විරෝධතාවක් අතරතුර කොටුවේ උණුසුම් තත්ත්වයක්……

‘ජන අරගල ව්‍යාපාරය’ විසින් අද (25) පස්වරුවේ කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය ඊට බාධා කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්තා ඇති විය.

එහිදී ඔවුන් පොලිස් අණ නොතකා ඉදිරියටම ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවීමටද පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්….

ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීමේ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, රටේ ඉඩම් තොරතුරු ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

මෙතෙක් ක්‍රියාත්මක වූ ඉඩම් ඔප්පු ලබා ගැනීම, පත්ඉරු ලබා ගැනීම සහ රජයේ ඉඩම් ආයෝජකයින් වෙත හඳුන්වාදීම වැනි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙම ඉඩම් ජාලගත කිරීම වැදගත් පියවරක් වන බව මෙහිදී සඳහන් විය.

දැනට පවතින රජයේ දත්ත පද්ධති සමඟ නව ඉඩම් ජාලගත කිරීමේ පද්ධතිය ඒකාබද්ධ කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

රජය සතු ඉඩම් හැකි ඉක්මනින් ආයෝජන අවස්ථා සඳහා යොමු කර ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ඉඩම් සිතියම්ගත කිරීමේ තොරතුරු නව දත්ත පද්ධතියට ඇතුළත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම වසර තුළ ව්‍යාපෘතිය අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට හැකි වන පරිදි කටයුතු කරන ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අතිරේක ලේකම්වරුන් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රට තුළ පොහොර අතිරික්තයක් – ජාතික පොහොර ලේකම් කාර්යාලය……

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයට වඩා වැඩි තොගයක් මේ වනවිට රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, රට තුළ පොහොර හිඟයක් නොමැති බවත් ඉදිරි කාලය සඳහා තවත් පොහොර තොග ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

මෙවර යල කන්නය සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක අවශ්‍යතාවක් ඇස්තමේන්තු කර තිබූ අතර, මේ වනවිට ඉන් මෙට්‍රික් ටොන් 120,000ක් ගොවීන් වෙත බෙදාහැර ඇති බවද ඔහු පැවසීය.

කන්නය ආරම්භ වනවිට රට තුළ යුරියා මෙට්‍රික් ටොන් 101,000ක් පැවති අතර, පසුව තවත් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර තිබේ.   ඒ අනුව මෙවර කන්නය සඳහා රට තුළ පැවති සමස්ත යුරියා තොගය මෙට්‍රික් ටොන් 152,000ක් බව සඳහන්ය.

ඉන් මෙට්‍රික් ටොන් 120,000ක් බෙදාහැර ඇති අතර, තවත් මෙට්‍රික් ටොන් 32,000ක පමණ ප්‍රමාණයක් සමාගම් සතුව පවතින බවද ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි සතියේදී තවත් යුරියා මෙට්‍රික් ටොන් 17,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

TSP පොහොර සඳහා මෙවර කන්නයට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,300ක් වන අතර, මේ වනවිට මෙට්‍රික් ටොන් 16,000ක් පමණ බෙදාහැර ඇති බව සඳහන් වේ.

යල කන්නය ආරම්භ වනවිට TSP පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් රට තුළ පැවති අතර තවත් මෙට්‍රික් ටොන් 1,900ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

MOP පොහොර සඳහා අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 42,000ක් වන අතර, මේ වනවිට රජය සහ සමාගම් මගින් මෙට්‍රික් ටොන් 32,000ක් බෙදාහැර තිබේ. කන්නය ආරම්භයේදී MOP පොහොර මෙට්‍රික් ටොන් 39,000ක් සමාගම් සතුව පැවති බවද නිලධාරියා සඳහන් කළේය.

පසුගිය මාස තුනක කාලය තුළ MOP පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ ආනයනය කර ඇති බවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා – අමෙරිකානු ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය…..

අමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී, ජෙනරල්  Kevin B. Schneider මහතා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවී තිබේ.

ඊයේ (23) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුව ඇත.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ජෙනරල් Schneider මහතාව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, පැවැති සුහද සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කිරීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය, සුරක්‍ෂිතතාවය සහ ආරක්‍ෂක අංශ වෙනුවෙන් එක්සත් ජනපදය විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය  පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සමඟ පවතින ආරක්‍ෂක සබඳතා ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරන අතර ධාරිතා සංවර්ධන (capacity Building )වැඩසටහන් ඔස්සේ එම සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කරන බව අවධාරණය කළේය.

වෘත්තීයමය අත්දැකීම් හුවමාරුව තුළින් එම ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ස්ථාවර කිරීමට අපේක්‍ෂා කරන බව ද ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවේදී, දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම පිළිබඳව ද්විපාර්ශ්වික වශයෙන් අදහස් හුවමාරු කරගත් අතර, නැගී එන තාක්‍ෂණික හා උපායමාර්ගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ  ඔස්සේ ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කළ හැකි අවස්ථා පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.

මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල්  Matthew House ද එක්ව සිටියහ.

16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…..

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදී ඇත.

දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය වේ.

මෙම පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයාට එනම්, ළමා කටයුතු අමාත්‍යවරයාට නියෝග පැනවීමට බලය ලැබේ.

එමෙන්ම දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමට යෝජිතය.

පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි සඳහන්ය.

වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ……

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්විම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන 2026.06.22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට පසුගියදා කටයුතු කර තිබිණි.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සහ එහි සෙසු සාමාජිකයන් වන විනිසුරු (විශ්‍රාමික) කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති, එන්.බී.එම්. රණතුංග, වෛද්‍ය ආර්.ඩබ්. ජයන්ත, ආචාර්ය ජී.එම්. මුදිත් සුජීව, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) බී.ජේ. ප්‍රනාන්දු, ඒ.එල්. මොහොමඩ් මුක්තාර්, එස්.ටී.බී. රත්නායක, ඒ.ඩබ්. ලාල් චන්ද්‍ර වීරකෝන්, ජී.ඒ.පී. පත්මනාත, කේ. සරත් ලාල් පෙරේරා සහ කොමිෂන් සභාවේ ලේකම් ඩී. එම්.සී. නාලක දිසානායක යන මහත්ම මහත්මීහු ඊට අදාළ පත්වීම් ලිපි අද මෙලෙස ලබාගෙන ති

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි……

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

ඒ අනුව ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 103කින් සම්මත විය.


Update – 06.00PM

ඉන්පසුව කාරකසභා අවස්ථාව පැවැත්වීමෙන් අනතුරු සංශෝධන සහිතව තෙවනවර කීයවීම සම්මත විය.

ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රු.මි. 100ක ඉතිරියක්……

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම අහෝසි කිරීමෙන් මැතිවරණයකදී රුපියල් මිලියන 100ක පමණ මහජන මුදල් ඉතිරිකිරීමේ හැකියාව ලැබෙන බව ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම තීරණය සෑම අතින්ම ඉතාම හොඳ තීරණයක් බව ද ‘පැෆ්රල්’සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

‘පැෆ්රල්’සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

මෙම යෝජනාව හදිසියේ මතුවූ එකක් නොව, වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්‍රයේ, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලක් වූ කරුණක් බවත් මෙම ක්‍රමවේදය ඉවත් කිරීමෙන් තීන්ත ආනයනය කිරීම, බෙදා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාවලිය සඳහා වැයවන මුදල සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී මැතිවරණ වියදම් අඩු කිරීමෙන් මහජන මුදල්ද ඉතිරි කරගත හැකි බවත් ඔහු පැවසීය.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාපත්‍රය අනිවාර්යය කර තිබීම හේතුවෙන් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කිරීම දැඩි කෙරෙන අතර එම නිසා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාද සැලකිය යුතු ලෙස අවම වී ඇත.

මේ හේතුමත නොමැකෙන තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාවය පෙරමෙන් දැඩි ලෙස නොපවතින බවට අදහස කාලයක සිට ඉදිරිපත්ව තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.

ඡන්ද දායකයෙකු ඡන්දය භාවිතා කළ බව තහවුරු කිරීම සඳහා ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීම දශක ගණනාවක් සිට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ කොටසක් බවත් ඡන්ද ලේඛන සකස් කිරීමට තාක්ෂණය භාවිත කිරීමත් සමග හොර ඡන්ද භාවිතා කිරීමට වර්තමානය වන විට අවස්ථාවක් නොමැති බවත් රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී වැඩිදුරටත් පැවසීය

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවතට…….

වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ මෙම නියෝගයත් සමග, වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන් මහතාට ඔහුගේ නගරාධිපති ධුරය මෙන්ම සභික ධුරයද අහිමි වී තිබේ.

එමෙන්ම, චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර් මහතාටද ඔහුගේ උප සභාපති ධුරය සහ සභික ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි වී ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සලේගේ පවුලෙන් පාප් වහන්සේට ලිපියක්…….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත්වීම ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත අද (23) ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව, ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාරදීම අද පෙරවරුවේ සිදුකෙරුණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු ජාතික රෝහලට ඇතුළත් කර අදට දින 16ක්.

එවන් පසුබිමක සුරේෂ් සලේ මහතාගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ වෙත ලිපියක් යොමුකිරීමට මෙලෙස පියවර ගෙන තිබේ.

ඒ සලේ මහතා සම්බන්ධව ශ්‍රී ලංකා කතෝලික සභාවේ පියතුමන් කිහිප දෙනකුම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් දක්වා ඇති වාතාවරණයකදීය.