“මහජන හඬ ” පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක…..

පක්ෂ විසි ගණනකින් සමන්විත”මහජන හඬ “නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්,සී.බී රත්නායක හා සංජීව එදිරිමාන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහභාගී විය.මහාචාර්ය ජී.එල්.පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් මෙම විශේෂ සාකච්ජාව සඳහා “මහජන හඬ” හි පක්ෂ විසිගණනම නියෝජනය කරමින් සහභාගී විය.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස් ගේ මැදිහත්වීම මත මෙම හමුව පැවති බවයි. ඔහු ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී සාකච්ජා පවත්වා තිබිණ.

අද පැවති හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

මෙම පක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් 21 වන දා නුගේගොඩදී “මහා ජන හඬ” යනුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැලියක් ද පැවැත්විණි

අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

මෙම හමුව ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය.

තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර ද හමුවක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවය.

බහාලුම් 323 ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇමති උපාලි පන්නිලගේ….

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ.

ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට භාජනය නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට හා ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පැවති පුරප්පාඩුව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාව මෙලෙස පත්කර ඇත.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වේ.

ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව හමුවී තිබේ.

ඒ අද (18) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ‘AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින අතරතුරය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන “AI Impact Summit 2026” සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) ඇමතීමට නියමිතය.

සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් මෙයට එක්වීමට නියමිතය.

මෛත්‍රී වික්‍රමසිංහට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්…..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක්….

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට ප්‍රමාණවත් කරුණු නොමැතිව තිබියදී බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) ප්‍රකාශ කර තිබේ.

නිල සංචාරකට මුවාවී පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නීති කෘත්‍යය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

ඒ නඩුවේ පළමු සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකී වරද සිදුකිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහාය.

අනතුරුව, දින 21ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එහිදී පිටු 07කින් සමන්විත ඇප නියෝගය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ප්‍රකාශයට පත්කළේය.

” මෙම නඩුවේ දෙවැනි සැකකරු වන මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනාව තමයි රාජ්‍ය නායකයා විසින් සිදුකළ බවට සැකකෙරෙන මූල්‍ය වංචාවක් අනුමත කිරීම තුළින් ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස පළමු සැකකරු සිදුකළ වරදට ආධාර අනුබලදීම. 

මෙම නඩුවේ දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සැකකරු රාජ්‍ය නායකයාගේ විදේශ සංචාරය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න තහවුරු කරගැනීමකින් තොරව, හුදෙක් පහළ නිලධාරින්ගේ තීරණ මත පදනම්ව රාජ්‍ය මූල්‍ය අනුමත කර ඇති බව පෙනීයනවා. ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස එසේ කරනවානම්, ඉන් පහළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ විශාල ගැටලුවක් පැනනගිනවා. මුදල් දුලබ කාලයක එම අනුමත කිරීම සිදුකිරීමේදී ඒ පිළිබඳ පෞද්ගලිකව සොයා බැලිය යුතුව තිබුණා. එය අත්හළ නොහැකි වගකීමක්. එබැවින් මෙම සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව නිරීක්ෂණය වනවා. 

කෙසේ වුවද, මෙම නඩුවේ සමස්තය පිළිබඳ අවධානය යොමුකිරීමේදී දෙවැනි සැකකරුට වඩා වැඩි වගකීමක් පළමු සැකකරු වන රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එසේ තිබියදී මෙම අධිකරණයේ පූර්වගාමි විනිසුරුවරිය විසින් වෛද්‍යමය කරුණු සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා පළමු සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා. එහිදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මරාන්තික රෝගී තත්ත්වයකින් පසුවූ බව ඇප නියෝගයේ සඳහන් වුවද, අත්අඩංගුවට ගැනීමට ආසන්න කාලයේ ඔහු එවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ඇති බව නිරීක්ෂණය වන්නේ නැහැ. එමෙන්ම ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි මරණාසන්න රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නැහැ. එම ඇප නියෝගය නිකුත් කිරීමේදී සලකා බලා ඇති වෛද්‍ය වාර්තාද අධිකරණ නියෝග ප්‍රකාරව කැඳවූ වෛද්‍ය වාර්තා නොවේ. එබැවින් පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිව ඇප ලබා දී තිබෙන බව මා නිරීක්ෂණය කරනවා. 

රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වියයුතුයි. නීතිය පළමු සැකකාර ජනාධිපතිවරයාට සහ දෙවැනි සැකකාර ජනාධිපති ලේකම්වරයාට වෙනස්වන්න බැහැ. එබැවින් මෙම තත්ත්වය මෙම සැකකරුට ඇප ලබා නොදීමට හේතුවක් නොවෙයි. සැකකරු රුපියල් මිලියන 20ක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කරනවා. “

අනතුරුව නීති කෘත්‍යය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන පිළිබඳ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු වාර්තා කළේය.

” ස්වාමිනි, ඔබේ අධිකරණ නියෝග ප්‍රකාරව බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ලිඛිතව සහ විද්‍යුත් තැපෑලෙන් යොමුකරන ලද ප්‍රශ්නාවලියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැහැ. එවැනි තත්ත්වයක ඊයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් යනවා වුල්ෆ්හැම්ටන් වාර්තාව ලැබුණා, මේ නඩුව සුණු විසුණු වෙලා ගියා කියලා. ස්වාමිනි, මේ නඩුව ඉදිරියට යන්න තියෙන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට. එහෙම තියෙද්දි යම් පිරිසක් සංවිධානාත්මකව උත්සාහ දරනවා සමාජයේ මානසික භීෂණයක් හදලා, සාක්ෂිකරුවන් සාක්ෂිදීමට නොපැමිණෙන තත්ත්වයක් හදන්න. උසාවියේ කතා නොකරන එළියේ කතා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන නීති විශාරදයෝ ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නෛතික පියවර ගන්නවා.”

නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරි දිනයකදී එක්සත් රාජධානියේ සංචාරයක නිරත වීමට නියමිතය.මෙහිදී නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල පවත්වන උත්සව අවස්ථාවන් වලට සහභාගී වීමටද නියමිතය.

මෙම සංචාරය පිලිබදව දැනගත් ඩයස්පෝරාව නාමල්ගේ ගමන වැළැක්වීමට ශ්‍රී ලංකා රජයට මෙන්ම මහාබ්‍රිතාන්‍ය රජයටත් බලපෑම් කර ඇත.තවද ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වලටත් බලපෑම් සිදුකරමින් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි.තවද මේ වන විටත් ඩයස්පෝරාව විසින් නාමල් රාජපක්ෂට විරෝධය පලකරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක්ද ආරම්භ කර ඇත

මෙහිදී නාමල් රාජපක්ෂ එක්සත් රාජධානියට පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

පනත් කෙටුම්පත් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකට….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 වගන්තිය යටතේ අභියෝගයට ලක් කරන ලද පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ කුලී අවලංගු කිරීමේ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පෙබරවාරි 6 වන දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට ලබාදුන් තොරතුරු මත පදනම්ව, පනත් කෙටුම්පත් ඒවායේ වර්තමාන ස්වරූපයෙන් ඉදිරියට නොයන බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ වෙනුවට, අදාළ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා විශේෂඥ කමිටුවකට යොමු කරනු ලබන අතර, ඒවා නව පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු පියවර ගනු ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව, පෙත්සම්කරුවන් විසින් තම පෙත්සම් ඉල්ලා අස්කර ගෙන ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.3 වගන්තිය යටතේ විධිමත් තීරණයක් ප්‍රකාශ කිරීම අනවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කිරීමට නියෝග කළ බවද කථානායකවරයා තවදුරටත් පැවසීය.

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට….

‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත.

අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ.

මෙහිදී බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ඉහල පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවට එක්සත් රාජධානියෙන් ලබාදුන් මානූෂීය ආධාර සහ එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇත.

ඊට අමතරව ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම ද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමීගේ මෙම සංචාරය තුළ සිදුකිරීමට නියමිතය.

විජිත් විජයමුණි FCIDයට….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ බවය.