ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි….

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග ද්විත්වය පවත්වනු ලබන්නේ පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දු අනුව බවත්, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීයික පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 132ක් සඳහා සුහුරු පුවරු පිරිනැමේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක ඩිජිටල් කාර්යසාධක බලකායේ මැදිහත්වීම මත සිදුකෙරෙන මෙම වැඩසටහනේ සංකේතවත් පියවරක් ලෙස ද්විතීයික පාසල් 10ක් සඳහා සුහුරු පුවරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු විය.

ළමා ආරක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සැකසූ නව ඩිජිටල් ප්‍රතිපත්තිය එළඹෙන අප්‍රේල් මාසයේදී හඳුන්වා දෙන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට හඳුන්වා දුන් නව ඉගෙනුම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (13) මොනරාගල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූවාය.

එහිදී කුඹුකන මො/ශ්‍රී ෂන්මුගම් දෙමළ මහා විද්‍යාලයේ සහ මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමිය පියවර ගත්තාය.

සිසුන් සංඛ්‍යාව ඉහළ යාම සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, මදුරුකැටිය මහා විද්‍යාලයේ නම “මොනරාගල ධර්මරාජ මහා විද්‍යාලය” ලෙස වෙනස් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ඉදිරිපත් කළ යෝජනාවට ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනුමැතිය ලබා දුන්නාය.

අලුත් වූ වැඩපොත් සහ ක්‍රියාකාරකම් පාදක කරගත් නව අධ්‍යාපන ක්‍රමය ඉතා ඵලදායී බවත්, දරුවන් ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන බවත් එහිදී ගුරුවරු අග්‍රාමාත්‍යවරිය සමඟ පැවසූහ.

මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති අධ්‍යාපන බලධාරී හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“පවතින ගුරු පුරප්පාඩුවලට සම්පූර්ණ විසඳුමක් නොවුණත්, මෙම විභාග හරහා සැලකිය යුතු සහනයක් ලබාදිය හැකියි. අධිකරණ තීරණය අනුව උපාධිය ලබාගත් දිනය 2025.06.30 ලෙස කලින් නම් කර තිබුණත්, බොහෝ පිරිසකගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එම දිනය සංශෝධනය කිරීමට අධිකරණ⁣යෙන් ඉල්ලීමක් කළා ඒ ලැබෙන තීරණ අනුව අපි කටයුතු කරනවා… 

පාසල් යටිතල පහසුකම් වෙනුවෙන් නිවැරදි සැලසුම් අනුව ලබා දී ඇති ප්‍රතිපාදන විනිවිදභාවයකින් යුතුව වියදම් කර එහි ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි. ජාතික, පළාත් හෝ ග්‍රාමීය, නාගරික ලෙස බෙදී අපට මේ ගමන යා නොහැකියි. අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ නිවැරදි දත්ත මත පදනම්ව කඩිනම් සහ නිවැරදි තීරණ ගන්න… ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ පිරිවෙන් ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කමිටුව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමිත්‍යතුමිය සඳහන් කළාය…”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්…..

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවය.

මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.

අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ස්ථිර පියවර ගත යුතු බවද නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කරයි.

සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර…..

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

නව රජයේ, රාජ්‍ය ආයතන නවීකරණ වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ සහයෝගයක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සියලුම නිලධාරීන්ගේ එකඟතාව පළ කළහ.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 2025 වසරේ අත්පත් කරගත් මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ අතර, මේ වසරේ තවදුරටත් ඉහළ මූල්‍ය ප්‍රගතියක් අත්පත් කරදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සුරාබදු නිලධාරීහු සහතික වූහ.

වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කමිටුව අවධාරණය කළ අතර, මීට අමතරව නිලධාරීන්ගේ උසස් වීම් සහ මත්ද්‍රව්‍ය නාශක අංශය සවිබල ගැන්වීම පිළිබඳවද අවධානය යොමු විය.

මේ අතර, රට තුළ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධ අපරාධ මැඬලීම සඳහා මහජනතාවගේ සක්‍රීය සහාය ලබා ගැනීමට ඕනෑම ප්‍රදේශයක සිදුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තොරතුරු 1913 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සහ මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය  ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

CID අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක්…..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බව පොලීසිය පවසයි.

මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

noucinatacha20@gmail.com, police.cid.lk@gmail.com යන විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කර ඇති ඉහත ව්‍යාජ විද්‍යත් පණිවිඩ මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබාගැනීම යන වංචනික ක්‍රියාවන් සිදුකිරීමේ අරමුණින් යොමු කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

එමෙන්ම ඉහත පණිවිඩය යොමු කරනු ලැබූ පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම හා ඒ හා සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින් යොමු වන පණිවිඩයේ ඇතුලත් අන්තර්ගතයට අදාළ ඔබගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසට පොලීසිය මහජනතාව වෙත දැනුම් දී තිබේ.

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු රෝහලට…..

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් එම වැඩ ඒකක භූමිය සහ පාසල වෙන් කෙරෙන තාප්පයේ ගැටීමෙන් තාප්පය කඩා වැටී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි.

සිද්ධියට අදාළ 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කරන අධිකරණයට අවශ්‍ය පහසුකම් දෙන්න – අධිකරණ ඇමති….

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එහි විභාග කටයුතු අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍ය නිල නිවාසයක් තුළ සිදු කෙරේ.‍

ඊට අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙසට විෂය භාර අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා අද (12) උපදෙස් ලබාදුන්නේය.

ඒ, අද (12) රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එමෙන්ම හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත්  සෙසු නිල නිවාසවලට උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන්න ලෙසට ඔහු පැවසීය.

දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබාදී තිබේ.

අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ  B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යංශයට ලබාදී ඇත.

මෙට්‍රෝ බස් රථ සේවාව අගෝස්තුවේ සිට….

මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කළ යුතු බව ද අනුර කුමාර දිසානායක මහතා  පෙන්වා දෙයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් වෙනුවෙන් ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු 05  යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස Lanka Metro Transit බස් රථ සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය කරමින් තිබෙන  අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට බස් රථ පැමිණීමට නියමිත බවත් මෙහිදී සඳහන් කෙරිණි.

කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන වැඩසටහන පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර 03 තුළ ප්‍රධාන නගර 08ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් වේ.

මෙම නියමු ව්‍යාපෘතිය මගින්  කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කර, මගී ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ බස් ප්‍රමුඛතා මංතීරු හඳුනා ගැනීම සහ ඒවායේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවය.

මහජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා පවතින විසිරුණු බස් සේවාවන් වෙනුවට ප්‍රවාහන සමාගම් (ක්ලස්ටර් – Clusters) ක්‍රමවේදයක් කරා යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“මිනිසුන්ට අවශ්‍ය වන්නේ තමන්ට හොඳ ප්‍රවාහන සේවාවක් ලැබීමයි; එය ලැබෙන්නේ කුමන ආකාරයකින්ද යන්න ඔවුන්ට වැදගත් නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අපට ඇත්තේ සැලසුම් සහගතව ගොඩනැඟූ නගර නොව, කාලයත් සමඟ ගොඩනැඟුණු නගර  බැවින්, පවතින නාගරික ව්‍යුහය තුළ ප්‍රවාහන කළමනාකරණය ඉතා පරිස්සමින් සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, බස් ක්ලස්ටර් ක්‍රමය ස්ථාපිත කිරීම මෙම ගැටලුවට ඇති හොඳම විසඳුම බව සඳහන් කළේය.

එම ක්‍රමය යටතේ බස් හිමියන් වෙත බස් රථ යෙදවීම සදහා සමාගමක් ඇති කෙරෙන බවත්, එහිදී ලාභය පිළිබද ගැටලුවක් මතු වන්නේ නම් සමාගම සඳහා රජයෙන් සහනයක් ලබා දීමේ හැකියාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී බස් හිමියා සහ සමාගම අතර ගිවිසුමක් මෙන්ම  අදාළ සේවාව අඛණ්ඩව ලබා දීම පිළිබඳ රජය සහ බස් සමාගම අතර ගිවිසුමකට එළැඹීමේ වැදගත්කමත්, අලුතින් බස් ගෙන්වා විශාල පිරිවැයක් දරනවාට වඩා එය පහසු කාර්යයක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් කිරීමේදී දුම්රිය සේවය කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් ඒ වටා ඒකරාශී කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කැලනි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම පිළිබඳව සහ අධිවේගි මාර්ග පද්ධතිය වෙනුවෙන් ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත සේවකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

සේවකයන්ට නිසි ගෞරවයක් ලැබෙන පරිදි සහ ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු වන පරිදි සේවා කොන්දේසි සකස් කළ යුතු බවත්, විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විධිමත් පත්වීම් ලිපියක් ලබා දීම සහ විධිමත් සුබසාධන සේවාවක් සහතික කිරිමේ වැදගත්කමත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ස්ථානීය දඩ ක්‍රමය සහ ලකුණු කැපීමේ ක්‍රමය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වසර 10ක් තිස්සේ රියදුරු බලපත්‍ර චිප්  එකක් සහිතව නිකුත් කළ ද, එවැනි ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු තාක්ෂණික මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බවත්, එය රැවටීමක් පමණක් බවත් අනාවරණය කෙරිණි.

දැන් Gov.pay මඟින් එම ක්‍රමවේදය නිවැරදි කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව මාස   6-7ක් ඇතුළත විධිමත්ව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවත් මෙහිදී  සඳහන් කෙරිණි.

ත්‍රීවිල් රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනයට ක්‍රමවේදයක් සකස් කර තිබෙන අතර සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කෙරිණි.

සිසු සැරිය බස් රථ සේවාව ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර සිසුසැරිය වැඩසටහන වෙනුවෙන් 2025 වසරේදී රජයෙන් රුපියල් මිලියන 2200ක් වෙන් කර ඇත.

එයින් රුපියල් මිලියන 500ක් භාවිතයට නොගෙන නැවත හරවා එවා තිබෙන බවත් සඳහන් කෙරිණි.

ඒ අනුව සිසු සැරිය වැඩසටහන කාර්යක්ෂම කිරීම සහ සිසුන් වෙත සෘජුවම ප්‍රතිලාභ ලැබෙන අයුරින් පුළුල් කළ හැකි අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම රජයේ ප්‍රමුඛතාවයි – අගමැතිනිය….

විධිමත්ව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද (12) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්ය.

මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලුවාය.

විද්‍යාලයීය ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් ලබාදෙන දායකත්වය රජය අගය කරන බවය.

ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.

පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතා ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ඉලක්කය බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

අනතුරුව වීරකැටිය රජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දුන් පළමු වසර පන්ති කාමර සහ ඉගැන්වීම් ක්‍රමවේද නිරීක්ෂණය කළ අතර දරුවන් සමඟ සුහද කථාබහකටද එක් විය.

පසුව වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ සහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සමඟ පිළිසඳරක නිරත වෙමින්  වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමට ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අතර උසස් පෙළ දරුවන් පාසල තුළ රඳවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළාය.

හම්බන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලයේ නිරීක්ෂණයට ද එක්වූ අග්‍රාමාත්‍යවරිය, එහි පවතින ඉහළ යටිතල පහසුකම්වලට සාපේක්ෂව ශිෂ්‍ය සංඛ්‍යාව අවම මට්ටමක පැවතීම පිළිබඳව සිය අවධානය යොමු කළාය.

පාසල් පරිපාලනය විසින් නිසි සැලසුමකට අනුව කටයුතු කරමින් ශිෂ්‍ය ගලනය නංවාලිය යුතු බවත්, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙවැනි අංගසම්පූර්ණ පාසල්වලින් මහත් ප්‍රයෝජනයක් ගත හැකි බවත් ඇය සඳහන් කළාය.

නිරීක්ෂණය අතරතුර නයිගල රාජ මහා විහාරය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් බැහැදැකීමටද කටයුතු කළාය.

පද්ධතිය තවමත් අක්‍රියයි – ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…..

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය මේ වන විටත් යථා තත්ත්වයට පත් කර නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේ, හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, කාර්යාල නිලධාරීන් සහ විශේෂ තාක්ෂණික කමිටුවක් එක්ව දත්ත පද්ධතිය යථාවත් කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බවය.

අද දිනය තුළ පද්ධතිය යථා තත්ත්වයට පත් කළහොත්, ඒ මොහොතේ සිටම ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු නැවත ආරම්භ කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

තාක්ෂණික දෝෂය සියලුම ප්‍රධාන සහ ශාකා කාර්යාලවලට බලපා ඇති බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය හේතුවෙන් ඉතා හදිසි නොවන අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීම ලබන සතිය දක්වා කල්දැමීමට මහජනතාවෙන් ඉල්ලා සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

තවද, දෙපාර්තමේන්තුවේ 1962 දුරකථන අංකය හරහා හෝ නිල වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු ලබාගත හැකි බවද ඔහු අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් කරුණාදාස මහතා,

“ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද දවසේදී දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. අද දවස තුළදී මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළ‍ඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ.”

“අපගේ 1962 දුරකථන අංකය වෙබ් පිටුවට ඔබගේ අවධානය යොමුකරලා පැමිණීමේ හැකියාව තියෙනවා. අපගේ වෙබ් පිටුව තුළ නිරන්තරයෙන් අපි මේ පිළිඳව යාවත්කාලීන කරනවා. ඔබට හැකියාව තියෙනවා අපේ දත්ත පද්ධතිය යාවත්කාලීන වුණ වහාම මෙම කාර්යාලයට පැමිණෙන්න. එසේ නොපැමිණෙන්නේ නම් 1962 දුරකථන අංකය මගින් විමසලා මහජනතාවට ඕනෑම අවස්ථාවදී කාර්යාලයට පැමිණෙන්න. එහෙම නොවන අවස්ථාවකදී ලබන සතියේදී ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණෙන්න. දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය සියලුම ශාඛාවලට බලපානවා.”

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ…..

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේදී අද (12) විවෘත කෙරිණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානය හරහා දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම අරමුණු කර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ ජාතික වැඩසටහනක් වන “විදතා” වැඩසටහන යටතේ ගමට තාක්ෂණය පැවරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම භාවිතා කර ග්‍රාමීය ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ රට පුරා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයන් වේ.

මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “විදතා” මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, එහි ඉදිරි පියවරක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කෙරේ.

නව මධ්‍යස්ථානය හරහා ව්‍යවසායකයින්, නව නිපැයුම්කරුවන් සහ ආරම්භක ව්‍යාපාරිකයින්ට තාක්ෂණික උපදේශන, පර්යේෂණ සහාය, ව්‍යාපාර සැලසුම් සකස් කිරීම, වාණිජකරණ මඟපෙන්වීම ඇතුළු සේවා ලබාදීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අමාත්‍යාංශ නිලධාරීන් සහ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.