වෙනුවෙන් මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා සහාය වූ සමස්ත කාර්ය මණ්ඩලය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම මෙම රණවිරුවන් වෙනුවෙන් ආදරණීය සැලකිල්ල නොඅඩුව ලබා දෙමින් ඔවුන් ඉටුකරන සත්කාර සේවයද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයිමටද ලක්විය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් – සජිත්……

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම තුළ මේ මොහොත වන විට බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවයක් ඇති වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ බදු පරිපාලනය සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමග පැවැති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් රජයට කිසියම් පාර්ශ්වයක් අමතක වීම, රෝගී වීමක්, විදේශගතවීමක් වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධි ක්‍රියාවක් ලෙස සලකා බදු පරිපාලනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවය.

මෙය මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවත් සිරගත කිරීම යන තර්ජනය හරහා බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන් කිරීමට රජය සූදානම් වෙමින් සිටින බවද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.

මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමත්, මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව භීතියකට නැංවීමක් බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා මේ තුළින් නව ව්‍යාපාර බිහිවීම හා නව ව්‍යාපාර ව්‍යාප්ත කිරීමත් රැකියා උත්පාදනය සඳහා බරපතල ලෙස බලපෑමක් සිදුවන බවද සඳහන් කළේය.

එමෙන්ම මෙම ක්‍රියාව තුළින රජය අධිකරණ බලය පවා අභියෝගයට ලක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංගනය කිරීමක් සිදුකරන බවත් සංවරණ හා තුලන සංකල්පය සහ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයත තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයේ බලය බෙදීම පවා මෙමගින් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවිය යුතු බවත් බදු ගෙවීම මහ හැරීම සිදු නොකළ යුතු බවත් පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා සියලු දෙනා අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුවත් එය සාපරාධි ක්‍රියාවක් ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

චාමරගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි……

දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව මෝසම් මාර්ගයෙන් අද (18) කැඳවූ අවස්ථාවේදී  විත්තිකාර චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකරුට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍ය වී තිබෙන බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළේය.

2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාව සඳහා රේඛනය කළ චෙක්පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.