රාජිතට එරෙහි පැමිණිල්ල යළි කැඳවයි…..

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජූලි 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (30) කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි 10 නැවත කැඳවීමට දින නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග ක‍ළේය.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත.

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

විගණකාධිපති ධුරයට තවත් නමක් ජනපති යෝජනා කරයි…..

දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර නව ව්‍යවස්ථාදායක සභාවේ දෙවන රැස්වීම හෙට දිනයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මාරාන්තික උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්……

උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

මේ බව ජනාධිපති  මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා උපවාසකරුවන්ට අද (30) දැනුම් දුන්නේය.

ඒ අනුව ලබන අඟහරුවාදා (03) සවස හයට මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව සඳහන් වේ.

ලබන සඳුදා දින සියලු සංවර්ධන නිලධාරින් කොළඹට කැඳවා ඇති බවත් ඒ හේතුවෙන් ඊට පෙර එම සාකච්ඡාව ලබා දෙන ලෙසත් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා ඉල්ලා සිටියේය.

තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 26 වැනිදාය.

උපවාසයේ නිරතව සිටි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී පසුගියදා රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනාගෙන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත්වීම නිසා අද පෙරවරුවේ ඔහු රෝහල්ගත කෙරිණි.

ඒ අනුව මේ වනවිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින්නේ එක් අයෙකු පමණය.

රංගන ශිල්පි රජිත හිරාන්ට(පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධුරයක් ලබාදී ඇති බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයක් – අජිත් නාරගල…

රංගන ශිල්පි රජිත හිරාන්ට(පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නාරගල

“අද දින 2026.01.29 දින කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලය (Lotus office)පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.මේ උත්සවයට සහභාගී වීම සදහා දේශ්පාලඥයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී විය.මෙහිදී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් මහතා (පිං පොං)ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු නිරීක්ෂණය කළෙමි.තවද එහිදී කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් මහතා (පිං පොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක්ද පළවී තිබෙනු නිරීක්ෂණය කළෙමි.මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ, අසත්‍ය ප්‍රවෘත්තියකි.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත් මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන කලාකරුවන්,මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද පහත් උත්සාහයක් ලෙස මා දකිමි.

රාජිතට එරෙහි නඩුව කල්යයි…

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව  අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව යළි අප්‍රේල් මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා  විත්තියේ නීතිඥවරු අමතමින් සංශෝධිත අධිචෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේදැයි ප්‍රශ්න කළේය.

එවිට විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී විරෝධතා මතු කිරීමට අපේක්‍ෂා කරන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව විභාගය සඳහා අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි – ජනාධිපති ලේකම්…..

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට  අවබෝධයක් තිබිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන් රාජ්‍ය ආයතන 250හි ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.

මෙම  වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන 106ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා එම නිලධාරීන් පුහුණු කිරීම මීට පෙර සිදු කරන ලදී.

එහි දෙවන පියවර ලෙස තවත් රාජ්‍ය ආයතන 250ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අනුග්‍රහය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක රැඳී සිටියත් 2024 දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ 121 වන ස්ථානය බව ද ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

එය සෙසු ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වලට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය ජනතා නැඟී සිටීමේදී ප්‍රධාන සටන් පාඨය දූෂිත දේශපාලනයට එරෙහිව වුවත් එම චෝදනාව දූෂිත දේශපාලනඥයින්ට පමණක් නොව දූෂිත රාජ්‍ය නිලධාරීන්ටද එල්ල විය.

එම ජනතා නැගී සිටීම සිදු වූයේ ආර්ථික වශයෙන් රට බංකොලොත් වී එහි අනිටු ප්‍රතිඵල ඔවුන්ට දැනෙන්නට වූ අවස්ථාවේ බවත් ජනතාව නැඟී සිටීම ක්‍රමානුකූල ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය වන බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

”ජනතා නැගී සිටීම සුළුපටු නැහැ. එය බොහොම ප්‍රබලයි. ඒ නිසා ජනතා නැගී සිටීම සහ ජනතා අභිලාෂ පිළිබඳ දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද යම් කිසි අවබෝධයක් තිබිය යුතුයි. ජනතාවට සුපිළිපන්න සේවාවක් ලබා දීමට රාජ්‍ය සේවකයින් ලෙස අප බැඳී සිටිනවා. ඒ නිසා ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවය සුපිළිපන්න කිරීම සඳහා කිසියම් ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ් ඔස්සේ තමයි අපි අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටවනු ලැබුවේ. 

රාජ්‍ය නිලධාරීන් තම රාජකාරි ඉටු කරන අතරතුර ඔවුන්ගේ සුපිළිපන්නභාවය වර්ධනය කර ගැනීමට සැලකිලිමත් විය යුතු අතර, එමඟින් රාජ්‍ය අංශයේ දූෂණ සංස්කෘතිය වෙනස් කළ හැකිය. අභ්‍යන්තර කටයුතු ඒකක, රාජ්‍ය සේවය තුළ සුපිළිපන්න සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් ලෙසත් රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය විමසීමට ජනතාවට පහසුකම් සලසන වේදිකාවක් ලෙසත් සැලකිය හැකියි.”

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා….

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට වැඩබලන අමෙරිකානු තානාපතිනී ජේන් හොවෙල් මහත්මිය අතර එම සාකච්ඡාව බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බව එහිදි වැඩබලන අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

මෙහිදි මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇති බව සඳහන්ය.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය….

ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිය කොළඹදී පවත්වා තිබේ.

දෙරට අතර පවතින දිගු කාලීන ආර්ථීක හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර සැසියේදී එකඟතාවන්ට එළඹුනු බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී ඇති අතර පාකිස්තාන දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාද පිළිබඳ විශේෂ සහකාර හාරූන් අක්තාර් මහතා විසින් මෙහෙයවා තිබේ.

මෙම සැසියේදී දෙපාර්ශවය විසින් වෙළෙඳාම සහ ආයෝජන, කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ පශූ සම්පත්, බැංකු සහ මූල්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව සමාලෝචනයට ලක් කළ බව අමාත්‍යංශය සඳහන් කළේය.

හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය….

ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ අවධියේ සිදුකරන ලද ක්‍රියාවකින් රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ලබන 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවට අදාළ චෝදනා සංශෝධනය කිරීම සඳහා අල්ලස් කොමිසම මීට පෙර අවසර ඉල්ලා තිබුණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුව කරුණු දක්වමින් මෙම නඩුව සඳහා තම කණිෂ්ඨ නීතිඥවරයා පෙනී සිටි අවස්ථාවක අල්ලස් කොමිසම මෙම චෝදනා සංශෝධනය කිරීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවත් එය  සාමාන්‍ය සම්ප්‍රදාය නොවන බවත් පවසා තිබේ.

කෙසේ වෙතත් විනිසුරුවරයා නියම කළේ අදාළ චෝදනා සංශෝධනය කිරීමට අවසර දෙන්නේ ද ? යන කාරණය පිළිබඳව නියෝගය ලබන 10 වනදා  ප්‍රකාශ කරන බවය.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක්  නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට  බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.