කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ජනපතිට සංදේශයක්….

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

මේ ආකාර දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ සංදේශය තුළින් පෙන්වා දී ඇත.

උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, අන්‍යාගමික පුජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් එය විනිවිදභාවයෙන් තොර බව‍ය.

එබැවින් ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවයක් නොමැති බවත් අදාළ සංදේශයේ සඳහන් වේ.

භික්ෂුවකගේ ඓතිහාසික යුතුකම ඉටු කරමින් එකී අනතුරින් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

කෙහෙළිය ඇතුළු සිවිදෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි…..

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙ වන විටත් අධි චෝදනා භාර දී ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

විශ්වාසභංගයට සහාය නොදක්වන බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසයි…..

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහාය නොදැක්වීමට තීරණය කර ඇත.

මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත් කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අත්සන් ලබාගනිමින් සිටියි.

අදාළ විශ්වාසභංග යෝජනාවට තම පක්ෂය අත්සන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් මහතා එහිදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ, අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරිපත්ව නොමැතිවීම හේතුවෙන් තම පක්ෂය මෙම තීරණය ගත් බවය.

මතභේදාත්මක ඉගෙනුම් මොඩියුල ඉවත් කරන බවට මේ වන විටත් ප්‍රකාශ කර ඇති පසුබිමක, ඒ වෙනුවෙන් ඇයව ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම දේශපාලන පළිගැනීමක් ලෙස තම පක්ෂය සලකන බව මන්ත්‍රීවරයා පවසයි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කළ බවත්, ඉදිරියේදී මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවද එයට පක්ෂව හෝ අග්‍රාමාත්‍යවරියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තම පක්ෂයට හැකියාවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ලෝකයේ අනෙකුත් රටවල් ප්‍රාථමික අධ්‍යාපනයට ලබාදෙන වැදගත්කම ශ්‍රී ලංකාව තුළ දක්නට නොමැති බවත් ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය පසුගාමී මට්ටමක පවතින බවත් මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය පිළිබඳ විවිධ විවේචන පැවතියද, පුද්ගලිකව කාන්තාවකට එරෙහිව ගෙනයන අපහාසාත්මක ක්‍රියාවලට තම පක්ෂය හවුල් නොවන බවද මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා වැඩිදුරටත් පැවසීය.

සත්‍යග්‍රහයේ නිරත විමල්ට අධිකරණ නියෝගයක්…..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

මාර්ගය අවහිර නොවන ලෙසත්, උසස්පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් අදාළ අධිකරණ නියෝගයෙන් දැනුම්දී තිබේ.

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය හෙට…..

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක  ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිතව තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම උත්සවය පැවැත්වීමට සැළසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

දේශීය, විදේශීය , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක ‘‘රී බිල්ඩින්ග් ශ්‍රී ලංකා‘‘ වැඩසටහනට අදාලව අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කර තිබේ.

එමෙන්ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා උප කමිටු පිහිටුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය

කථානායකවරයා පැවසු බවට ප්‍රචාරයවන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්…..

“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත ” යන මැයෙන් ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍යයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කර ඇත්තේ අදාල අසත්‍ය පුවත කිසිදු පදනමකින් තොරව පලකර ඇති බවට කථානායකවරයා දැනුම් දී ඇති බවය.

එමෙන්ම කථානායකවරයා කිසිදු අවස්ථාවක එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට  උපදෙසක් ලබා දී නොමැති බවද පාර්ලිමේන්තුවේ මහලේකම්  කාර්යාලය දන්වා තිබේ.

තවද භෝජනාගාර අංශය ඇතුළු ඇතැම් සේවකයන් හොර රහසේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරට් පාවිච්චි කරන බවට තොරතුරු ලැබීමෙන් පසු කථානායකවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවට ප්‍රචාරය වන පුවතද අසත්‍ය බව සහ මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද පළවන වාර්තාවල ද කිසිදු සත්‍යතාවක් හා පදනමක් නොමැති බවද මහලේකම්  කාර්යාලය වැඩිදුරටත්  අවධාරණය කර සිටී.

මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ගැන CIDයෙන් විමර්ශනයක්….

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් අනුව, නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වූ බව සඳහන් කර ඇත.

එම ගැටලුව යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති පොලීසිය පවසයි.

කෙසේ නමුත්, මෙම අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලි බවක් නිරීක්ෂණය වූ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යංශ ලේකම්වරයා  පසුගිය 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ලට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

තවද, මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය…..

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පැවසීය.

උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමිනි.

එමෙන්ම රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන්,

”පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ. ඇතැම් පාලකයෝ වගේ.. මහා නායක හාමුදුරුවන් තුන් කල් දකින ඥානයක් තියෙනවා.උන්වහන්සේලා මේ විගඩන් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනගන රට මොකක්ද?” 

මෙම අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කර සිටියේ මෙම ආණ්ඩුව තුළ පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලක් තිබූ බවය.

එමෙන්ම මහනායක ස්වාමීන්වහන්සේලා පිරිවෙන් පනතට අත ගැසීමට අවසර දී නොමැති බවත් අවසර දී ඇත්තේ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට පමණක් වන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්,

”පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලකට ගියා. මහනායක හාමුදුරුවරු අවසර දීලානෑ පිරිවෙන් පනතට අතගහන්න.උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න විතරයි ඉඩකඩ දීලා තිබුණේ. ඒ නිසා මං කරුණාකරලා කියන්නේ, හාමුදුරුවරු අවදියෙන් ඉන්න. බාධාවක්, සාසනයට අර්බුදයක් ඇතිවෙන දේවල් තියෙනවා නම්, ඒ දේවල් ගැන අපිට නිහඬව ඉන්න බෑ. ඒක විනාශ වුණොත් අපිට ආයේ මේක ගොඩගන්න තැනක් එන්නේ නෑ.”

ඩග්ලස් දේවානන්දාට ඇප….

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ මහතා අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

ඒ අනුව ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහසේත්‍රාත්වරිය එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවත් විත්තිකරු තිදෙනාටම විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය.

එමෙන්ම නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනි දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්…..

දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද  ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදු කර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය එය ඉදිරියේදී  ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවත් පැවසුවාය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එම ආයතනය වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%ට ආසන්න ප්‍රමාණයකට‌ මේ සඳහා අවශ්‍ය කරන පුහුණුව ද මේ වනවිට ලබාදී ඇති බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ පසුගිය මාසවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සැලැසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබාදීමට නොහැකි වූ බවය.

ඒ අනුව එම ගුරුවරුන්ට එක සහ හය ශ්‍රේණියේ පාසල් වාර ආරම්භවීමට පෙර එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

එමෙන්ම මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත් එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසාදී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවය.

එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.