ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ කුමන හෝ පියවරක් වෙනුවෙන් රජයක් ලෙස පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මෙරටින් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“මේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපේ රට වෙනුවෙන් දිගුකාලීන විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා. ඇතැම් විට එම සේවාව පිළිබඳ ජාත්‍යන්තරවත්, දේශීයවත් යම් ප්‍රමාණයකට සැක මුසු තැන් තිබෙන බව වාර්තා වී තිබෙනවා. එහෙත් මම ඔබට කියන්න කැමතියි සාමාන්‍ය හමුදා සොල්දාදුවාගේ සිට හමුදාපතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කුමන හෝ පියවරක් ගෙන තිබෙනවා නම් ඒ සෑම පියවරක්ම ආරක්ෂා කිරීමට අපි රජයක් ලෙස බැඳී සිටිනවා.
කිසිවෙක්, කොතැනකදී හෝ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ නිදහස වෙනුවෙන්, රජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයන් ඉටු කර තිබෙනවා නම් එම කාර්යයන්ට උරදුන් ඒ සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. හැබැයි ඒ හා සමාන ලෙසම හමුදාවන් සතුව තිබෙන කීර්තියද පසෙකලා හමුදාව සතුව තිබෙන වගකීම්ද පසෙකලා යම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට උචිත නොවන දේ, අපේක්ෂා නොකරන දේ සිදු කර තිබෙනවා නම් හමුදාවේ කීර්තිය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් අපි ඔවුන් පිළිබඳ ක්‍රියා කිරීමට සූදානම්.
පුද්ගලික පළිගැනීම් හෝ පුද්ගලික හඹා යාම් නොවේ. යම් කණ්ඩායමක බල වුවමනා වෙනුවෙන් හමුදාවේ ගෞරවය, වටිනාකම සහ රාජ්‍යය සහ ජනතාව කෙරෙහි බැඳීම අත්හැර වැඩකටයුතු කර තිබෙනවා නම්, හමුදාවේ ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්ම එය පරීක්ෂණ කර විභාග කර සමාජයට හෙළිදරවු කළ යුතුයි. ඒ අනුව තමයි අපේ ගෞරවය රඳා පවතින්නේ. සිදු වී ඇති අපරාධ වැලිවලට යට ගසා වැළලීමෙන් නොවෙයි.”

