අමෙරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී හා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්….

අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. “Web” Koehler, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමු වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝග, සමුද්‍රීය ආරක්‍ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂයපථය පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness – MDA) ශක්තිමත් කිරීම ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම මෙරට නාවික හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීමට සහ මෑතකදී ඇති වූ ‘දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයේදී අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් හදිසි මානුෂීය ආධාර හා සහයෝගය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය වෙත සිය කෘතඥතාව පළ කළේය.

නීතිවිරෝධී ජාවාරම් ඇතුළු දේශසීමා ඉක්මවා යන අපරාධ සහ අනෙකුත් නූතන අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙම සාකච්ඡාවලදී ඉස්මතු වී ඇත.

ඒ සම්බන්ධයෙන් වඩා පුළුල් පරාසයක දැනුවත්භාවයක් ලබා ගැනීම සඳහා උසස් තාක්‍ෂණික ක්‍රමවේද සහ සම්බන්ධිත මෙහෙයුම් ඒකාබද්ධ කිරීම කෙරෙහි ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් ව තිබේ.

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නව අමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකාවක් ලබාදීම තුළින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙරට මුහුදු සීමාව තුළ පවතින ආරක්‍ෂක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන වැදගත් පියවරක් ලෙස හඳුනා ගන්නා ලදී.

දෙපාර්ශවය අතර දැනට පවතින ආරක්‍ෂක සහ පුහුණු සහයෝගීතාව මෙන්ම ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ සහයෝගී මුලපිරීම් හරහා සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමුද්‍රීය ආරක්‍ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ වැඩිදියුණු කළ ආරක්‍ෂක සහයෝගීතාව යන පොදු අරමුණු වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම අද්මිරාල් Koehler මෙහිදී යළිත් තහවුරු කළේය.

පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්….

පසුගිය 2025 වසරේ පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන ලද වැටලීම් මගින් ආරක්ෂක අංශ භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110ය ඉක්මවන බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ 2025 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතන සඳහා වෙන්කර ඇති මුදල වූයේද රුපියල් බිලියන 147ක් වන බවය.

මෙම මත් ජාවාරම් හේතුවෙන් මෙරටට විශාල මුදලක් අහිමි වන බවත් පැවසූ ඒ මහතා මේ හේතුවෙන් මෙරට තරුණ ජීවිත රැසක්ද අකාලයේ රටට අහිමි වන බවද පෙන්වා දුන්නේය.

දඹුල්ලේදී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙරට තරුණ හීවිත රැසක් අහිමිවීමේ අවධානමක් සහ විශාල මුදල් ප්‍රමාණයක්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අහිමි කරන බවත්ය.

මත්ද්‍රව්‍ය තුළින් මෙරටට විශාල මුදලක් ජවාරම්කරුවන් විසින් අහිමි කරන බවත් පැවසූ ඒ මහතා මත්ද්‍රව්‍ය තුළින් ලබන්නා වූ ආදායම් රටේ සංවර්ධනයට හෝ රටේ ඉදිරි ගමනට දායක නොවන බවද සඳහන් කළේය.

ඒ අනුව රට වෙලා ගත් මෙම බිහිසුණු මත්ද්‍රව්‍ය අනතුරින් සමාජය මෙන්ම දරුවන්ද සුරක්ෂිත කිරීමටද සියලු පාර්ශ්වයන් හී වගකීම බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා,

“අප රට වෙලා ගත් බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය. 2025 පොලීසිය, හමුදාව අරන් තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, එහි මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 110කට අධිකයි. මම ඒ ගමන්ම ඔබට සඳහන් කරන්නම් 2025 වර්ෂයේ මමත් සේවය කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතනවලට අයවැයෙන් වෙන්කරලා තිබෙන මුදල රුපියල් බිලියන 147ක්. ඉතිං ඔබට තේරෙනවා ඇති ඒ හා සමාන මුදලක් මේ මත්ද්‍රව්‍යවලින් අපේ රටට අහිමි වෙනවා. මේ බිලියන 110 මේ රට, මේ රටේ ජනතාව විනාශ කරන්න යොදවනවා මිසක් මේ රටේ සංවර්ධනයට, රටේ ඉදිරි ගමනට දායකවෙන එකක් නෙමෙයි.  ඒ නිසා ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න”

පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු ළඟදීම….

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු අනාවරණය වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පත්මේ ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔවුන්ගේ දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතතුරදී මෙම කරුණු අනාවරණය කරගත් බව හෙතෙම පැවසීය.

ඒ අනුව එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත්,
සම්පූර්ණ විමර්ශනකින් අනතුරුව පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා.

ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා

සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා” යැයි පැවසීය.

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී අගමැති මෝදි ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

එමෙන්ම ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින්, ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සෝටකිස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමගින්ද එම සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්….

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ එක් සැකකරුවෙකු මාර්තු 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එමෙන්ම අනෙක් සැකකරු ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ජනපති යළි දිවයිනට….

නවදිල්ලි නුවර පැවැති ‘AI Impact 2026’ සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමවා අද (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

දේශපාලන බලපෑම් ගැන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් කළකිරීමෙන්…..

ඉඩම් රාජකාරී ඉටු කිරීමට අදාළව සිදුකරන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් විසින් ඇතැම් අවස්ථාවන්හි විවිධ ප්‍රාදේශීය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන බවය.

ඉඩම් රාජකාරී සඳහා අහිතකර දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ද එම සංගමය ඉල්ලා සිටියි.

ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු හෝ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ කාර්යාලයේ ඒ සඳහා නම් කළ නිලධාරීවරයෙකු යොමු කරන ලෙස ඔවුහු පවසති.

එසේ නොවන්නේ නම් දේශපාලන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලිපියක් රැගෙන අදාළ ගැටලු නිරාකරණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමේදී අදාළ ආරවුල් සම්බන්ධයෙන් තීරණ ගැනීම විනිවිධභාවයෙන් සිදු කිරීමට නොහැකිය.

එමඟින් ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තබා ඇති විශ්වාස පළුදුවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ඉඩම් රාජකාරීවලදී සිදු කරනු ලබන මෙවැනි අනිසි මැදිහත්වීම් වළක්වා ගැනීමට දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන ඉඩම් ගැටලු අදාළ කාර්යාල වෙත යොමු කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසට ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ සිදු විය.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය

සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති…..

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

“උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට වෙනම උසාවි තියෙනවා. තව උසාවි 07ක් ඉදිරියේදී ස්ථාපිත කරනවා.” 

ප්‍රශ්නය – අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ බිරිඳට වෙඩි තැබීමක් සිද්ධවුණා. දැන් මේ නීතිඥවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී මොකක්ද ගන්න පියවර?

“නඩුවලට පෙනී සිටීම නිසා නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටිලා නැහැ. මමත් අවුරුදු 25ක් අපරාධ නඩු මෙහෙයවූවා. අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. අකුරේගොඩ සිදුවීමට අනිවාර්යයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. නීතිඥ ප්‍රජාවම අනතුරේ කියන එක විපක්ෂය හදපු මතයක්.”

ප්‍රශ්නය – බන්ධනාගාර තදබදය අවම කරන්න ගෙන තිබෙන පියවර කුමක්ද?

“අපේ බන්ධනාගාර ධාරිතාව 10,500යි. දැනට 39,000ක් ඉන්නවා. වැරදිකරුවන් නොවූ කොටසයි ගැටලුව. වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000ක් ඉන්නවා. එතනිනුත් 20,000ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය. පිළිතුර බන්ධනාගාර තුළ සෙනඟ අඩු කිරීම. විනිසුරු යසන්ත කෝදාගොඩ යටතේ අලුත් පනතක් ගේන්න වැඩකරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ හරහා සෙනඟ අඩු කරන්න පුළුවන්. මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට. දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නැහැ. විනිසුරු තුරෙයි රාජා යටතේ කමිටුවක් පත්කළා. දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් දඬුවම් අඩුවීමේ ක්‍රමයක් හදනවා.”

කුලී ගෙවල් පනත සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතාබහත් ඇතිවුණා. ඒකේ ඉදිරියේදී කොයිවගේ වෙනස්කම් කරන්නද බලාපොරොත්තුවෙන්නේ?

“අඩියක් පස්සට ගෙන ජනතාවට කන්දීම පරාජයක් නොවෙයි. හදන්න ඕනේ හැමෝටම ගැළපෙන නීතියක්. අලුතින් අදහස් එවන්න ජනතාවට අවස්ථාවක් දුන්නා. කුලීහිමියාට සහ කුලීනිවැසියාට සහන ලැබෙන ලෙස. මේ පනත සංශෝධනය කරනවා. පනත පවතින ආකාරයෙන් නීතිගත කරන්නේ නැහැ. සංශෝධන පනතකින් මහජන අදහස් විමසනවා.”

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ආරක්ෂක ලේකම් හමුවෙයි….

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමු වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේදී  අද (19) මෙම හමුව සිදුව ඇත.

එහිදී දීස්වෛරීභාවය ආරක්ෂා කරන හා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන අපගේ විවෘත හා විනිවිද පෙනෙන හවුල්කාරිත්වය නැවත තහවුරු කරන ලදී.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වයට සහාය වීම සඳහා අවැසි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔව්හු සාකච්ඡා කළහ.

ඔවුන්ගේ සාකච්ඡාවලදී පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය  හිමි විය:

  •  වෘත්තීයභාවය සහ හැකියාව: අපගේ වෘත්තීය බලවේග අතර බැඳීම් ශක්තිමත් කිරීම.
  •  ආරක්ෂක සහයෝගීතාව: අන්තර්ජාතික තර්ජනවලට මුහුණ දීම සඳහා අන්තර්ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම.
  •  සමුද්‍රීය වසම් පිලිබඳ දැනුවත්භාවය:ආරක්ෂිත ඉන්දියානු සාගරයක් සඳහා දිගුකාලීන කැපවීම සහ සහයෝගීතාවය ඉහළ නැංවීම