අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත යවන ලද ලිපිය ද මේ සමඟ සබැඳිව එවමි.

WhatsApp Image 2025-08-25 at 14.40.02_a5b7cc74

රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට….

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි.

දැඩි සත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු ජනාධිපතිවරයා පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් සිටින බවත් මේ වන විට සතුටුදායක මට්ටමක සිටියද ඔහුගේ තත්ත්වය වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසුවේය.

කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනයේ දී ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව පවතීන යන්න පිළිබඳව අද පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවය.

එහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා,
”එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් එතන ඔඩිටෝරියම් එකේ සාකච්ඡාවක් පවත්වනවා.ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරයි වෛද්‍යමය හේතුව කොයි විදියද, කොයි තත්වෙද තියෙන්නේ කියලා එතනින් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ එතුමාට උසාවියේ පෙනී සිටීමට හැකියාව පවතිනවද නැද්ද කියලා. එතුමා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය යටතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ඒකට කියන්නේ ක්ලෝස් සුපර්විෂන් යටතේ තබා ගැනීම සුදුසුයි කියලා තමයි අපේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කරලා තියෙන්නේ. යම්කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ටේබල් තත්වයක් පෙන්නනවා. ICU එකේ මොනිටර් කරන එක විශේෂඥ වෛද්‍යවරු උදේ, හවස දෙකම කරන නිසා හරිම තත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණය කරන්න පුළුවන් එතුමා සුදුසු තත්වයක සිටියිද කියලා”

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් CID අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට යළි කැඳවීමට නියමිතය.

කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි….

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම  පෙත්සම්වලට අදාළ නොතීසී තමන්ට ලැබී නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කරමින් පෙත්සම් යළි සැප්තැම්බර් 23 කැඳවීමට නියම කළේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින තමන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් එහි අවසන් තීන්දුවක් ලැබෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

සිරදඬුවම් ලැබු උතුරු මැද ප්‍රධාන ඇමැතිගේ ඇප ඉල්ලීම කල්යයි…..

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්……

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව එහි සඳහන් වේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව ඔවුන්ගේ නිරීක්ෂණය වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

දේශපාලන පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ නි‍වේදනය

අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය කිරීමේ නිදහස අහිමි කරමින් මර්ධනකාරී ලෙස අණ්ඩුව තම දේශපාලන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒ අනුව, දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම, යටත් කිරීම සහ නිහඬ කර තැබීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක තැබිය යුතු ස්වාධීනත්වය බිඳ දමමින් පොලීසිය, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ.  තම දේශපාලන චරපුරුෂයන් ගෙන් විමර්ශන ආයතන පුරවාලමින් සහ යටත් කර ගනිමින් රාජ්‍ය යන්ත්‍රණයේ පැවතිය යුතු ස්වාධීනත්වය හකුලමින් ආණ්ඩුවේ ඒකාධිකාරයට සභ ඒකාධිපතීත්වයට යටත් කරගනිමින් සිටින බව අපගේ විශ්වාසයයි. රට තුල අද වන විට පැන නැගී ඇති වාතාවරණයට අනුව, ආණ්ඩුවට පැමිණෙන පොදුජන විරෝධය මර්ධනය කොට යටත් කිරීම සඳහා ආණ්ඩුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නොමැති බව අපගේ වැටහීමයි. 

රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියඳම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත. එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියකි. විමර්ශන කටයතු අවසන් නැති පරිසරය තුල ඇප ලබාදිය නොහැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මගින්, නීතියේ ආධිපත්‍ය දීර්ඝ කාලීනව බිඳවැටීමටත්, පොලීසිය ඇතුළු  ව්‍යවස්ථාපිත ආයතන විසින් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳව පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමටත්, අධිකරණය මගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන පවතින මහජන විශ්වාසය පළුදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව කනස්සල්ල මෙසේ ප්‍රකාශ කරමු. 

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථනිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව අපගේ නිරීක්ෂණයයි. චෝදනාවට පදනම් වන මුල් තොරතුර නිශ්පාදනය කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය විසිනි.   ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ උපදෙස් මත සැකසූ එය, රනිල් වික්‍රමසිංහ මහතාට වරද ආරෝපනය සදහා ද්වේශ සහගතව දේශපාලනික අරමුණක් සහිතව සකසන ලද්දක් බව පෙනීයයි. ⁠එම අභ්‍යන්තර වාර්තාව රජයේ විගනකාධිපතිවරයා විසින් තහවුරු කරන ලද වාර්ථාවක් නොවේ. එබැවින්, එහි සැඟවුණු දේශපාලනික අරමුණ එමගින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නීති ව්‍යවහාරයන් හා භාවිතයන් පවතී. එසේ තිබිය දී, නඩුවේ සාක්ෂිකරුවන් 38 දෙනෙකු ගේ විමර්ශන අවසන් කර නොමැති පරිසරයක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට අධිකරණ පද්ධතියේ ව්‍යවහාරයන්ට පටහැනි වේ. 

තව ද, මෙම පැමිණිල්ලට අදාල චෝදනාව විමර්ශනය කරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු  මුලස්ථානයේ දී පුවත්පත් සාකච්ඡා පැවැත්වූ, නිත්‍ය පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිට දේශපාලන අවශ්‍යතාව මත නැවත සේවයට කැඳවා ඇති විමර්ශකයෙකු විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් මගිනි. දේශපාලන අවශ්‍යතාව මත නිර්මාණය කරනු ලැබූ තොරතුරු සහ සාක්ෂි මත, දේශපාලන පත්වීම් ලැබූ විමර්ශකයින් විසින් විමර්ශන පවත්වා චෝදනා ගොනු කිරීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා දැවැන්ත බලපෑමක් එල්ල කරනු ලබයි. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයකි. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන නිදහස හා දේශපාලන මතවාද දැරීමේ අයිතිය රැකගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතු බව අපි අවධාරණය කරමු. මෙම ක්‍රියාවලියට එරෙහිව අපගේ බලවත් විරෝධය හා කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමු. එසේම මේ සමස්ත ක්‍රියාදාමයම මෙයට ක්‍රියාකාරී දේශපාලන නායකයන් ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

2025 අගෝස්තු 24

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි….

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ඇතුළු පිරිසක් විසින් පෙත්සම් හයක් ඉදිරිපත් කර ඇත.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව….

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

වෛද්‍යවරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය බෙල්ලන මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“හිටපු ජනාධිපතිව මම දැන් බලලා අවේ. ඔහුට යම්කිසි විජලනය තත්ත්වයක් වෙන්න ඕනේ යම් යම් වෙනස් වීම් තියෙනවා ශරීරයේ ලේවල සහ වෙනත් සළකුණුවල. ඉතිං අපි දවස් තුනක් දැඩි විවේකී තත්ත්වයක තියන්නත් ඕනේ, විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕනේ. ඒ කළේ නැත්නම් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු දැඩි නිරීක්ෂණයක් යටතේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයක් යටතේ ඔහුව මේ වෙලාවේ බලාගන්නවා. ඔහුට දවස් දෙක තුනක් යද්දි හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවත් අපි හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඒ සංකූලතා වර්ධනය වෙන්න පුළුවන්.”

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බවය.

එමෙන්ම මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ.

දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය විසින් අදාළ නිවේදනය ප්‍රකාශ‍යට පත් කළාය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

එහි දර්ශන ඉහතින්.