මධ්‍යම කඳුකරය යළි ගොඩනැඟීමට සියලු පාර්ශ්ව ඒකාබද්ධ වු නව ව්‍යුහයක් – ජනපති…..

ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බව ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එබැවින් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අවිධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ නඩත්තු නොකිරීම් ඊට හේතු වී ඇති බවත් මෙහිදී  අවධාරණය කෙරුණු අතර, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් කඩිනම් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කර තිබේ.

ඊට අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම කටයුතු සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ, මෙරට අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානී Cholpon Mambetova,  එහි ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම සහ ස්වභාවික සම්පත් විශේෂඥ Sumith Pokhrel, සහකාර ව්‍යාපෘති නිලධාරී ක්‍රිෂාන්ති දාබරේ යන මහත්ම මහත්මීහුද,  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota සහ එම වැඩසටහන නියෝජනය කරමින් වගීෂා ගුණසේකර, සුගන්ධි සමරසිංහ යන මහත් මහත්මීහුද,  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති,  නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත යන මහත්වරු සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද ,  රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

තුසිත හල්ඔළුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට…..

නාරාහේන්පිට ප්‍රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුව ගෙන ඇත.

ඊයේ (19) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 450 ක් සොයාගෙන ඇති අතර ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් බවද අනාවරනය වී ඇත.

සැකකරු වයස අවුරුදු 30 ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ 2025.01.18 වනදා ද කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බවත් එය ව්‍යථ වීමෙන් පසු වෙඩි තැබීමට රැගෙන ආ ගිනි අවිය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රැගෙන ගිය බවත්ය.

යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි ඇත්තේ එහි ලියාපදිංචි අංකය වෙනත් යතුරු පැදියක අංකයක් බවය.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට අනාවරනය වී තිබේ.

චම්පිකට එරෙහි නඩුවක් ලබන මස දක්වා කල් යයි….

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණය පෙනී නොසිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 12 වනදා තෙක් කල් තිබුණි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා සිදුවූ රිය අනතුරක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වන දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහය භූමදානය කිරීමට තීරණය කරයි…..

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ.

ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදුකිරීමට සැලසුම් කර තිබුණි.

නීතිපතිවරයා ඉලක්ක කරගමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්……

නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවය.

අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම නිවේදනයේ සදහන් වේ.

එහිදී අදාළ කරුණු නීත්‍යානුකූලව පිළිගත හැකි සාක්ෂි ද යන්න සහ එම කරුණු මත පදනම්ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් පවතින්නේ ද යන්න සලකා බැලීමට නීතිපතිවරයාට සිදුවන බව ද නිතීඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අධිකරණ නිලධාරීන් සහ අර්ධ අධිකරණ නිලධාරීන් නීතියට අනුව තීරණ ගත යුතු බවත්, එම තීරණ ඇතැම් විට මහජන මතය අනුව සිදු නොවන්නට ඉඩ ඇති බවත් වටහා ගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට…..

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ඒ අනුව, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, ක්ලවුඩ් යටිතල පහසුකම් මධ්‍යස්ථානය පිහිටු වීම, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ලබා දීම සඳහා වූ ජාතික වැඩසටහන, Single window (තනි කවුළු) පහසුකම් ලබා දීම, ඩිජිටල් හැඳුනුම්පත ලබා දීමේ ව්‍යාපෘතිය සහ දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය සඳහා වූ ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සැලසුම් කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු බොහෝමයක් අවිධිමත් ක්ෂේත්‍ර ලෙස පවතින අතර එම කටයුතු විධිමත්ව ලේඛනගත කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි ආර්ථික සහ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එය අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.

එමෙන්ම,  ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය, දත්ත ආරක්ෂණ අධිකාරිය  සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරිත්වය, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්ද මෙහිදී විමසා බැලිණි.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආරම්භ කෙරුණු GovTech ආයතනයේ වත්මන් තත්ත්වය සහ නව බඳවා ගැනීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනයක්….

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 16 වනදා දක්වා කල් තබා තිබේ.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

මනුෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී…..

කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

පෙත්සම අද (19) එස්. තුරෙයි රාජා මහතා ප්‍රමූඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා වග උත්තරකරුවන් වෙනුවෙන් තමන් ගොනුකර ඇති බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ දිවුරුම් ප්‍රකාශයක් ද වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දුන් බවය අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ගල්අඟුරු වාර්තාවේ දත්ත වෙනස් කිරීමට බලපෑම්?

ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්වන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිරික්සන පරීක්ෂණ වාර්තාවේ දත්ත වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් එල්ල කිරීම, මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීමට හේතුව බවට පාර්ශ්ව කිහිපයක් රජයට චෝදනා කරයි.

මේ අතර නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අද (19) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද එම මණ්ඩලය අවලංගු කර තිබුණි.

එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට නියමිතව තිබූ බවය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ ප්‍රකාශයත් සමඟ රට තුළ ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වයකි.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කිරීමට නොහැකි බවය.

එසේම ගිවිසුමට අනුව ගල්අඟුරුවල ගුණාත්මකභාවය පහත මට්ටමක ඇත්නම් දඩමුදල් අයකරන බවත් එම නිවේදනයේ දැක් වේ.

මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ…

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව පෞද්ගලික ආයතනයක් විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි බලාගාරය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.

‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි ව්‍යාපෘතිය යටතේ මෙරට බලශක්ති ඉතිහාසයේ පළමු වතාවට, එක් ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 05 ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින 04ක් බලගැන්වේ.‍

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය වන අතර පූර්ණ දේශීය සමාගමක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

සුළං විදුලි බලාගාරය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා ටර්බයින ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවටද එක් විය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කාම් ඉල්යාස් යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද,   ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන්,  ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශර්ලි කුමාර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුද, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.