ADBයෙන් ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල ඉහළ දමයි….

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.

මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම
සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවද පැවසීය.

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේදී  ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙතෙක් ලබා දෙනු ලැබූ ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාව මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යමින් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම වත්මන් රජයේ අපේක්ෂාව බව පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී සඳහන් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා, මධ්‍යම කඳුකරයේ ජල පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාත්මක කළයුතු  වැඩසටහන් සඳහා සහාය වීමට සූදානම් බවද පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ (විකල්ප) මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමට කඩිනම් වැඩපිළිවෙලක්…

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් කඩිනමින් සකස් කළ යුතු බවද අවධාරණය කළේය.

මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට නීති සංශෝධන කෙටුම්පතක් මේ වන විටත් සකස් කරනු ලැබ ඇති අතර එම කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රතිපාදන අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ගත වන කාලය තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව පිළිබඳ මෙහිදී  දීර්ඝ ලෙස විමසා බැලිණි.

මෙම ක්‍රියාවලියේදී අධිකරණය, පොලීසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණදෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පැමිණිලි මෙහෙයවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය කරුණු පැහැදිලි කළාය.

ජාවාරම්කරුවන් නිදැල්ලේ සිටීමටත්, නඩු භාණ්ඩ යළි සමාජගත වීමටත් ඇති සියලු ඉඩකඩ අහුරමින් මෙම නීති සංශෝධනය ගෙන ඒමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ ක්‍රියාවලියෙහි දැනට පවතින තත්ත්වය සහ එහිදී මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා පොලීසියේ මැදිහත්වීමෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ යෝජිත පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සංශෝධන සහිතව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආර්.ආර්.ජී. ශ්‍රියන්ත අමරරත්න, නියෝජ්‍ය රජයේ රස පරීක්ෂක කේ.ඒ.ඩී.පී. කොඩිතුවක්කු යන මහත්ම මහත්මීහු සහ නියෝජ්‍ය පොලිස්පති (මත්ද්‍රව්‍ය නාශක) අශෝක ධර්මසේන, නියෝජ්‍ය පොලිස්පති (නීති) ජාලිය සේනාරත්න, නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) කේ.ඒ.ජේ. කොඩිතුවක්කු යන මහත්වරුද, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

එම සංවාදයේදී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බව නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර ඇත.

එහිදී විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිව ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී දෙරටේ නායකයින් සමාලෝචනය කළ බව සඳහන්ය.

එමෙන්ම, කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර ඇත.

අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීමට තම කැපවීම යළි තහවුරු කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම ගැන හොයන කමිටුව රැස්වෙයි…..

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි.

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට පසුගිය 19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආපදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.

එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින් අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.

මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස  තුනක් ඇතුළත එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය.

එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට  අදාළ  නිර්දේශ  ඉදිරිපත් කිරීමට ද  අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.

මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන්  මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.

විපක්ෂයෙන් ජාත්‍යන්තරයට ලිපියක්…..

නීතිඥවරුන්, වෘත්තිකයින්, මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ට එල්ලවන බලපෑම්වලට එරෙහිව මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක් යොමුකර තිබේ.

එමගින් පෙන්වා දෙන්නේ මෙරට පොලිස්පතිවරයා සහ පොලිසිය දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවය.

ජාත්‍යන්තර නීති සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල නීති සංගමය, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, අම්නෙස්ට් ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච් සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයකට යොමුකර ඇති මෙම ලිපිය සඳහා විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් රැසක නායකයින් අත්සන් තබා තිබේ.

ඒ අතරට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙයි.

අදාළ ලිපිය තුළින් පෙන්වා දී ඇත්තේ ගිනිඅවි භාවිතයෙන් රටතුළ සිදුවන වෙඩි තැබීම් සහ ඝාතන ඉහළ ගොස් ඇති බවය.

ගෙවීගිය වසරේ එම සිදුවීම්වලින් ජීවිත 60ක් අහිමිවී ඇති බවත්, මෙම වසරේ තවත් ජීවිත 09ක් අහිමි වී ඇති බවත් එහි දැක්වෙයි.

එසේම පසුගිය පෙබරවාරි 13 වනදා අධිආරක්ෂිත අධි ආරක්ෂිත කලාපය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ මියයාම මෙරට නීති ක්ෂේත්‍රය තුළ කම්පනයක් ඇති කළ බවද එම ලිපියේ සඳහන්ය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිඥවරයා ඝාතනයට ලක්වී පැයක් ගතවීමටත් මත්තෙන් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි වෘත්තිකයෙකු ලෙස පොලිසිය හුවා දැක්වීමෙන් මහජන මනසේ එම නින්දිත හා මිලේච්ඡ ක්‍රියාවේ බරපතළකම අඩු කිරීමට කටයුතු කළ බවයි.

පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බව සඳහන් කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ විනිසුරුවන්ට සහ නීතිඥවරුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඉඩ නොලැබෙන බවයි.

එසේම යෝජිත ත්‍රස්ත විරෝධි පනත මගින් ඉහළ යන ජනතා අතෘප්තිය මර්දනය කිරීමට උත්සාහ දරන බවද, ඒ හරහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය වන බවද මෙම ලිපියෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අවධාරණය කර තිබේ.

මෙම තත්ත්වය තුළ මාධ්‍ය හිමිකරුවන්, කතෘවරුන්, විධායක කාර්ය මණ්ඩල සහ සියලු මට්ටමේ මාධ්‍යවේදින්ට පැහැදිලි අවදානමක් මතුව ඇති බවයි මෙම ලිපියේ දැක්වෙයි.

එබැවින් සියලු ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන මෙම තත්ත්වය පිළිබඳ දැනුවත් කරන බවත්, සුදුසු මැදිහත්වීමක් කරන ලෙසත් විපක්ෂයේ පක්ෂ නායකයින් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති නිල සංචාරයක් සඳහා දිවයිනට…..

ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සභාපතිවරයාව පිළිගන්නා ලදී.

මේ අතර ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා අද (23) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර, කොළඹදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමටද නියමිතය. එමෙන්ම Masato Kanda මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලය (SLRM) වෙත යාමටද නියමිතව තිබේ.

හෙට (24) දින සභාපතිවරයා ඇතුළු දූත පිරිස “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් අම්බලන්කන්ද ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර  එහිදී ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, සිදුව ඇති හානිය සෘජුවම දැක බලා ගැනීමටත් සැලසුම් කර ඇත.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට නියමිතය. මෙම හමුවේදී ආර්ථික පුනර්ජීවනය, සංවර්ධන මූල්‍යකරණය සහ ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සමඟ එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටී.

අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධිචෝදනා…

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට   කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දුන්නේය.

ඉන් අනතුරුව  විත්තිකරුවන් මිලියන 5 බැඟින් වූ ශරිර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම  තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…..

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි.

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ් මහතා ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.

ඉරානය තුළ පදිංචිව සිටින විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. අද වන විට ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ, “ඔවුන් තම රටවලට ආපසු යාමට කැමති නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සැලසිය හැකියි” යනුවෙනි.

සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දිනදෙයි…..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සම අද (23) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි ශාන්ත ජයතිලක මහතා විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එළඹෙන අධිකරණ නිවාඩුවට පෙර දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩල ප්‍රකාශ කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් මස 25 වනදා කැඳවන බවය.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සම තුළින් කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවය.

නමුත් සුරේෂ් සලේ මහතාට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.

එසේම සුරේෂ් සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දත්ත ආරක්ෂණ අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්….

දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිමුත් භාෂිත අතපත්තු මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම මාර්තු මස 05 වෙනිදා සිට බලපැවැත්වෙනු ඇත.

මෙම පත්වීමට පෙර භාෂිත අතපත්තු මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වාණිජකරණය සහ හවුල්කාරීත්වය කටයුතු භාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය.

ඔහු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහ LK Domain Registry අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළ බව සඳහන්ය.

මෙරට පුද්ගලික දත්ත ආරක්ෂාව සම්බන්ධ නියාමනය ශක්තිමත් කිරීමේ සහ මෑතකදී සංශෝධනය කරන ලද 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ දක්වා ඇති පෞද්ගලිකත්ව ආරක්ෂණ රාමුව බලාත්මක කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

මොහු විසින් අධිකාරියේ උපායමාර්ගික සහ පරිපාලනමය කාර්යයන් සඳහා නායකත්වය සැපයීම සිදු කළ යුතුය.

ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ විධිවිධාන බලාත්මක කිරීමේ දිනයන් ප්‍රකාශයට පත් කිරීම, දත්ත ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සහ රජයේ සහ රාජ්‍ය නොවන අංශයන්හි දත්ත පාලකයින් සහ සැකසුම්කරුවන්ගේ ධාරිතා වර්ධනය ඔහුට පැවරෙන කාර්යයන් වේ.