ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් අප්‍රේල් 2වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සුජිව සේනසිංහගේ පෙත්සමේ විභාගය අවසන්….

අනීතික ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විමර්ශනය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.

එම පෙත්සම අද (20) ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර සුජිව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අනීතික ලෙස ලබාගත් අධිකරණ නියෝග මත වග උත්තරකාර පොලිසිය විසින් මෙම විමර්ශනය සිදුකර තිබෙන බව චෝදනා කළේය.

මෙම විමර්ශනවලදී පොලිසිය විසින් නීතිය මගින් නියම කර තිබෙන නිසි ක්‍රියා පාටිපාටිය අනුගමනය නොකොට සිය සේවාදායකයාගේ මැතිවරණ ව්‍යාපාරයට හානි සිදු කිරීමේ අරමුණින් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

පොලිසිය සියලු විමර්ශන සිදු කර තිබෙන්නේ නීතියට අනුකූලව බවද ඇය සදහන් කළාය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිව කල් තැබීය.

විදුලි බිලත් ඉහළ යයිද ? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්….

රජයේ ප්‍රධානම අරමුණ අඛණ්ඩ බලශක්තිය ලබා දීම බවත් ඒ සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ සියලු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිලදී ගැනීමේදී පවා මිල ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව සාමාන්‍ය කාලවලදි සිදුවන මිලදී ගැනීම් සඳහා ගෙවනු ලබන මිල ගණන් නොවන බවත්
පැවසූ අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වයන් මත ඉදිරිය තීරණය කිරීමට සිදුවන බවය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ.”

අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි….

මෙරටට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා  කර තිබේ.

එමෙන්ම,  මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,  ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ  Sergio Gor මහතා සමඟ පැමිණි නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියම වෙයි….

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, මීළග පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද (19) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව අදාළ විවාදය එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

එමෙන්ම 2019 පාස්කු ඉරුදින සිදු වූ  ‍ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අප්‍රේල් 9 වෙනනිදා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා  පැවැත්වී‍මට ද තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් මස 7, 9 සහ 10 යන දින තුළ පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම ගැන දැනුම්දීමක්…

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින්  චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකියාවක් තිබේ දැයි මේ මස 27 වනදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද (19) පාර්ශවකරුවන්ට නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය වැඩතහනම් කිරීමට එරෙහිව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම සමථයට පත්කිරීම සඳහා දෙවන වගඋත්තරකරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

එම යෝජනා පදනම් කරගෙන මෙම  පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයට සලකාබැලිය හැකි බවත් ඇය පැවසීය.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ, එම සමථ යෝජනා පිළිබඳ සලකාබලා සිය සේවා දායකයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව මෙම පෙත්සම යළි ලබන 27 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය, විනිසුරු මඩුල්ල එදින මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට ඇති හැකියාව අධිකරණයට දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20 වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයට නියම කළේය.

මෙම පෙතසමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පාර්ලිමේන්තු  උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර තිබේ.

අරගල සමයේ දී වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනී – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්….

2022 වසරේ  අරගලය පැවති සමයේ අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (19)  තීන්දු කළේය.

රැඳවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා මෙම තීන්දුව ලබා දුනි.

2022 වසරේ අගෝස්තු මස 18 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත් වූ විරෝධතාවයකින් අනතුරුව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහුගේ නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත්  වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම  වසන්ත මුදලිගේට ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වුණි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ගෙන තිබූ තීරණය සාධාරණීකරණය කිරීමට වග උත්තර කරුවන් අපොහොසත් වී ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1), 13(1) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් වග උත්තරකාර පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඒ. කේ. ගමගේ විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

ඉන්ධන මිල කළමනාකරණය සඳහා ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්….

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

‍අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙය පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.

උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ඒ සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගනුදෙනුව…..

2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥයින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කර ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති බවය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගත් අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ යළි කැඳවුණි.

අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, අත්අඩංගුවටගත් දින පෙරවරුවේ මේ සැකකාර කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේ උදාර මුහම්දිරම්ගේ නම් නීතිඥවරයෙකුද සමඟින්. එහිදී නීතිඥවරයා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ගාමිණි අබේසිංහගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා තමන්ගේ සේවාදායකයාට වැඩිදුර තොරතුරු අනාවරණයක් කරන්න තියෙනවා, ඒ නිසා ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකර සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන්න කියලා. පසුව නීතිඥවරයා ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයේ whatsapp අංකයට දිවුරුම් ප්‍රකාශයක pdf පිටපත යොමුකරලා තියෙනවා. මෙන්න ස්වාමිනි screenshot. එහි අන්තිම ඡේදයේ සඳහන් වෙලා තියෙනවා ශමින්ද්‍ර රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න යන නම්දෙක සහ තවත් අය කියලා. පසුව ස්ථානාධිපති ගාමිණි අබේසිංහ සහ සහකාර අධ්‍යක්ෂ සුමේන්ද්‍ර මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් උපදෙස් පතලා තියෙනවා. එහිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇවිල්ලා ” ඔබ සත්‍ය ප්‍රකාශ කරන්න. තවත් අය යනුවෙන් සඳහන් කරන්නේ කව්ද කියා පැහැදිලිව කියන්න” යැයි සැකකරුට කියලා පිටව ගිහින් තියෙනවා. පසුව ස්වාමිනි මේ සැකකරු සම්පූර්ණ ප්‍රකාශයක් සිදුකළා. ගනුදෙනුවේදී ලද අමෙරිකානු ඩොලර් 2ක මුදල බෙදීගිය ආකාරය ගැන ලේඛනගත සාක්ෂි සමඟ පැහැදිලිව නම් ඉදිරිපත් කළා. ඔහු කියනවා අදාළ මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොල්ලුපිටියේ ස්ථානයකදී ලබාදුන්නා කියලා. පසුව 2015.03.08 දින මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක තනතුරින් ඉවත්වුණාට පසු අවස්ථාවක එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මොහුගෙන්  මුදල් ඉල්ලූ බව කියනවා. පසුව බෙලිඅත්තේ නිවසේදී එක් අවස්ථාවක සහ තංගල්ලේ කාල්ටන් නිවසේදී අවස්ථා 02ක රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 60ක මුදලක් මොහු හිටපු ජනාධිපතිවරයාට දී තිබෙනවා. මොහු කියන කරුණු සියල්ල සත්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද අවුරුදු 12ක් තිස්සේ නොකියපු කරුණු මොහු දැන් කියන්නේ. නමුත් ගිණුම්වලින් මුදල් ආපසු ලබාගැනීමට අදාළ රිසිට්පත් පවා ඔහු නිවෙසින් රැගෙනවිත් කොමිසමට ඉදිරිපත් කළා. ඒ නිසා අපි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.”

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේ සැකකරු අනාවරණය කළ බවට අල්ලස් කොමිසම පවසන නම්වලට මුදල් ගොස් ඇත්තේ බැංකු ගිණුම් හරහාද යන්නය.

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සඳහන් කළේ ” ස්වාමිනි, සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට මුදල් ගොස් ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා. සිදුවීමට අදාළ සෙසු ගිණුම් පිළිබඳ අපි තවදුරටත් විමර්ශනය කරනවා. එවකට ඇමති ප්‍රියංකර ජයරත්නට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට මොහු අතට මුදල් දුන් බවයි කියන්නේ. අදාළ කාලසීමාවේ ඔහුගේ බැංකු ගිණුමින් මුදල් ආපසු ගැනීමට අදාළ රිසිට්පත් ඔහු ඉදිරිපත් කර තිබෙනවා.”

අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.

“ස්වාමිනි, අල්ලස් කොමිසම හරි ලස්සන කතාවක් කිව්වා. නමුත් එදා කොටුව උසාවියේදී ඔය කියන කතා කිව්වේ නැහැ. එදා කිව්වේ සැකකරුට ජීවිත තර්ජනයක් ඇතිවෙන්න පුළුවන් නිසා ඔහු කියපු නම් හෙළිදරව් කරන්නේ නැහැ කියලා. නමුත් අපි එදාම කිව්වා මගේ සේවාදායකයාගෙන් ප්‍රකාශ ගද්දි, යම් යම් නම් එළිදරව් කරන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කළා කියලා. කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවකට අදාළව කෙනෙක් එල්ලිලා මැරුණා. ඒ වගේ ඔබටත් මැරෙන්න වෙයි කියලයි අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර තිබුණේ. අල්ලස් කොමිසම පිළිගත්තා මගේ සේවාදායකයා ළඟට අධ්‍යක්ෂ ජනරාල්වරයාව කැඳෙව්වා කියලා. ඔය අධ්‍යක්ෂ ජනරාල් තනතුර හොබවපු තව අයව මම දන්නවා.නමුත් ඒ කවුරුත් මෙහෙම කාමරයට ගෙනල්ලා තර්ජනය කරලා නැහැ. මගේ සේවාදායකයා ඔහුගේ ස්ථාවරය දක්වා තියෙද්දිත් ඊට එහා ගිය දෙයක් වෙන වෙන අයව පටලවාගන්න අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඕන වුණා. මගේ සේවාදායකයා කොමිසමට ගියේ නීතිඥවරයෙකු එක්කනම් ඇයි නීතිඥවරයා සමඟ ඔහුව අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවට ඉදිරිපත් නොකළේ. කනිෂ්ඨ නීතිඥවරයා කෑම කන්න ගියාමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා අහලා තියෙනවා මගේ සේවාදායකයාගෙන් ඔහුව දන්නවාද කියලා. ඔව් දන්නවා. ඔහුම තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙද්දි මාසයක් ඇතුළට මගේ සේවාදායකයාට ඇප දුන්නේ. ඉතිං මහේස්ත්‍රාත්වරයෙක් හැටියට එහෙම ඇප දුන්න සැකකරුවෙකුව පසු අවස්ථාවක මෙහෙම ඔහු ඉදිරියට කැඳවන්න මොනම නෛතික තත්ත්වයක් යටතේදිවත් ඔහුට පුළුවන්ද? ඒක හරිද? මගේ සේවාදායකයාට සිදුවූ සිදුවීම පිළිබඳ මේ දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ගොනුකරනවා.”

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා සිදුකළ එම කරුණු දැක්වීමට අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර මහත්මිය පිළිතුරු දුනි.

“ස්වාමිනි, මොකක්ද මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කළා කියන කතාව. 2023 අංක 09 දූෂණ විරෝධි පනතට අනුව අල්ලස් කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ විමර්ශන භාර නිලධාරියා තමයි අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහුට තමයි නඩු පවරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණ ගැනීමේ බලය තිබෙන්නේ. ඉතිං ස්වාමිනි ප්‍රකාශ දෙන්න පැමිණෙන පුද්ගලයෙක් මාව සැකකරුවෙකු ලෙස නම්කරන්න එපා, සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන්න කියද්දි, නොසඟවා කරුණු කියන්න කියන එක කොහොමද තර්ජනයක් වෙන්නේ. අනික මතක තබාගන්න. දැන් ඉන්නේ කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නොවෙයි. විමර්ශන නිලධාරින්ට ගැටලුවක් ඇතිවෙලා ඒකට උපදෙස් පතද්දි නිසි උපදෙස්දීම වරදක් වන්නේ කොහොමද? මේ සිදුවීම සම්බන්ධයෙන් එංගලන්තයේ පවතින නඩුවකට අදාළව එයාර්බස් සමාගම යුරෝ බිලියනයකට ආසන්න වන්දියක් ගෙවලා එකඟවෙලා තියෙනවා සිදුවීමට අදාළව අනෙක් රටවල්වල පවතින නඩුවලට නෛතික සහය දක්වන්න. Airbus සමාගමේ නිලධාරින් මේ නඩුවේදී ලංකාවට ඇවිල්ලා සාක්ෂි දෙන්නත් සූදනාම්. එබැවින් දූෂණ විරෝධි පනතේ පවත්නා විධිවිධාන ප්‍රකාරව මේ සැකකරු නඩු විභාගය අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්ධන ගැටලු කියා PHIලාගෙන් සෞඛ්‍ය ඇමතිට ලිපියක්…

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරනිමින් එම සංගමය සඳහන් කරන්නේ, ක්ෂේත්‍ර මට්ටමේ රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා විශේෂ ඉන්ධන කෝටාවක් වෙන් කර නොමැති බවය.

ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කර ඇති QR ක්‍රමවේදය පිළිබඳව කෘතඥතාව පලකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කෙසේ නමුත් ඔවුන් සිය ලිපියෙන් සඳහන් කරන්නේ, ලබාදෙන කුමන හෝ ඉන්ධන ප්‍රමාණයක් රස්තියාදුවකින් තොරව පෝලීම්වල නොසිට ප්‍රමුඛතාවයකින් ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැතිවීම ඔවුන්ට ගැටලුවක් වී ඇති බවය.

මෙම තත්ත්වය හේතුවෙන් බෝවන රෝග විමර්ශන හා පාලන කටයුතු, වෙළෙඳසැල් පරීක්ෂා කිරීම, පාසල් සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය රාජකාරි නියමිත කාලසීමාවන් තුළ සිදු කිරීමට නොහැකි වීමේ අවදානමක් පවතින බව සංගමය අවධාරණය කරයි.

මෙය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බව පෙන්වා දෙන එම සංගමය, ඉදිරියේදී මෙම තත්ත්වය හේතුවෙන් නිලධාරීන්ට පීඩනයක් හෝ දඩුවම් ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යාමට සිදුවිය හැකි බවට එම ලිපියෙන් අනතුරු අඟවා තිබේ.