ගුරුවරු නොමග යවන ව්‍යාජ ‘Whatsapp’ සමූහයක්

‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහිවෙන අධ්‍යාපන සභාව’  මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ ‘Whatsapp’ සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එම සමූහය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවය.

එමෙන්ම එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් එම නිවේදනයේ දැක්වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

වහාම නගරාධිපතිරු සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ…..

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගර සභාවල නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය

පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.තවද කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීතක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කල කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ පැවසීය.එදා වැලිගම සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් කළ ඉල්ලීම ඉටු කලානම් අදත් ඔහු ජීවතුන් අතර බව නාමල්‍ රාජපක්ෂ අවධාරණය කළේය.

යමක් සිදුවීමට පෙර පුර්වාරක්ෂාවීම සුදුසු බව ආණ්ඩුවට මතක් කර දෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.එමනිසා මහජන නියෝජිතයින්ට ආරක්ෂාව ලබාදෙන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.දවසේ වෙඩිල්ල නතර උණු බවට පොලිස් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළද ආණ්ඩුවේ අවශ්‍යතා වලට මෙම වෙඩි පත්තුවෙන බවට සැකයක් මතුවන බවද නාමල් රාජපක්ෂ පැවසීය

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු….

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ වර්ධනය වූ එම පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත්, නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථාන ගතව පැවතුණු බවය.

එමෙන්ම මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට (26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වන බවත් පසුව එළැඹෙන පැය 48 තුළදී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 05ත් 15ක් සහ නැගෙනහිර දේශාංශ 80-95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම මේ වන විටත් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇත.

තවද නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්….

සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූකම්පන කිහිපයක් සුමාත්‍රා දූපත ආශ්‍රිතව හටගත් බවය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවේ ⁣සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලීසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පෙරසූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවක⁣ට එක්වෙමින්ය.

05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන බව වාර්තා වෙයි.

සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන අනෙකුත් දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරයි.

සුමාත්‍රා දූපත ආශ්‍රිතව රික්ටර් මාපකයෙන් 6.5කට වඩා වැඩි අගයකින් භූ කම්පනයක් වාර්තාවූ විට දිවයිනට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඒ සඳහා පෙර සූදානම අත්‍යාවශ්‍ය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.

වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා…..

වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස ඝාතනය කර ඇත්තේ, මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු  71 කාන්තාවකි.

මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට ඇත.

යාබද නිවසක සිටි කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ගෑවී මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දී තිබේ.

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ජලාශ 15ක වාන් දොරටු විවෘතයි…..

‍පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවය.

රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක් ද වාන් දමන බව සඳහන්ය.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ අශ්‍රිත ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට සිදුවු අකරතැබ්බය…..

නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.

පසුව එම මුදල් පසුම්බිය තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබියදී අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් සමන්මී යන නිලධාරීනියන් විසින් සොයා ගෙන තිබුණි.

පසුව එම මුදල් පසුම්බියේ හිමිකාරිණිය වූ විදෙස් කතව අගමැති ආරක්ෂක කොට්ඨාසයට කැඳවා එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා එම මුදල් පසුම්බිය ලබාදී ඇත.

එහි ලංකාාවේ මුදල් රුපියල් 6,000ක් හා මෙරට මුදලින් රු ලක්ෂ 6ක පමණ වටින යුරෝ, අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදි විදෙස් මුදල් තිබී තිබේ.

කළු ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වයි….

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය.

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබේ.

මේ අතර කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රජරට රැජින දුම්රියේ ගින්නක්…

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මිනුවන්ගොඩින් ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙක් මාට්ටු….

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.