හිටපු ඇමති රාජිතගේ පෙත්සමක් කල්යයි….

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවය.

දැනගන්නට ලැබුණ තොරතුරු මත පමණක් අද දින අධිකරණය හා පෙනී සිටින බවත් ඇය පැවසුවාය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි විධිමත්ව කාර්යාලයට භාරදී තිබුණත් කිසියම් අතපසුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන්නට ඇතැයි කියා සිටියේය.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දින අධිකරණය පෙනී සිටින බැවින් මෙම පෙත්සම සලකා බැලීමට අද දින හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි නිසියාකාරව නිකුත් කිරීමකින් තොරව එය සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වෙනිදා කැදවීමට නියම කළ විනිසුරුවරිය එදිනට පෙර වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නාය.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එවක ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර තිබේ.

එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සේනාරත්න මහතා නම් කර ඇති අතර තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව රාජිත සේනරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අදාළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඔහු කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.

නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වෙනිදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත් නියෝග කළාය.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට……

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වෙයි….

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහ‍ෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරපිත් කිරීමට නියමිතය.

සාගල නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය…

ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ….

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

“අපිට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තිබෙන තාක්කල් ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ.”

ප්‍රශනය – දැන් මෙහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ?

“විජේරාමෙට වඩා ඉතාම හොඳයිනේ මැදමුලන.”

ප්‍රශනය – ඔබ හිතන විදිහට ආණ්ඩුව එහෙම දෙයක් කරන්නේ මොනවගේ පරමාර්ථයකින්ද ?

“පළිගන්න…”

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 177ක්…..

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පවතී.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ  වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා CID යට…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්ය.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් යයි……

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබීය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.