‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ට කැබිනට් අනුමැතිය….

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

2023 වර්ෂයේදී සංශෝධනය කරනු ලැබ ඇති ජාතික ඛනිජ ප්‍රතිපත්තිය, වර්තමාන රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ තිරසර සම්පත් භාවිතාවක් – උපරිම ප්‍රතිලාභ ජනනයක්’ යන තේමාව යටතේ වන ප්‍රතිපත්ති මූල ධර්මයන්ට අනුගතව නැවත යාවත්කාලීන කර ඇති බව සඳහන් වේ.

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය’ ප්‍රථම වරට සකස් කරනු ලැබ ඇත්තේ  1999 වර්ෂයේදීය.

ඉපසුව නැවතත්, ඛනිජ සම්පත් සම්බන්ධ යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීම, ඛනිජ අපනයනය කිරීම සඳහා අගය එකතු කිරීම, ඛනිජ ආශ්‍රිත කර්මාන්ත කරුවන් දිරි ගැන්වීම, ඛනිජ සම්පත් නිස්සාරණය හා පරිසරය තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ ඛනිජ සම්පත් නිස්සාරණයේදී මතු වන ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම වැනි කරුණු ආවරණය කරමින් 2023 වර්ෂයේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබේ

විදුලි සේවකයින්ගේ වර්ජන සූදානමට විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගෙන් විරෝධයක්…

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත් දැනුම්දීමකින් තොරව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට නිරතවන බව විදුලි බල වෘත්තිය සමිති විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සේවක පිරිස පිරිස සඳහන් කර ඇත්තේ අදාළ වෘත්තිය සමිති නායකයින් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපිය ලංවිම සාමුහික අදහස් පිළිබිඹු නොකරන බවය.

එමෙන්ම එම වෘත්තිය සමිති විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් හුදු හිස් ඉල්ලීම් බවත් ඒම කරුණු තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධා කිරීම හෝ එම ප්‍රතිසංස්කරණ නැවැත්වීම බවත් අදාළ සේවක පිරිස චෝදනා කර තිබේ.

විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස පෙන්වා දෙනුයේ අදාළ වෘත්තිය සමිති ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් 25%ක සාමාජිකත්වයක්වත් වාර්තා කර නොමැති බවත් විශ්‍රාම යෝජනා ඉල්ලුම් කළ බවත්ය.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට හෝ ප්‍රමාද කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට සිය සේවක පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම විදුලි සැපයුම කඩාකප්පල් කිරීමට අදහස් කරන ඕනෑම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නීති විරෝධී සහ අවසර දිය නොහැකි බවත් පෙන්වා දෙන අදාළ සේවක පිරිස සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ විදුලි බල පනත යටතේ සංශෝධිත බලතල ක්‍රියාත්මක කරමින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව නියමිත දිනය ගැසට් කරන ලෙසත් විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ට ඔවුන්ගේ හිමිකම්වලට හානියක් නොවන පරිදි සේවයෙන් නිදහස් වීමට අවසර ලබා දෙන ලෙසත්ය.

රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ….

මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය  (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම, තොරතුරු යටිතල පහසුකම ක්‍රියාත්මක වන සියලු ආයතනවලට සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා රජයේ වැදගත් තොරතුරු සඳහා ප්‍රවේශය ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මේ සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණය දැනටමත් ගෙන ඇති අතර, මෙම වසර අවසාන වන විට සෙසු රාජ්‍ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එහිදී ප්‍රමුඛ රාජ්‍ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය මගින්  විගණනයට ලක් කිරීමටද යෝජනා විය.

මීට අමතරව, සියලුම රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද, ඒ සඳහා පුහුණු වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්‍ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බවත්, රාජ්‍ය වෙබ් අඩෙවි විවෘත කිරීම, රැන්සම්වෙයාර් ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වැළැක්වීමට සහ කළමනාකරණයට මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සැලසෙන බවත් සඳහන් විය.

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් රාජ්‍ය ආයතනවලට තත්කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්‍යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසද හඳුන්වා දෙන ලදී.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වර්ණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කණිෂ්ක කරුණාසේන යන මහත්වරුද, ජනාධිපති කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රජයේ වැදගත් තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතන 37ක ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෙහෙළියට එරෙහි මූල්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුට ඇප….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකුවන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.

මෙම නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකාර නිමල් සිසිර කුමාර නමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැයක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කර ඇත.

රජයේ ආයතන රැසක ඉහළ පුටුවල වෙනසක්…..

රජයේ ආයතනවල ඉහළ තනතුරු ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පවසයි.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ නම් මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවය.

ඒ අනුව ඉදිරියේදී රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට – දැඩි නිර්ණායක ලිහිල් කිරීමට පියවර…..

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළ දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය අද(10) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කමිටු නිර්දේශවලට අනුව, දැනට ලබා දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල  වැඩි කිරීමට තීරණය වී ඇති අතර වෛද්‍යාධාර ලබාදීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබාගත හැකි වන පරිදි එම ක්‍රමවේදය සරල  කිරීමටද මෙහිදී එකඟතාව පළවී ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා රුපියල් ලක්ෂයක එකවර ගෙවන ආධාර මුදලක් ලබාදීමට ද ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

රජයේ රෝහල්වල හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද මෙම රැස්වීමේ දී අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කරමින් ජනාධිපති අරමුදලේ විනිවිදභාවය තහවුරු කිරීමට ද මෙහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සත්‍යග්‍රහයේ නිරත ධීවරයන් ඉවත් කිරීමට පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි….

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවර කර්මාන්තයේ නිරත පිරිස් එතැනින් ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොටුව පොලිස් ස්ථානය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රතික්ෂේප කළ බව  අද දෙරණ වාර්තාකරු පැවසීය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයන් සිදු කරන උද්ඝෝෂනය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නවතන ලෙස නියෝගයක් නිකුත් කරනැයි  කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබිණි.

අදාල මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බවත්  ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය .

එසේම උද්ඝෝෂකයන් විසින් මංමාවත් පනත, පොලිස් ආඥා පනත ඇතුළු නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියෝග කළේය .

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බලකරමින් මාදැල් ධීවරයින්  අඛණ්ඩව අද (10) හයවන දිනටත් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර ඇත.

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු ගැන රජය ගත් අලුත්ම තීරණය…..

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා වූ දැනට ක්‍රියාත්මක රෙගුලාසි සංශෝධනය කර නව රෙගුලාසි හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට නියමිතව ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම්කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි පසුගිය 2019 වසරේ අගොස්තු මස 02 දින ප්‍රකාශයට පත්කර ඇති අතර එම රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම්කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ.

ඒ අනුව 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද ඇතැම් සිම්කාඩ්පත් පිළිබඳව ග්‍රාහක තොරතුරු දුරකථන ක්‍රියාකාරු සමාගම් සතුව නොමැති අතර ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

තවද වයස අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලෙපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනපති ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙල බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමාගේ ඇගයුමට….

ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ඇගයීමට ලක් කර තිබේ.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාද කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු එක්ව සිටියහ.

ජනපති හෙට නුවරඑළියට……

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත් වේ.

මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන තිබෙන අතර,  සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණයි.

විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.