විවාදයකට එන්නැයි බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ඩී.වී චානකගෙන් අභියෝගයක්…

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අභියෝයග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ අමාත්‍යවරයාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමන් අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත්ය.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා මහා පරිමාණ ගල් අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.

එහිදී චෝදනා කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවය.

ඒ අනුව  ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් එහිදී පැවසීය.

ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්….

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් පිරිස අද (09) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනුකෙරෙනු නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

විපක්ෂයේ ඉල්ලීමක් කථානායක ප්‍රතික්ෂේප කරයි….

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත.

තම තීන්දුවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ, අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බවය.

එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කරන බව ඔහු තවදුරටත් පැවසීය.

ඉන්දීය යුද හමුදාපති සහ මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්….

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා හා මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද(07) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමු වී තිබේ.

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ප්‍රමුඛ දුත පිරිසක් නිල සංචාරයක් සඳහා ඊයේ මෙරටට පැමිණියේය.

මෙහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතිකමය සහ ශිෂ්ටාචාරමය සබඳතා දෙපාර්ශවය විසින්ම යළිත් තහවුරු කර ඇත.

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන ණය සහන ගැන පැහැදිලි කිරීමක්….

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර ආපදාවට ලක් වු ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම සමබන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

එමෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

මොඩියුල ගැටලුව ගැන කියන්න අගමැතිනිය මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී…..

ශ්‍රේණිවල මොඩියුල සඳහා වෙබ් අඩවි ඇතුළත් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබියදී එවැන්නක් සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

එමෙන්ම එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරියේ දී පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙන බවය.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතුවු ගැටලුකාරී තත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි ඇතුලු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය
”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන විදිහකට මේක ඇතුල් වුණාද කියන එක හොයාගෙන තමා අපි CID එකට ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒක එකසිය හයක් තියෙනවා. ඒ එකසිය හයම අපි අමාත්‍යංශයට ගෙනල්ලා එකින් එක බලනවා හාමුදුරුවනේ. ආයිත්. ඒක සාමාන්‍යයෙන් කළ යුතු දෙයකුත් නෙමෙයි. අමාත්‍යංශ‍යෙන් එහෙම පොත් බලන් නැහැ. ඒක ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමා බලන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නේ නිසා එකින් එක අපි බලනවා. ඒවයි තුලත් අපිට යම් යම් වැරදි හම්බවෙලා තියෙනවා..”

EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය.

මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා දීම උදෙසා පමණක් කටයුතු කරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

“මහජනතාවගේ ලේ දහඩියෙන් ඉතිරි වෙච්ච මුදල ඔවුන්ගේ අවශ්‍යතාවලට තමා පාවිච්චි වෙන්නේ. ඒ වගේම අදහස් මතු වෙනවා සමාජයෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න පුලුවන්ද කියන කාරණාව.

විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්න පුලුවන් නම් හොඳයි. මේ ගැන සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිදු තීරණයක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරවලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා” යැයි ඔහු පැවසීය.

විෂයමාලා, පෙළපොත් සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන්ට මාර්ගෝපදේශන සංග්‍රහයක්…

විෂයමාලා, පෙළපොත් සකස් කරන සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම  සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම (work group) සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06)  අරලිය ගහ මන්දිරයේදී පවත්වා තිබේ.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා ඇත.

පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදුකිරීම යන කාර්යයන් සිදුකරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය (Online Safety, Digital Wellbeing, Cyber Security) වෙනුවෙන්  මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට…..

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදෙනු ලැබිය.

මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගිජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ – ඇමති හර්ෂණ…..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතෙහි පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉන් අනතුරව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඉදිරියේදී එය දෙවැනිවර සහ තුන්වනවර කියවීමෙන් පසු එය නීතිය බවට සම්මත කරනවා. එය නීතියක් බවට සම්මත වුණාට පසුව එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මතවීමට පෙර ලබාගත්ත විශ්‍රාම වැටුප්වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ. මේ පනත සම්මතවන දිනයේ සිට වෙනදේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වන එක. අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදාගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂයෙන් මහජන විරෝධතාවයක් තියනවා මේ අවුරුදු පහක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුප ගන්නේ. මක් නිසාද සාමාන්‍ය රජයේ සේවකයෙක් උනොත් වසර ගණනාවක් සේවය කරලා කොන්දේසි ගණනාවකට මුහුණදීලා තමයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බවෙන්නෙ. මේ විශ්‍රාම වැටුප ගැනීමේදී ඔවුන් කිසිම ආකාරයක කන්ට්‍රිබියුෂන් එකක් කරන්නෙත් නැහැ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කලේ අපි මේ විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියන කාරණාව. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැටුප හැර වරප්‍රසාද යම් ප්‍රමාණයකටත් ඉවත් කලා. ඉතිං මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකෙන් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව. ඉදිරියටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් කරනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ අපි දීපු පොරොන්දුව මත මෙම විශ්‍රාම වැටුප අහෝසි කිරීම. යම් හෙයකින් යම් මන්ත්‍රීවරයකුට මේ විශ්‍රාම වැටුප නැතිව අපහසුතා තියනවානම් ඒ්ක රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන් ඉන් පසුව ඒ් මන්ත්‍රීවරයා දිහා බලලා ආර්ථීක සහන අවශ්‍ය නම් ඒ්ක කෙරෙන්නේ කොහොමද කියලා විසඳන්න පුළුවන්”