ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඒ සඳහා නම් කර ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඒ සඳහා නම් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව එම මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවය.
රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ට කරගැනීම පෙරදැරි කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ද විදුලිබල මණ්ඩලය කියයි.
විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශ්වකරුවන් සහ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙය සිදු කෙරුණු බව ද ඔවුන් පෙන්වා දෙයි.
පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“මම හරි පැහැදිලිව කිව්වා EPF සහ ETF අරමුදල් දෙකේ වෙනස. අපි EPF එක විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා මම කිව්වේ නැහැ. මම කියපු එක වැරදි විදියට ගියා..මේ EPF එක තියෙන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන්. අපි අවධානය යොමු කරලා තිබෙනවා පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන්. එහෙම නැතුව EPF අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා කිව්වේ නැහැ.”
පාර්ලිමේන්තුව ලබන මස 03, 05 සහ 6 යන දිනවල රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
මෙම දින තුනෙහි පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර
පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
2026 පෙබරවාරි 3 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) විවාදයට ගැනේ.
2026 පෙබරවාරි 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා තත්‍ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත.
එසේම පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්‍ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සිදු කෙරෙනු ඇත.
අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ.
ඒ අනුව හේෂා විතානගේ, චමින්ද විජේසිරි, රවී කරුණානායක, ලාල් ප්‍රේමනාත්, රෝහණ බණ්ඩාර, නලින් බණ්ඩාර ජයමහ සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් යෝජනා විවාදයට ගනු ඇත.
අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය) විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
“සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා.
ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නොවෙයි අධිකරණ අමාත්‍යවරයාත් ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අධිකරණ ඇමති ගැන හෝ කවුරු හරි ගැන පැමිණිලි තිබෙනවා නම් මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පැමිණිලි කරන්න පුළුවන්.
සමාජ මාධ්‍යවල පළ කරන දේවල්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. නීතිපතිවරයා ඉවත් කිරීම ගැන හෝ දෝෂාභියෝගයක් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා නැහැ.”
ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.
සිද්ධියට අදාළ නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.
2017 වසරේ දී ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකළ බවට හිටපු ඛණිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික රණතුංග යන අයට චෝදනා එල්ල වී තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් යම් ප්‍රමාණයකට හෝ අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා චීන තානාපති චී වොන් හොංග් පවසයි.
තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක සිදු කළ සාකච්ඡාවේදීය.
“චීන රජය වර්තමාන ශ්‍රී ලංකා රජය සමඟ ඉතාමත් සම්බන්ධව අනොන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමියද චීනයේ සංචාරය කළා. ශ්‍රී ලංකාවට යම් විපතක් වූ ඕනෑම අවස්ථාවක චීනය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. පූර්ණ සහයෝගය ලබා දෙනවා.
ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලීමක් කරා නුවරඑළිය, නුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ආපදාවට පත් වූ පාලම් හා මහ මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා.
මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම සඳහා විෂය සම්බන්ධ විශේෂඥයන් 06 දෙනෙකු ලංකාවට ආවා.
ඊට පසු දැනගත්තා මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයන්හී බහුතර මහාමාර්ග හා පාලම් මේ වන විට ප්‍රතිසංස්කරණය කොට හෝ ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව. එනිසා ඒ කණ්ඩායම මේ වන විට ලංකාව පුරා හානියට පත් මාර්ග හා පාලම් පිළිබඳ නිරීක්ෂණය කරනවා.
අනතුරුව නවීන තාක්ෂණය භාවිතා කොට අදත් ප්‍රතිඵලදායී ආකාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න චීන රජය කටයුතු කරනවා. ලෝකයේම මහා මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ විශේෂඥ දැනුම ඇත්තේ චීනයට බව කවුරුත් දන්නවා.”
ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති Remi Lambert මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හමුවක් සිදුව තිබේ.
එම හමුවේදී කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ගුවන් සේවා යටිතල පහසුකම් සංවර්ධනය, වරාය සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ආකර්ශණය වැනි කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අදහස් හුවමාරු කරගත් බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා අදහස් දක්වමින්, ඉන්දියන් සාගර කලාපයේ මූලික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රංශයට විශේෂ වැදගත්කමක් දරන බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් බවද අවධාරණය කළේය.
ඒ අනුව, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගුවන් හා නාවික ක්ෂේත්‍ර දෙකම සඳහා උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් බව පෙන්වා දුන් අතර, ප්‍රංශය සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට රජයේ කැමැත්තද ප්‍රකාශ කළේය.
මෙහිදී, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම පිළිබඳව කණගාටුව පළ කළ ප්‍රංශ තානාපතිවරයා, යුරෝපා සංගමය සමඟ එක්ව මානුෂීය සහය ලබාදීමට ප්‍රංශ රජය දායක වූ බව සඳහන් කළේය.
තවද, ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) හරහා ඉදිරියේදී ආපදා ප්‍රතිපාදන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපරිම සහාය ලබාදීමට සලකා බලන බවද පැවසීය. අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රංශ රජයට කෘතවේදීත්වය පළ කළහ.
සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාරය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, වාර්ෂිකව ලක්ෂයකට අධික ප්‍රංශ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, සුළි කුණාටුවෙන් පසුද සංචාරක උපදෙස් ධනාත්මකව පවත්වා ගැනීමට ප්‍රංශ රජය කටයුතු කර ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.
තවද, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් ගමනාගමනය ඉහළ දැමීමේ අවශ්‍යතාව පෙන්වා දුන් තානාපතිවරයා, ඒ සඳහා සංඥා පද්ධති, රේඩාර්, ගුවන් පාලන කළමනාකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාගම් සතුව පවතින පළපුරුද්ද හරහා සහාය ලබාදිය හැකි බව සඳහන් කළේය.
දැනටමත් රේඩාර් සහ ඊ-ගේට් පහසුකම් සපයා ඇති බවද ඔහු පැවසීය.
මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන් සේවය සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳවද අදහස් හුවමාරු වූ අතර, ප්‍රංශයේ Airbus සමාගම මඟින් මත්තල කලාපයේ ආයෝජන ව්‍යාපෘතියක් සලකාබැලිය හැකි බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම, කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු වූ අතර, දැනට ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් සකස් කරමින් පවතින ශක්‍යතා හා තාක්ෂණික වාර්තා ලැබුණු පසු සුදුසු ආයෝජන ආකෘතිය තීරණය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) මෙහිදී කරුණු පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සඳහන් වේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන බවත්, ඒ සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදුරටත් සඳහන් කර ඇත.
පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කළ බව සඳහන් වේ.
පසුගිය ආපදා තත්ත්වයට මුහුණ දීමෙන් පසු රටේ ආර්ථික සුරක්ෂිතතාව, සංවර්ධනය ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි සලකා බලමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට කාර්යක්ෂමව ක්‍රියාවට නංවා තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානාක මහතා ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙසද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කර තිබේ.
නිරන්තර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන ලෝකයක බලාපොරොත්තුව, නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කතා කිරීමේ දී ශ්‍රී ලංකාව කදිම උදාහරණයක් බවත්, දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අස්ථාවරතා සහ ආර්ථික අස්ථාවරතා යන වේගයෙන් වෙනස් වන ගෝලීය රටාවන් මධ්‍යයේ සංචාරක කර්මාන්තය සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අග්‍රාමාත්‍යවරිය ගෝලීය ප්‍රවණතා පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කර තිබේ.
ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව ඊයේ (20) Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබේ.
සංචාරක ප්‍රවේශය සහ ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුවමාරුව සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම සාකච්ඡාවට තුර්කි රාජ්‍ය සංවිධානයේ මහලේකම් කුබාන් ඔමරලියෙව් (Kuban Omiraliyev) මහතා සහ සවුදි අරාබියේ Aseer Investment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Meshari Alnahar මහතා එක්ව තිබේ.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, සංචාරක ව්‍යාපාරය ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස පමණක් නොව, ජීවනෝපායන් ආරක්ෂා කරන, සමාජීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් බවය.
ශ්‍රී ලංකාව මෑත කාලයේදී මුහුණ දුන් අත්දැකීම් සඳහන් කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් ඇතුළු විවිධ අර්බුද තත්ත්වයන් මධ්‍යයේ වුවද රටේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමට හැකි වූ ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී පැහැදිලි කර තිබේ.
විනිවිදභාවයෙන් යුතුව අර්බුද කළමනාකරණය කිරීම සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උපායමාර්ගිකව සම්බන්ධ වීම හරහා සංචාරකයින්ගේ විශ්වාසය පවත්වා ගැනීමට හැකි වූ බවත්, එමඟින් අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා වාර්තාගත සංචාරක පැමිණීම් වාර්තා කිරීමට හැකි වූ බවත් ඇය එහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම දේශගුණික මූල්‍යකරණය, ඩිජිටල් පරිවර්තනය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රමිතියකින් යුත්, දීර්ඝකාලීනව තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
සංචාරක ව්‍යාපාරය ලොව පුරා මිලියන ගණනක රැකියා අවස්ථා සඳහා මං විවර කරන බවත්, විශේෂයෙන්ම කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සාධාරණ හා සමාන අවස්ථා සහතික කිරීම සඳහා සියල්ල ඇතුළත් ප්‍රතිපත්ති හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.