අතුරලියේ රතන හිමි රිමාන්ඩ්…..

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

රාජිත සේනාරත්න 9 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට…..

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ…..

සියළුම රණවිරුවන්ට වෘත්තිය සමිතිවලට,රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට රණවිරු දඩයමට වෘත්තිය සමිති මර්ධනයට එරෙහි වීමට පෙල ගැසෙන ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කලේය.
රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිති වලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මෙම රජය අසාර්ථක උත්සාහයක නිරතවන බවත් තමා රණවිරුවන් දඩයම් කිරීමට හා වෘත්තිය සමිති මර්ධනයට සැමදා විරුද්ධ වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොද සූදානමකින් පසුවන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි….

අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.

සිය සේවාදායකයා හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය වගඋත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ තිබූ
“වැලිගොව්වා” නමැති නෞකාව අවභාවිතා කළ බවට චෝදනා කරමින් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසුවේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් ජූලි මස 02 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් ලිපියක් එවා තිබුණද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එදින පෙනී සිටීමට නොහැකි වූ අතර ඒ පිළිබඳව එම කොමිසම වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා කටයුතු  කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඉන් පසුව නීතියෙන් තම සේවාව දායකයාට ලැබී තිබෙන අයිතිවාසිකම්වලට අනුව ඔහු විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ අතර එම අපේක්‍ෂිත ඇප පෙත්සම පසුව එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ එම තීරණයට එරෙහිව තම සේවාදායකයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාගයට ගැනීම සඳහා නොතිස් නිකුත් කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තිබියදී පසුගිය 12 වනදා අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් එම වරෙන්තුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන ආකාරය  නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවැනි වරෙන්තුවක් ලබා ගැනීමට පෙර සාක්ෂි මෙහෙයවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නමුත් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ නීතියේ සඳහන් කර තිබෙන ආකාරයට සාක්ෂි මෙහෙයවීමකින් තොරව බවත් චෝදනා කළේය.

ඒ අනුව ඉකුත් 12 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එමෙන්ම හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නොතීසි නිකුත් කර ඇති බවත් ඒ අනුව සිය සේවාදායකයා හෙට දින අනිවාර්යයෙන්ම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරයා මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව සියසේවාදායකයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්විටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම පෙත්සමට අදාළව නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමටද නියම වුණි.

හිටපු ජනපති රනිල් තවමත් දැඩිසත්කාර ඒකකයේ….

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු රෝහලෙන් පිටව යන දිනයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කර තිබු අතර එහි සඳහන් වී ඇත්තේ ඒ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බවය.

එමෙන්ම හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ද පවතින බව අධිකරණ හමුවේ වාර්තා කර තිබුණි.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණි.

ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් ගැන CIDයෙන් විමර්ශන….

2025 අගෝස්තු මස 05 වනදා පැවැත් වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

2025 අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවියට දැනුම්දුනි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක….

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ, මේ වනවිට රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මුද්‍රණ පිටපතක් ආකාරයෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය විනිවිදභාවයෙන් තොර අතර අක්‍රමිකතා සිදුවන බවට අනාවරණය වී ඇති හෙයින් ඒවා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බවය.

එසේම රියදුරු බලපත්‍රය කල් ඉකුත්වූ විට එය අලුත් කර ගැනීමටත් වේරහැරට පැමිණීමට සිදුවන අතර එය ජනතාව අපහසුතාවට පත් කරවන්නක් බව ද අමාත්‍යවරුන් පෙන්වා දුන්නේය.

ඒ අනුව මාසයක් වැනි කාලයක් තුළ මෙම ක්‍රමවේදයත් වෙනස් කර, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිම සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති ඔවුන් එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරත්න, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම ආරංචිය….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

අද (27) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවය.

ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය මේ වනවිට ලබාදෙන ප්‍රතිකාර සමග පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය.

මේ අතර, ජාතික රෝහලෙන් ඕනෑම රෝගියෙකුට එකම අයුරකින් සේවය සපයන බව පැවසු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, සේවය ලබාගැනීමට රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට එක හා සමානව සලකන බව ද අවධාරණය කළේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුව පත්කරනු ලැබූ බවත් එයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වුණා. මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න. විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා.”

ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි….

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළේය.

මෙම පෙත්සම් අද අගවිනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙන බවය.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙන බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන මෙම තිබෙන අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.