ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන ණය සහන ගැන පැහැදිලි කිරීමක්….

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර ආපදාවට ලක් වු ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම සමබන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

එමෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

මොඩියුල ගැටලුව ගැන කියන්න අගමැතිනිය මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී…..

ශ්‍රේණිවල මොඩියුල සඳහා වෙබ් අඩවි ඇතුළත් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබියදී එවැන්නක් සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

එමෙන්ම එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරියේ දී පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙන බවය.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතුවු ගැටලුකාරී තත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි ඇතුලු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය
”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන විදිහකට මේක ඇතුල් වුණාද කියන එක හොයාගෙන තමා අපි CID එකට ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒක එකසිය හයක් තියෙනවා. ඒ එකසිය හයම අපි අමාත්‍යංශයට ගෙනල්ලා එකින් එක බලනවා හාමුදුරුවනේ. ආයිත්. ඒක සාමාන්‍යයෙන් කළ යුතු දෙයකුත් නෙමෙයි. අමාත්‍යංශ‍යෙන් එහෙම පොත් බලන් නැහැ. ඒක ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමා බලන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නේ නිසා එකින් එක අපි බලනවා. ඒවයි තුලත් අපිට යම් යම් වැරදි හම්බවෙලා තියෙනවා..”

EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය.

මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා දීම උදෙසා පමණක් කටයුතු කරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

“මහජනතාවගේ ලේ දහඩියෙන් ඉතිරි වෙච්ච මුදල ඔවුන්ගේ අවශ්‍යතාවලට තමා පාවිච්චි වෙන්නේ. ඒ වගේම අදහස් මතු වෙනවා සමාජයෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න පුලුවන්ද කියන කාරණාව.

විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්න පුලුවන් නම් හොඳයි. මේ ගැන සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිදු තීරණයක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරවලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා” යැයි ඔහු පැවසීය.

විෂයමාලා, පෙළපොත් සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන්ට මාර්ගෝපදේශන සංග්‍රහයක්…

විෂයමාලා, පෙළපොත් සකස් කරන සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම  සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම (work group) සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06)  අරලිය ගහ මන්දිරයේදී පවත්වා තිබේ.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා ඇත.

පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදුකිරීම යන කාර්යයන් සිදුකරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය (Online Safety, Digital Wellbeing, Cyber Security) වෙනුවෙන්  මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට…..

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදෙනු ලැබිය.

මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගිජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ – ඇමති හර්ෂණ…..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතෙහි පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉන් අනතුරව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඉදිරියේදී එය දෙවැනිවර සහ තුන්වනවර කියවීමෙන් පසු එය නීතිය බවට සම්මත කරනවා. එය නීතියක් බවට සම්මත වුණාට පසුව එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මතවීමට පෙර ලබාගත්ත විශ්‍රාම වැටුප්වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ. මේ පනත සම්මතවන දිනයේ සිට වෙනදේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වන එක. අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදාගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂයෙන් මහජන විරෝධතාවයක් තියනවා මේ අවුරුදු පහක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුප ගන්නේ. මක් නිසාද සාමාන්‍ය රජයේ සේවකයෙක් උනොත් වසර ගණනාවක් සේවය කරලා කොන්දේසි ගණනාවකට මුහුණදීලා තමයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බවෙන්නෙ. මේ විශ්‍රාම වැටුප ගැනීමේදී ඔවුන් කිසිම ආකාරයක කන්ට්‍රිබියුෂන් එකක් කරන්නෙත් නැහැ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කලේ අපි මේ විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියන කාරණාව. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැටුප හැර වරප්‍රසාද යම් ප්‍රමාණයකටත් ඉවත් කලා. ඉතිං මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකෙන් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව. ඉදිරියටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් කරනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ අපි දීපු පොරොන්දුව මත මෙම විශ්‍රාම වැටුප අහෝසි කිරීම. යම් හෙයකින් යම් මන්ත්‍රීවරයකුට මේ විශ්‍රාම වැටුප නැතිව අපහසුතා තියනවානම් ඒ්ක රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන් ඉන් පසුව ඒ් මන්ත්‍රීවරයා දිහා බලලා ආර්ථීක සහන අවශ්‍ය නම් ඒ්ක කෙරෙන්නේ කොහොමද කියලා විසඳන්න පුළුවන්”

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්…..

ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහතමිය පවසයි.

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ නිරෝගී මනසක් සහ නිරෝගී ශරීරයක් සහිත දරුවෙකු බිහිකිරීම ජාතික ඉළක්කයක් බවය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ “මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනවාරි 10 වන දින අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළිදැක්වීමට සැළසුම් කර ඇත.

ඊට සමගාමීව මුල් ළමාවිය දරුවන් තුළ සහකම්පනය, චිත්තවේග කළමණාකරනය, ආචාරධර්මීය සංවර්ධනය, යහපත් සෞඛ්‍ය  පුරුදු හුරු කිරීම, සන්නිවේදන කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාකාරාම් පාදක ඉගැන්වීම රටාවක් සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් කට්ටලයක්ද හදුන්වා දීමට නියමිතය.

ජනපති අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක….

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන  විස්තීර්ණ ණය පහසුකම තුළ පවතින සීමාවන් අනුව වැය කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13%ක් වැනි ප්‍රමාණයක් බවත්, එයින් අවම 4%ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත්ය.

ඒ අනුව අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රධානම ආයෝජකයා රජය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1400ක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද, අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවීන් දිසානායක එජාප උප සභාපති ලෙස පත් කෙරේ…

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින  සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය.

එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.

වෙනිසියුලානු ජනාධිපති අමෙරිකානු ග්‍රහණයට ගැනීම හෙළා දකිමින් ජවිපෙන් ලිපියක්….

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යමින් සිදුකරන ලද මෙම ක්‍රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවය.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරනය කිරීමේ සහ පාලකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පත් එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවටය. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැත. 

නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ටසම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.
එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.

එබැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2026.01.04