ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ආවේ, කොටි හිතවාදීන් මුණ ගැසීමට – විමල්

මෙරටට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් හමු‍වූයේ LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය හා එම මතවාදය සමඟ තවදුරටත් කටයුතු කරන කොටස් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, ඔහුව හමුවිම සඳහා මෙරට යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබාදුන්, විවිධ හේතූන් මත රටවල්වලට ඇතුළුවීම තහනම් කර ඇති ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ඉල්ලීම් කර තිබූ බවත්, නමුත් ඔහුව හමුවීම සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලංකාවට පැමිණියේ කොටි හිතවාදීන් මුණ ගැසී, කොටි හිතවාදීන්ගේ වුවමනාව මත සකස් කරන ලද වාර්තාවකට ශ්‍රී ලංකාව හිර කිරීමේ අරමුණින් බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රි ලංකාවට සාමය දිනාදුන් ආරක්ෂක හමුදා රණවිරුවන් හා ප්‍රධානීන් ගොදුරු කර ගැනීමේ ක්‍රියාන්විතයේ තීරණාත්මක පිම්ම පැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ලංකාවට පැමිණි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුව

මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.
පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්‍ෂයද කටයුතු කර නැත.
එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යවා ඇති ලැයිස්තුව මෙසේය.
1.තිස්ස අත්තනායක
2.හරින් ප්‍රනාන්දු
3.ඉමිතියාස් බකීර් මාකර්
4.ඩයනා ගමගේ
5.ශිරාල් ලක්තිලක
6.රන්ජිත් මද්දුම බන්ඩාර
7මයන්ත දිසානායක

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය

ඡන්ද ප්‍රකාශ කිරීම හෙටින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන  ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම සදහා  වැඩිම අවස්ථාව සලසා දී ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.

Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය කර ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තාවන් සදහා අඩුම අවස්ථාවක් ලබා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයයි.

උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ මැතිවරණය සදහා නාම යෝජනා 44 ක් බාර දී තිබේ. ඒ අතර කාන්තා නාමයෝජනා හතරකි. එහි කාන්තා නියෝජනය  ප්‍රතිශතයක් ලෙස 9.09% කි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය දිවයින පුරා  නාම යෝජනා 262 ක් බාර දී ඇති අතර එහි ඉන්නේ කාන්තා අපේක්ෂිකාවන් 10 දෙනකු පමණකි. එය ප්‍රතිශතයක් ලෙස 3.81 % කි.

කාන්තාවන් සදහා දෙවැනියට වැඩිම අවස්ථාව ලබා  දී ඇත්තේ  ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයයි.

දිවයිනම ආවරණය වන පරිදි එම පක්ෂය නාම යෝජනා 262 ක් බාර දී ඇති අතර එහි අපේක්ෂිකාවන් 17 දෙනකු ඇතුලත්ය. එය ප්‍රතිශතයක් ලෙස 6.48 % කි.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය බාර දී ඇති නාමයෝජනා 262 ට ඇතුලත් වන  අපේක්ෂිකාවන් ගණන 15 කි. එය ප්‍රතිශතයක් ලෙස 5.72 % කි.

ජනපති, අගමැති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා නාම යෝජනා 252 ක් බාර දී ඇති අතර එහි  අපේක්ෂිකාවන් 14 දෙනකු ඇතුලත්ය. එය ප්‍රතිශතයක් ලෙස 5.55 % කි.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රධාන ධාරාවේ නොවන පක්ෂ මහ මැතිවරණයට තරග වැදීම සඳහා කාන්තාවන්ට වැඩි  අවස්තාවක් ලබා දී ඇති බව නාමයෝජනා ලැයිස්තු පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබද ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව රටවල් 193 ක් අතුරින් 182 ස්ථානයේ පසුවන බව පෙන්වා දෙන Manthri.lk වෙබ් අඩවිය සිහි ගන්වා ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කාන්තාවන් සිටියේ 5% ක් පමණක්  බවයි.

ජාතික පාර්ලිමේන්තු වල කාන්තාවන්ගේ ප්‍රතිශතය පිළිබද අන්තර් පාර්ලිමේන්තු සංගම් ශ්‍රේණිගත කිරීම් දත්ත භාවිත කරමින් කාන්තා නාමයෝජනා සංඛ්‍යාලේඛන සම්පාදනය කළ බව  Manthri.lk වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.

Women Representation

 

රනිල්ගේ නායකත්වය ගැන එජාපයේ ප්‍රශ්නයක් නැහැ

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස්
ආර්ථිකය ගොඩ දාන්න එජාපයට පුළුවන් කියන එක තව දුරටත් වලංගුද ?
පැහැදිලිවම ඔව්. අපිට විතරමයි ඒක කරන්න පුළුවන්.
මහින්දලා ඉල්ලන තුනෙන් දෙකේ බලය ඔවුන්ට හම්බ වෙයිද ?
නැහැ. බහුතරයක් හම්බ වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. අපිත් ඉල්ලන්නේ බහුතරය. තුනෙන් දෙකක් කාටවත් ගන්න බැහැ.
එජාපයට මන්ත්‍රීධුර කියක් විතර හම්බ වෙයිද ?
බහුතරයක් බලාපොරොත්තු වෙනවා. බලමු. ජන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න අය ඕන තරම් මට ඉන්නවා. මම රටට කියන්නේ මගේ වැඩ පිළිවෙල. ඒක පිලිගන්නවා නම් අපිට ජන්දේ දෙන්න. කොච්චර ප්‍රශ්න තිබුණත් මම අත ඇරියේ නැහැ. අපේ යුතුකම ජනවරම අනුව ක්‍රියාකරන එක.
ඔබේ නායකත්වය තව දුරටත් තිබෙන්න ඕන කියලා ඔබ විශ්වාස කරනවද ?
ඔව් ඒ ගැන ප්‍රශ්න නැහැ. අපි රටේ ප්‍රශ්න විසදපු අය මිසක් රටේ ප්‍රශ්න වැඩි කල අය නෙමෙයි.
හිටපු ජනාධිපති කිවුවේ ඔබ එක්ක වැඩ කරන්න බැහැ ඔබ කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ කියල …
19වන සංශෝධනය යටතේ රටේ පාලනය තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. අදාළ දේවල් ක්‍රියාත්මක කරන්නේ අමාත්‍යවරුන්. එතුමා සමහර තැන් වල එතුමාට ඕන විදියට ක්‍රියා කළා. කාටවත් කැබිනට් මණ්ඩල තීරණ නැතුව වැඩ කරන්න බැහැ.
පක්ෂයේ දෙවන පෙළකට ඉඩක් හැදිලද ?
ඔව් ඒක ශක්තිමත්. පසුපස සිටි සමහට මන්ත්‍රීවරුන් දැන් වගකීමක් අරගෙන ඉදිරියට ඇවිත්. සමහර ප්‍රදේශ වල මන්ත්‍රී නොවන අය පවා වගකීම් ගෙන ක්‍රියා කරනවා.
අශන්ති වරුණසුරිය

එජාප නායක රණ්ඩුව

එජාපයේ නායකත්වය ගැන විවිද මත පල වෙමින් තියෙනවා. ඒ අතර එජාප නායකත්වය සදහා එකිනෙකාගේ නම් දේශපාලන වේදිකාවේ කියවෙන අයුරු බොහොමයක් අතර දයා ගමගේ පෙරට ඇවිත්.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටුනු වූ සෑම අවස්ථාවකදීම තාත්තෙක් වගේ පක්ෂය බලා ගත්තේ තමන් බවද හම්බ කළ හැම සේසතක් තමන් පක්‍ෂය වෙනුවෙන් වියදම් කළ බවද කිසිදු හොරකමකට දූෂණයකට නම ගෑවිලාවත් නැති තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා
කොළඹ දිස්ත්‍රික්කයේ මේ දිනවල තමන්ට හමුවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස යැයිද ඔහු ප්‍රසිද්ධියේ සදහන් කළා.
එවැනිම පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා විසින් කරණ ලද ප්‍රකාශයට ම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විරෝධය පළ කළා.
ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බව. නවීන් දිසානායක මහතා විසින් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු පවසනවා.
නවීන් දිසානායක මහතා මෑතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන හමුවකදී කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය අවශ්‍ය නොවන බවත්. නායකත්වය ලැබෙන්නේ තමන්ගේ ගෙදර එකෙකුට මිස අල්ලපු ගෙදර එකෙකුට නොවන බවද ඔහු එහිදී පැවසුවා.
 කවුරුන් කෙසේ පැවසුවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය නායකත්වය ලේසියෙන් කිසිවෙකුට ලබා නොදෙන බවයි දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ.
By: අශන්ති වරුණසුරිය

සජිත් හැර සියල්ලන් ඉවත් කළ UNP සැළසුම

By: අශන්ති වරුණසුරිය
පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරන්නේ ඊට අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවය.
සමගි ජන බලවේගයට සහය පළ කරන එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කෙරුණා. එමෙන්ම සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකුගේද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. ඊට අදාළ ලිපි ඔවුන් වෙත අද දිනයේ යොමු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කියාසිටියා.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ නම එම ලේඛණයේ නොමැති බවයි වාර්තා වෙනවා

ජනපති පොලොන්නරුව සිරිපුර ජනතාව හමුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පෙරවරුවේ දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වුණා.
මෙය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ විසින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් මට්ටමින් සහභාගි වන ජනහමු මාලාව අද පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි.
ඒ අනුව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවට ජනාධිපතිවරයා අද පෙරවරුවේ එක්වුණි.
එහිදී ජනාධිපතිවරයා ජනතාව සමඟ සුහද පිළිසඳරකද නිරත වුණි.

“මංගලගේ අලුත් මාවත” වික්ටර් අයිවන්ගේ විග්‍රහය

ලංකාවේ පරණ හෝ සාම්ප්‍රදායික දේශපාලන තලයේ වර්ණවත්, විවාද සම්පන්න, නිර්භීත හා නිර්මාණශීලී දේශපාලන චරිතයක් ලෙස සැලකිය හැකි මංගල සමරවීර ජරාජීර්ණභාවයට පත්ව මිය යන්නට ආසන්න තත්ත්වයකට පැමිණ තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී නව දේශපාලන ගමන් මාවතක් තෝරා ගැනීම සැලකිය හැක්කේ ඝන අඳුරක පහළ වූ රිදී රේඛාවක් වශයෙනි.

මා මේ මොහොතේ සිටින්නේ බිහිසුණු හෘදයාබාධයකට මුහුණ දී දිවි ගලවා ගත් රෝගී තත්ත්වයක වුවත් ඒ බව නොසලකා මංගලගේ වෙනස්වීම හා තෝරා ගත් අලුත් මාවත ගැන කෙටියෙන් හෝ සටහනක් ලිවීම මා විසින් කළ යුතුව තිබෙන යුතුකමක් ලෙස සලකා ලියමි.

ඔහු මේ අලුත් මාවත තෝරා ගැනීමට පෙර මා සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණි. මා සමග සාකච්ඡා කරන විට මා පුනරුද ව්‍යාපාරය ව්‍යාපාරය සමග වැඩ කරන ක්‍රියාධරයකු බව හෙතෙම දැන සිටියේය.

අප දෙදෙනා අතර දීර්ඝකාලීන දැන හැඳුනුම්කමක් තිබුණා සේ ම සමහර අවස්ථාවලදී අප දෙදෙනා එකිනෙකාට එරෙහිව සැර පරුෂ ප්‍රසිද්ධ වාද විවාදවල නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ලෙසද සැලකිය හැකිය.

කිසියම් දීර්ඝ කාලයක් අප දෙදෙනා අතර ඇසුරක් නොතිබුණි. එහෙත් පසුගිය ආණ්ඩු පාලන අවසාන කාලයේදී දෙදෙනා අතර නැවත අලුත් ඇසුරක් ආරම්භවී යැයි කිව හැකිය.

මංගලගේ චරිතාපදානය එළිදක්වන උත්සවයේ ඔහු එහි ප්‍රධාන දේශකයා බවට පත්කර ගත්තේ මාය. එහිදී මා කැමති මාතෘකාවක් තෝරා ගෙන කතා කිරීමේ නිදහස මට ලබා දෙන ලදි. මා එහිදී කතා කළේ ලංකාවේ අර්බුදය ගැනය.

නිදහස ලැබෙන විට ආසියානු රටවල් අතර බැබළෙන තත්ත්වයක තිබූ ලංකාව නිදහසින් පසු රටේ පාලනය අපේ පාලකයන් අතට ගැනීමෙන් පසු රට ඇද දමා තිබෙන අවාසනාවන්ත තත්ත්වය ගැන මම එහිදී කතා කරන ලද අතර මාගේ එම කතාව රට පාලනය කළ පාලක පක්ෂවලට එල්ල කළ ප්‍රබල දෝෂාරෝපණයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවේ අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමේ හැකියාවක් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට නැති බවද එම තත්ත්වය යටතේ ලංකාවේ සමාජ -දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ පූර්ණ කඩා වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද මම කියා සිටියෙමි.

එජාපයේ නායකයන් කිසියම් විශාල පිරිසක් සේ ම මාතර දිස්ත්‍රික්කයේ මංගලගේ ආධාරකරුවන් පිරිසක්ද සහභාගි වූ එම උත්සව සභාව අමතා මා කරන ලද කතාව එම පක්ෂයේ ජනාධිපතිවරණ වැඩසටහනට ශක්තියක් ලබාදෙන කතාවක් වී යැයි කිව නොහැකිය.

එහෙත් මාගේ කතාව මංගලගේ කෝපයට හේතු නොවූ අතර මා පෙන්වා දෙන ලද ආකාරයට රට ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට රට මාරුවෙන් මාරුවට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම සේ ම තමාද ඊට වගකිවයුතු බවද ඒ ගැන තමා කණගාටු වන බවද ඔහු මගේ කතාවෙන් පසුව කරන ලද ස්තුති කතාවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය පරාජය වී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුව ඔහු නැවත තෝරා ගත් සුළු කණ්ඩායමකගේ සාකච්ඡාවක් කැඳවන ලද අතර ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැන එහිදී විස්තරාත්මකව සාකච්ඡාවට ලක් කැරිණි.

සාකච්ඡාවට සහභාගි වූ ආරාධිතයන් අතර ආර්ථික විශේෂඥයෝ දෙදෙනෙක් සිටියහ. ඒ සඳහා පැවති සාකච්ඡා දෙකකට මා සමග පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයන් දෙදෙනකුද සහභාගි විය. ඊට සහභාගි වූ සියලුදෙනාගේ පිළිගත් මතය වූයේ ලංකාවේ අර්බුදය පාලනය කළ නොහැකි තරමට දුර දිග ගොස් ඇති බව හා ඒ නිසා සමාජ-දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ලොකු කඩා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති බවය.

ඊළඟ සාකච්ඡාව කෙරුණේ ලංකාව ඇද වැටී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා අපද විශේෂයෙන් මංගල කුමක් කළ යුතුද යන්න ගැනය. ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දිනාගත හැකි ඒ සඳහා දියුණු ඉදිරි දැක්මක් ඇති ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනගන තැනකට අප යායුතු බව සියලුදෙනාගේ පිළිගත් මතය විය.

එහිදී මංගලගේ භූමිකාව කුමක් විය යුතුද යන්නද සාකච්ඡාවට ලක් කරන ලදි. මා දරන ලද දැඩි මතය වූයේ මංගල පරණ දේශපාලනයෙන්ද, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන්ද ඉවත් වී රට ඇද වැටී තිබෙන අගාධයෙන් රට මුදාගන්නා වැඩසටහනක ප්‍රබල භූමිකාවක් රඟපෑ යුතු බවය.

ඒ කාර්යය පරණ දේශපාලනයෙන් මුළුමනින් ඉවත්වීමකින් තොරව වුවත්, කළ හැකි බව කිහිපදෙනකුගේ මතය වුවත් මංගල ඒ මතය පිළිගත්තේ නැත.

ඔහුගේද ස්ථිරසාර මතය වූයේ හොඳටම කුණුවී තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී රට ගලවා ගැනීමේ අරමුණින් ක්‍රියාකරන නව මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණක් නොවන නිසා ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අපට තිබිය යුතු බවද අපි සියලුදෙනාගේ මතය විය.

අපට තිබෙන්නේ පටු බලලෝභී කුමන්ත්‍රණකාරී අරමුණක් නොවන නිසා ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අපට තිබිය යුතු බවද අපි සියලුදෙනාගේ මතය විය.

රටක් වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ තීරණාත්මක වැදගත්කමක් ඇති දේශපාලන සන්ධිස්ථානයකය. මෙම අර්බුදයට සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ප්‍රායෝගික කල්පවත්නා විසඳුමක් ලබාදීමේ හැකියාව යල්පැනගිය දූෂිත දේශපාලනයට නැත. මංගල තෝරාගත් නව ගමන් මාර්ගය රටට දෙන ලොකුම දේශපාලන සංඥාව එයයි.

ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය නිර්මාණශීලී ලෙස ජයගත හැකිවනු ඇත්තේ වර්ග, කුල, ආගම් වැනි පටු භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට ලංකාව සිය මව්බිම ලෙස සලකන සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ප්‍රවේශයක් තුළ ලාංකේය ජාතිය ගොඩනැගීම අරමුණු කරගත්, ලංකාවේ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වෙලාගෙන තිබෙන දූෂණය, අකාර්යක්ෂමතාව හා අධිකාරිවාදය අහෝසි කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ මගින් නීතියේ පාලනය රජයන නූතන ලාංකේය රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීම අරමුණු කරගත් ලෞකිකවාදී, බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් ඇති සැබෑ මහජන ව්‍යාපාරයකට පමණය.

මංගල එකතු වී තිබෙන්නේ එවැනි ඓතිහාසික දේශපාලන වැඩසටහනකටය. රට හා එහි ජනතාව ගැන ආදරයක් ඇති සියලුදෙනාට එම ගමනේ වැදගත් කොටස්කරුවන් බවට පත්විය හැකිය.

(වික්ටර් අයිවන් – ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

[වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන් උපුටාගන්නා ලදී]

එජාපය දෙකඩ වන ලකුණු

රනිල් අලියා ලකුණින්ද ,සජිත් දුරකථනය ලකුණින්ද මහමැතිවරණයට ඉදිරිපත් වීමට කටයුතු සුදානම් කරමින් පවතින බව Boston අපට වාර්තා වනවා
එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.
පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.
සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශවය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් අප මේ ගැන රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කල විමසීමේදී ඔහු සදහන් කලේ ලකුණ පිළිබද ගැටළුව ඉදිරි දින දෙන තුන විසදෙන බවත් එජාප කණ්ඩායමේ විවිධ අදහස් ද ඒකමතික තැනකට නුදුරේදී එන බවත්ය. සියල්ලන්ම එකමුතුව මැතිවරණයට මුහුණ දීමේ වටිනාකම සියල්ලෝම තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය

කෝටි 33ක රාජ්‍ය මුදල් ගැහිල්ලක් හෙලිවෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි සදහන් වේ.
නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ඒවා බෙදා හරින්නේ නැතිව නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ ගොඩ ගසා තිබෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව එහි  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුදත් අබේවර්ධන මහතා පවසන්නේ එවකට රුපියල් කෝටි 33ක් වැයකොට නිවාස 5900කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති බවට තොරතුරු හෙළිවුවද එම මුදල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස අරමුදලට බැර කළා නම් තවත් නිවාස 677ක් ඉදි කළ හැකි බවයි. එදා ගම්මාන සෑදීමේදී අත්කම් නිවාස ගම්මානයක ගෙවල් 100ක් 150ක් වැනි ප්‍රමාණයක ගම්මාන ඉදි කල නමුත් පසුගිය වසර හතරක කාලය තුළ ගම්මාන කියා ඉදි කළේ එක් ගම්මානයක උපරිමය ගෙවල් 25 කුත් අවමය ගෙවල් 07 කුත්  බවද ඔහු පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
එවැනි ගම්මාන එක්ක බැලුවොත් මේ ගෙවල් 677න් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ගම්මාන 27ක් ඉදිකරන්න තිබුණා. නමුත් අද සිදුවෙලා තිබෙන්නේ නිවාස ඉදිකිරීම නොව තම සිහිනය ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ ක්‍රමයක්. නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයක් තිබියදී පිටස්තර මුද්‍රණාලවලින් පොස්ටර් මුද්‍රණය කිරීම. ආයතනයේ නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙලා තිබෙනවාද. මේ මුද්‍රණාල හිමිකරුවන් කවුද, මුදල් ගිහින් තිබෙන්නේ කොහොටද කියා නිවැරැදි විගණනයක් කළොත් ආයතනයේ එක් පුද්ගලයෙක් ඇතුළු කොටසකට මේ මුදල් බැරවෙලා තිබෙනවා.
මේ පිළිබඳ ඒ අවස්ථාවේ හඬක් නඟන්නට බැරිවූවේ එවකට වේවැලක් අතින් ගත් අයෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාලනය කළ නිසායි. එවකට මේ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙස සේවයට බැදුණු අයකු පියවරෙන් පියවර ඉදිරියට ගොස් සාමාන්‍යාධිකාරි තනතුරට පත්වී විශ්‍රාම ගොස් යළි මේ ආයතනයේ සභාපති ලෙස පත්වූයේය. එසේ පැමිණ තම අනසක පැතිරීම, මාධ්‍ය හැසිරීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ සිට මේ සම්බන්ධයෙන් හඩ නැඟූ වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියලු දෙනාගේම වැඩ තහනම් කිරීම්, ස්ථාන මාරු කිරීම් හා ඔවුන්ට විරුද්ධව අභූත චෝදනා එල්ල කරමින් මර්දනකාරී ලෙස මේ ආයතනය කරගෙන ගියේය. එයට බියට පත්වූ සේවකයන් ඉදිරිපත්වූයේ නැහැ. ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා සේවකයන්ට, දිස්ත්‍රික් කාර්යාලවලට නියෝග ලබාදීලා තිබෙනවා.
මේ මාසේ මේ ඉලක්කයට අය කිරීම් ඉටුනොකළොත් මාසේ පඩිය ගෙවීමට නොහැකි වන බවට තර්ජනය කර තිබෙනවා. ආයතනයේ සේවකයන්ගේ ආබාධ ණය අවශ්‍යතා ඉටුකර නැහැ. සේවකයන්ගේ නිවාස ණය ලබාදී නැහැ. අතිකාල හා ගමන් වියදම් පවා කපා හැරලා. සේවක සුබ සාධනය ඉටු කර නැහැ. රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඉටුවී නැහැ. කිහිප දෙනකුගේ සාක්කු පුරවා ගැනීම සඳහා සහ එක පුද්ගලයකුගේ සිහිනයක් ඉටු කර ගැනීම සඳහා පසුගිය වසර හතර හමාර තුළ විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ද ඒ මහතා මෙහිදී පැවැසුවේය.
By Ashanthi Warunasuriya