මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට…..

මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000(කෝටි 3)ක මුදලක් තම සන්තකයේ තබාගැනීම ඔහුට එරෙහි චෝදනාව වේ.

2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ, මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමත්, මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදුකිරීම යන චෝදනාවත් අදාළ ව්‍යාපාරිකයාට එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අධ්‍යාපනය යනු විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි – අගමැති….

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති “ආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය (2024-2027)” යටතේ, දේශීය චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩමුළුව අමතමිනි.

යුරෝපීය සංගමයේ (European Union) මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Global Gateway වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ, පාසල් අධ්‍යාපනයට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමේ අභියෝග සහ අවස්ථා හඳුනා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදකයින්, යෞවන හා නිපුණතා සංවර්ධන අංශ සහ විධිමත් අධ්‍යාපන පාර්ශවකරුවන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, 2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්‍රය තුළ තිරසාර චක්‍රීය ආර්ථික ක්‍රමවේද ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පදනම සැකසීමයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි. සැබෑ අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ සමාජය සහ පරිසරය කෙරෙහි වගකීමක් මෙන්ම බැඳීමක් ඇති කිරීමයි. වර්තමානය වන විට අපට වඩාත් වැදගත් වන්නේ සම්පත් නැවත නැවත භාවිතයට ගන්නා වූ ‘චක්‍රීය ආර්ථික’ (Circular Economy) සංකල්පයයි.

මෙම සංකල්පය අපේ පැරැන්නන්ට අමුතු දෙයක් නොවෙයි. මගේ මතකයට එන්නේ මගේ ආච්චි අම්මා. ඇය ආහාර අපතේ යාම අවම කිරීමට දැක්වූයේ පුදුම දක්ෂතාවයක්. අද අප ඉවත ලන පැෂන් ෆෘට් ලෙලිවලින් එදා ඇය රසවත් ජෑම් සහ චට්නි සෑදුවා. කිරි බෝතල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා ඒවායින් නිවස හැඩ කරන විවිධ නිර්මාණ කළා. ‘කිසිවක් ඉවත නොදැමීම’ ඔවුන්ගේ ජීවන දර්ශනයයි.

නමුත් අද කාන්තාව දැඩි කාර්යබහුලත්වයකට මුහුණ දී සිටිනවා. රැකියාව සහ දරුවන්ගේ කටයුතු අතරතුර, කාලය නොමැතිකම නිසා ශීතකරණය තුළ එළවළු හෝ ආහාර ස්වල්පයක් අපතේ යාම අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. මෙය හුදෙක් කාන්තාවගේ පමණක් වගකීමක් නොවිය යුතුයි; නිවසක් තුළ මේ වගකීම් සහ ශ්‍රමය සාමූහිකව බෙදාගත යුතුයි.

ආහාර බෙදාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීම, තමන්ගේ පිඟාන තමන්ම පිරිසිදු කරගැනීම සහ සම්පත් සුරැකීමට පෙළඹීම වැනි දෑ හුදෙක් පාඩම් නොව ජීවන රටාවන් විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙනවා.”

ලන්ඩන් ගමනට එරෙහිව රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

——————————

Update

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාල නඩුකරය‍ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

මේ අතර මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට පැමිණ සිටිනවා දැයි ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සදහන් කළේ සැකකාර වික්‍රමසිංහ මහතා විත්ති කූඩුවේ වාඩි වී සිටින බවය.

එහිදී අධිකරණය ඇමතූ දිලීප පිරිස් මහතා “සැකකරුවෙකු එහෙම වාඩිවෙන්නේ කොහොමද? ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත යුතුයි” යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී එම ප්‍රකාශයට විත්තියේ නීතිඥවරු විරෝධය පළකර තිබේ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ “පැමිණිල්ල ඉදිරිපත් කරන ස්ථාවරය මම පිලිගන්නවා. අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තියෙනවා. එය අනුවයි කටයුතු කළ හැක්කේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා “ස්වාමීනි…මේ සැකකරුට ඇප ඉල්ලා සිටි අවස්ථාවේ දී සැකකරුගේ නීතිඥවරු සදහන් කර තිබුණා රනිල් වික්‍රමසිංහ මහතාගේ හදවතේ ධමනි අවහිර වීම නිසා ලේ ගමන් කරන්නේ වංගුවකින් බවට . ඒක හරි. ඔහුගේ සියලුම වැඩවල තිබෙන්නේ වංගු තමයි. මොකද මොහු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළාට පසුව කෙලින්ම ඇතුළත් වෙන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට. දැඩි සත්කාර ඒකකයේ සිය සහචරයින් සමග කාලය ගත කරමින් ඔහු බොරිස් ජොන්සන් ගේ පොත කියෙව්වා. පසුව අධිකරණය විසින් ඉල්ලීමක් කර නොතිබිය දී ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ පිටපත් පැමිණිල්ලට ලැබුණේ නෑ. මේ සැකකරු යන්න ඔන්න මෙන්න කියලයි නීතිඥවරු කිවේ. එහෙම කියලයි ඇප ගත්තේ. ” මේ ක්‍රියාව තුළින් මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ අනීතික ලෙස රැඳී සිටිමින් මහජන දේපළ අවභාවිතාවට ලක් කර තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා..

“මෙම සිද්ධියට අදාළව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පලපුරුදු නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ යටතේ ඔවුන් එවක එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේන ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ සියලු ප්‍රකාශ වලින් තහවුරු වී ඇත්තේ මේ සංචාරය පුද්ගලික සංචාරයක් බව.”

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දිලීප පිරිස් මහතා අමතමින් “ඔබ විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන 26 ක් ඇතුළත් වෙනවා. ඒ සියලු කරුණුවලින් සඳහන් වන්නේ මේක පෞද්ගලික සංචාරයක් බව. සැකකරුගේ මේ සංචාරය තුළ සුළු හෝ නිල කටයුත්තක් කර තිබුණාද?” යනුවෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වූ දිලිප පිරිස් මහතා

“මේක නිල සංචාරයක් වෙන්න නම් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ මැදිහත් විමක් තිබිය යුතුයි. නිල ආරාධනාවක් තිබිය යුතුයි. මේ සැකකරුට වුල්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරමින් ලිපියක් එවා තිබූ බව විත්තිය විසින් ප්‍රකාශ කර තිබුණා. නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ ලබා දී කියා තිබෙනවා එවැනි ලිපියක් තමන්ට නොලැබුණු බව.ඒ අනුව තමයි මේක පුද්ගලික සංචාරයක් බවට කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ.  මේ විශ්ව විද්‍යාලය  පෞද්ගලික විශ්ව විද්‍යාලයක්” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සියයට අනූවක් පමණ මේ විට අවසන් කර ඇති බවත් මාසයකින් පමණ විමර්ශන කටයුතු අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නඩුව මහාධිකරණයේ නොව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ගොනු කිරීම සම්බන්ධයෙන් තමා  නීතිපතිවරයාට යෝජනා කර තිබෙන බවත් මෙහිදී දිලිප පිරිස් මහතා සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥය ගුණරත්න වන්නිනායක මහතා කරුණු දක්වමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නීතිපතිවරයා බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට එම තීරණයක් ගත නොහැකි බවත් පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් දිලීප පිරිස් මහතා පැවසුවේ  තමා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාගේ මතය බවය.

ඊට ප්‍රතිචාර දක්වූ මහේස්ත්‍රාත්වරයාද කියා සිටියේ අතිරේක සොලිසියට ජනරාල් වරයා ඉදිරිපත් කරන කරුණු නීතිපතිවරයාගේ මතය වශයෙන් තම අධිකරණයද පිළිගන්නා බවය.

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්  ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනි… පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු වලින් සියයට අනූවක් පමණ  මගේ සේවා දායකයාට අදාල නෑ. මේ සැකකරු විසින් ඔහුට ලැබුණු ආරාධනාව ඇතුළත් ලිපිය  ව්‍යාජ ලිපියක් කියලා පැමිණිල්ල කලින් සඳහන් කර තිබුණා. ඒ ලිපිය ව්‍යාජ ද නැද්ද කියලා බලාගන්න නම් අදාළ විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් ගත යුතුයි. එවැනි ප්‍රකාශයක් ලබා ගැනීමකින් තොරව එහි සත්‍ය අසත්‍යභාවය ප්‍රකාශ කරන්න බෑ. නමුත් පැමිණිල්ල ඒක කරන්නේ නෑ. මොකද විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් ප්‍රකාශ ගත්තොත් පැහැදිලිව හෙළි වෙනවා මේක සත්‍ය ලියවිලා කියලා. තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගත් පමණින් මේ ලියවිල්ලේ සත්‍යා සත්‍යභාවය සොයා ගන්න බැහැ.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයාව පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා

“ස්වාමීනි…. මෙම නඩු කරයේ දෙවැනි සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සංචාරය  පුද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින්ම ලිපිවල සඳහන් කලේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන  ප්‍රයිවට් කියන වචනය ඉවත් කර ඊට  official කියන වචනය එකතු කලේ. මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා.” ඒ නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට  ප්‍රතිචාර දැක්වූ සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසිම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ.  ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා.” ඒ නිසා ඔහු ඇපමත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් “එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මටම මේ සැකකරු නිරත වී ඇති සංචාරය  පුද්ගලික සංචාරයක් බව පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තවම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශ  ලබාගෙන නෑ. ඒ නිසා එම ප්‍රකාශ ඉක්මනින් ලබාගන්න. ඒ සඳහා බ්‍රිතාන්‍යයට යාමට අවශ්‍ය නෑ. මාර්ගගත ක්‍රමයකින් එය කිරීමට හැකියාවක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට යළි අප්‍රේල් මස 29 වනදා පෙනී සිටින ලෙස නියම කළේය.

ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතාගේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී පොදු දේපල පනත කෙරෙහි අධිකරණය අවධානය යොමු කරනවා. පොදු දේපල පනත යටතේ ඇප ප්‍රධානය කිරීමට නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් විය යුතුයි. මේ සැකකරු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වශයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. නමුත් මේ නඩුකරයට අදාළ රුපියල් මිලියන 16කට වැඩි මුදල අනුමත කිරීමේදී ඔහු දැඩි අවධානයෙන් කටයුතු කර තිබෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව තුළ සුපිළිපන් භාවයක් හෝ පරීක්ෂාකාරී භාවයක් තිබී නෑ. සැකකර ජනාධිපති ලේකම්වරයා කියන කාරණය අමතක කර  සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සැලකුවොත් මේ අධිකරණය කටයුතු කරන්නේ කෙසේද?  ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු වෙනවා.” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත්  කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා “සැකකාර සමන් ඒකනායක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු ලෙස පැමිණිල්ල පැවසුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට එකඟ වීමට හැකියාවක් නෑ. මොකද ඔහු එක් අවස්ථාවකදී හැර  සැම අවස්ථාවක දීම අධිකරණයේ පෙනී  සිටියා. නමුත් ඔහුට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන කරුණු අසාමාන්‍ය කරුණු වශයෙන් අධිකරණයට පිළිගන්න බැහැ.” ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් බන්ධනාගාරය තුළදී මේ සැකකාර සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස  ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා හෙට දින සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු අතර වරින් වර  උණුසුම් වචන හුවමාරු වූ අතර ඒවා මහේස්ත්‍රාත්වරයා මැතිහත්වී  සමථයට පත් කරන ආකාරයක්ද දක්නට ලැබිණි.

සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට….

හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරුපැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබේ.

ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්ය. ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පහරදීම සිදුකල නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කල බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පහරකෑ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පැවසීය.

හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු සඳහන් කළේ, එවැන්නක් වාර්තා වී ඇති බවත්, තමන් එම ස්ථානයේ නොසිටි බවත්ය.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නාමල් හා කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන ඇමති අතර හමුවක්….

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු ලෙස පිළිගැනෙන කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් අද (28) බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුව ඇත.

සිද්ධරාමයියා මහතා කර්ණාටක ප්‍රාන්තයේ සංවර්ධනය සහ දියුණුව උදෙසා බොහෝ වැඩ සිදුකළ අයෙකු ලෙස ප්‍රචලිතය.

කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහාවන සමාජ සුබසාධන යෝජනා ක්‍රම රැසක් ඔහු යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඔවුන් දෙපළ තොරතුරු තාක්ෂණය සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳ මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය 05 වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක්….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු බැවින් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවය.

එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වන බවත් මේ තුළින් අවංක සමාජ සේවකයන්ට  දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත්විය නොහැකි වනු ඇති බවත් එම ලිපිය මගින් හිටපු කතානායකවරයා පෙන්වා දී තිබේ.

තවද තමන් ඇතුළුව ඉතා සුළු පිරිසක් මෙම විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවද අති බහුතරයක් මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවත් පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

චාමර සම්පත්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

ඒ, මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවය.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතාට නියම කළේය.

අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…..

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ, එම කොමිසම විසින් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ් නිලධාරියා කියා සිටියේ, 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

ඉන් අනතුරුව 2026 වසර දක්වා වරින් වර මේ සැකකරුගේ ප්‍රකාශ, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ගෙන්වා විමර්ශන සිදු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

2012 වසරේ මාර්තු 31 වන දා සිට  2014 වසරේ මාර්තු 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඔහු පැවසීය.

සැකකරු සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 11ක් ලැබුණු ආකාරය ඔහු විසින් පැහැදිලි කර නොමැති බව  සඳහන් කළ එම නිලධාරියා එම මුදල සිය බිරිඳගේ සහෝදරිය හා සහෝදරයෙකු ලබාදුන් බව ප්‍රකාශ කර ඇති බවත් කීවේය.

ඉන් රුපියල් මිලියන තුනක් සැකකරුගේ සහෝදරියක් විසින් ලබා දුන් බව සඳහන් කර ඇති අතර එම සහෝදරියගෙන් විමසූ විට ඉඩමක් විකුණා අදාල මුදල සැකකරුට ලබාදුන් බව පැවසුවත් විකුණු ඉඩම පිහිටා තිබෙන ස්ථානය ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට අමතරව තවත් මිලියන අටක මුදලක් සහෝදරයෙකු විසින් ලබාදුන් බව  සැකකරු ප්‍රකාශ කළත් එම මුදල ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේය.

මෙම සැකකරු අදාළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසමත් වී ඇති බවත් මේ සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගේ, ඇයගේ සහෝදරියකගේ හා සහෝදරයකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා දැනුම් දුන්නේය.

මෙම සැකකරු ඇපමත මුදා හරිනු ලැබූවොත් එම සාක්ෂිකරුවන්ට බාධා සිදු බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබා දී තිබෙන බවය.

මෙම විමර්ශනවලට අවශ්‍ය ලේඛන මීට වසර 11 කට පමණ පෙර සැකකරු විසින් අල්ලස් කොමිසමට ලබාදී ඇති බවත් සැකකරු කිසිදු අවස්ථාවක සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම සැකකරුගේ ආදායම් උපයා ගැනීම්වලට අදාළ ලේඛනයක් ද අද (23) දින නීතිඥවරයා විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කාරණා ඉදිරිපත්වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරු විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ කර තිබෙන බවය.

මෙම සැකකරුගේ එම ක්‍රියා කලාපය දෙස සලකා බැලීමේදී ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙය ඇප ලබාදිය හැකි වරදක් වුවත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළ, මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

එමෙන්ම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කර තිබේ.

මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු හිටපු ජනපති රනිල්…..

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ.

අද පෙරවරුවේ මහනුවර සංචාරයකට එක්වූ හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක තිබේ.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව නොලැබුණු අතර නාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලදී පවසා සිටියේ, තමා දැන් දේශපාලනයේ නොමැති බවය.

වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීමේ සූදානම පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.