මැදවච්චියේ කනදරා ඔයෙහි තිබී උණ්ඩ තොගයක් හමුවෙයි….

මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පතොරම් ගැබ් දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මැදවච්චිය පොලිසියට ලද තොරතුරකට අනුව වහමල්ගොල්ලෑව ප්‍රදේශයෙන් ගලා බසිනු ලබන කනදරා ඔයෙහි තිබී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී ටී 56 වර්ගයේ ජීව පතරොම් 41ක් හා පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් මෙලෙස සොයාගෙන ඇත.

මෙම උණ්ඩ එම ස්ථානයට ගෙනවිත් දමන ලද පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට…

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ.

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය හේතුවෙන් ශ්‍රම වෙළෙඳපොළට සිදුවන බලපෑම් සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවට අනුව දකුණු ආසියාවේ නේපාලය සහ ඉන්දියාවට සාපේක්ෂව AI භාවිත කරන ඉහළ ශ්‍රම බලකායක් සහිත රටවල් බවට භූතානය සහ ශ්‍රී ලංකාව පත්ව තිබේ.

කෙසේ නමුත් දකුණු ආසියාවේ රටවල් අතරින් AI මානව අනුපූරකතාව හෙවත් මානව හැකියාවන්ට තාක්ෂණය එක් කිරීම අතුරින් ශ්‍රී ලංකාව පහළ ස්ථානය ඇති බවත් කුසළතා භාවිතය වැඩි දියුණු නොකර AI භාවිතය වේගවත් වුවහොත් රැකියා අවතැන්වීමක් සිදුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ AI ආශ්‍රිත රැකියා වෙළඳපොළ දකුණු ආසියාවේ වෙනත් රටවලට වඩා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අතර 2025 දී ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සහ පරිපාලන රැකියා පළ කිරීම්වලින් සියයට 7.3 කට AI ආශ්‍රිත කුසලතා අවශ්‍ය වී ඇති අතර එය කලාපයේ ඉහළම කොටස ලෙසත් පෙන්වා දී එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඉන්දියාවේ එය 5.8% ඉක්මවා යන බවය.

මෙම රැකියා නාගරික ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති අතර වෘත්තීය සහ ICT සේවා අංශවල සංකේන්ද්‍රණය වී ඇති බවත් සඳහන් වේ.

තවද මෙරට මූල්‍ය අංශය,  තොරතුරු තාක්ෂණය, වෘත්තීය සේවා සඳහා AI භාවිතය ඉතා ප්‍රයෝජනවත් බවත් මෙරට ශක්තිමත්  AI රැකියා වෙළෙඳපොළක් පැවතිය යුතු බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

මේ අතර AI භාවිතයෙන් දකුණු ආසියාව පුරා රැකියා වෙළෙඳපොලින් 7%ක් පමණ අධි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන එම වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, සෝදුපත් කියවන්නන්, පරිගණක මෘදුකාංග වැනි රැකියා භූමිකාවන් දැනටමත් රැකියා ස්ථානගත කිරීම්වලින් පහළ වැටීමක් දක්නට ඇති බවය.

එමෙන්ම  ChatGPT භාවිතය සම්බන්ධයෙන්ද සිය වාර්තාව මගින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ඒක පුද්ගල ChatGPT භාවිතය ඇති රටක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවය.

එහි පළමු ස්ථානයට මාලදිවයින පත්ව ඇති අතර ශ්‍රී ලංකාවට පසු   ChatGPT භාවිතය ඉහළ අගයක් ගන්නා රට බවට ඉන්දියාව පත්ව ඇත.

මේ අතර මෙම AI භාවිතය මගින් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි ප්‍රතිපත්ත්මය අවස්ථා සම්බන්ධයෙන්ද ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ඒ හරහා AI නවෝත්පාදකයින් රඳවා තබා ගැනීමටද මෙය උපකාරී වන බවය.

ඒ අනුව ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම, STEM අධ්‍යාපනය පුළුල් කිරීම, විශ්වාසදායක විදුලිය සහ අන්තර්ජාල යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම මෙන්ම ශ්‍රම සංචලතා සහ රැකියා පහසුකම් පද්ධති දියුණු කිරීම වැදගත් බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී….

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.

අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මගී යාත්‍රා සේවය තාවකාලිකව ඇත.

මෙම නෞකා සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කරන ලද අතර, එතැන් සිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පැවතුනි.

ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම නෞකාව ඔස්සේ ගමන් කරති.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 29,414ක් පීඩාවට…

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහිදී පවුල් 7395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

මේ අතර මේ දක්වා ලැබුණු වර්ෂාව පතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඕයේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට පොලීසියෙන් වෙඩි….

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් නිසින් අණ කර ඇති බවත් එහිදී ට්‍රැක්ටර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන්ව අනතුරට ලක් කිරීමට උත්සහා දරා ඇති බවත්ය.

එහිදී පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තැබීමට කටයුතු කළ බව අප කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය 24 වනදා මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට හානි සිදුව ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයෙකු ද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි….

රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.

එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.

කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.

එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.

මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.

ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්..

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැත්තා, දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කළ ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.

ඒ අනුව එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ කේරල ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් සමඟය.

සැකකරු කිළිනොච්චියේ පදිංචිකරුවෙක් වන අතර ගංජා තොගය, පොල් වත්තක භූගත බංකරයක ගබඩා කර තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කරන අතරතුරදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් මේ වන විට ප්‍රශ්න කෙරේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතාගේ සහ විමර්ශන අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර යන නිලධාරීන් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි….

තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල – කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර තිබේ.

ඒ අනුව එම සභාපතිවරයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.

කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තා මේවන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

ඔහුට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණේ ඒ අනුවය.

ඔහු හෙළි කර ඇත්තේ මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ – මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ තුනහමාර බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බවය.

එම බලපත්‍රය ඉකුත් මාර්තු මාසයේ කල් ඉකුත් වී ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා බැකෝ සමන්ගේ පාර්ශ්වයට දන්වා ඇත්තේ”ප්‍රශ්නයක් වුණොත් මම බලාගන්නම් බස් එක දුවන්න ” යනුවෙනි.

බැකෝ සමන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය මාසයේදී ද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල බැර කර ඇති බව සඳහන් වේ.

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයාට එම තනතුර අහිමි වීමෙන් පසුවත් ඔහුට එම මුදල ලබාදුන් බවත් ඒ තමාට කළ උපකාරය වෙනුවෙන් බවත් බැකෝ සමන් පවසා ඇත.

මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු සභාපතිවරයා ඉදිරි සතියේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුව අවලංගු කිරීම ගැන ඇමතිට ප්‍රශංසා…

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් සේවා දිගුව අවලංගු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පැවසුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපයට වෘත්තීය සමිති රැසක් විරෝධය පළ කර තිබූ බවය.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ පුබුදු නිරෝෂන් මහතාගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව දන්වමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා පසුගියදා 15 වෙනිදා ලිපියක් යොමු කර තිබුණි.

ලබන වසරේ ජුනි 26 වෙනිදා දක්වා ඔහුගේ ධුර කාලය දීර්ඝ කරන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බව අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපියෙන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් පුබුදු නිරෝෂන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර ඇත.

ඊට අදාළව පසුගිය 22 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඔහුගේ සේවා කාලය දිර්ඝ කිරීම සඳහා තමන් කිසිදු ලෙසකින් අනුමැතියක් ලබා දී නොමැති බවය.

එවැනි දීර්ඝ කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීම ද වැරදි නිරූපණයක් ඇති කරන්නක් බව අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව පසුගිය 15 වැනිදා නිකුත් කර ඇති එම ලිපිය ඇතුළුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ…

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ වෙළෙද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

වියට්නාමයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් සිටි, එම්.වී. ඉන්ටග්‍රිටි ස්ටාර් නම් අදාළ වෙළෙද නෞකාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝශයකට ලක්ව තිබුණි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර ශ්‍රී ලංකා නාවික සමුදුර නෞකාව ඒ සඳහා අනියුක්ත කෙරිණි.

ඒ අනුව ආපදාවට ලක්වූ නෞකාවේ සිටි ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලය නිරුපද්‍රිතව මුදාගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කළේය.

අදාළ පිරිස මේ වන විට හම්බන්තොට වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේය.

ආපදාවට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් එම නෞකාව හිමි සමාගම විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.