ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී අගමැති මෝදි ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

එමෙන්ම ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින්, ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සෝටකිස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමගින්ද එම සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර….

මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පසුගිය 18 වැනිදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය.

මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බවත් ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

තවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ’ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් පත් කළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම වාර්තාව සකස් කරන ලද අතර, ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ දැන්වීම් මගින් එම වාර්තාව පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මාසයක කාලයක් ලබා දීමට මෙහිදී තීරණය විය.

මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් ද ඉදිරිපත් කරන ලදී.

එසේම, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

තවද ජාතික හා පළාත් මට්ටමින් මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව, ඒවා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදීම සිදුවිය.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.

සංඝ සමුළුවේදී රජයට සංඝ ප්‍රඥප්තියක් පනවයි…..

බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැති ‘මහා සඟ සමුළුව’ අද (20) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

ඒ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදීය.

එහිදී වර්තමානයේදී බුද්ධ ශාසනය, භික්ෂුන් වහන්සේ සහ ජනතාව මුහුණ දෙන සමාජීය අර්බුද සමනය කිරීම උදෙසා මෙරට සියලුම භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ නායකයින් එක්ව සංඝ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව අදාළ සංඝ ප්‍රතිඥාව සියලු හිමිවරුන්ගේ අත්සන් සහිතව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමටද නියමිත බව මොරටුව, ලුනාව බෝධිරාජාරාමාධිපති, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශාධිපති පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් සඳහන් කළේය.

එම කරුණු 10කින් යුත් සංඝ ප්‍රතිඥාව පහතින්,

01අර්හත් මහා මහින්ද මා හිමියන් වහන්සේ ශ්‍රී සද්ධර්මය රැගෙන විත් එය මේ භූමියෙහි ස්ථාපනය කිරීමේ දී එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දෙවන පෑතිස් මහරජාණන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුවූ බවත්, එදා සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ බුද්ධාගම එකිනෙකට සම්බන්ධව පැවති බවත් එම සම්බන්ධය මත සදාචාරාත්මක දේශයක් ගොඩනැගීමේ වගකීම පාලකයාට මෙන්ම ආගමට පැවරුණු බවත් හා බුදු දහමේ ඉගැන්වීම් රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂූන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගන්නා ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.
02. පෙර රජදරුවන් විසින් සුරක්ෂිත කොට පෝෂණය කරන ලද බුදු දහමත් ඒ හා බැඳුණු සියලු සංස්කෘතීන් ද සිද්ධස්ථානය ආරක්ෂා කිරීමේ වගකීම උඩරට ගිවිසුමෙන් ද තහවුරුව, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සම්මත කොට අධිකරණය මගින් ද බුද්ධ සාසනය යන්න නිර්වචනය කොට ඇති බැවින් මෙම ව්‍යවස්ථානුකූල අයිතිය රජය විසින් ආරක්ෂා කළ යුතු බව ද අපි රජයට අවධාරණය කර කියමු.
03. ජාතියේ එක්සත්කමත්, සමගියත්, සහජිවනයත් රඳා පවතින්නේ ඓතිහාසිකව ගොඩනැගුණු ගිහි පැවිදි සම්බන්ධතාව නිසා බවත්, සොළීන්ට බටහිර කුමන්ත්‍රණකරුවන්ට මෙන්ම කොටි සංවිධානයට පවා මේ සම්බන්ධතාව විනාශ කරලන්නට නොහැකි වූ බවත්, විවිධ ස්වභාවික විපත් හා ව්‍යාධීන් සමනය කරලන්නට මෙම ගිහි පැවිදි සම්බන්ධතාව හේතු වූ බවත්, එය බිඳ දමන්නට විරසක කරන්නට සමාජ මාධ්‍ය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන යන අදුරදර්ශී ක්‍රියාමාර්ග පරාජය කරන්නට රජය විසින් අවශ්‍ය කටයුතු යෙදිය යුතු බව අපි අවධාරණය කර කියා සිටිමු.
04. අතීත පාලකයන් බුදු දහම කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් කටයුතු කළ බවද, නොබොහොසත්හු ලක්දිව රජ නොවිය යුතු බවට ශිලා ලේඛන ගත කර ඇති බැවින් ද, බුදු දහමින් නිර්දේශිත පරිදි බෞද්ධ දේශපාලන දර්ශනයට අනුගතව විශේෂයෙන් දසරාජ ධර්ම සතර සංග්‍රහ වස්තු ක්‍රියාවට නංවමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ද, සතර අගතියෙන් තොරව රට පාලනය කිරීමේ අවශ්‍යතාව ද අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.
05. අතීතයේ සිට ම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට ලක් වූ උතුම් පූජනීය වස්තුවක් වූ බව ද සමාධි, අවුකන, ගල් විහාර වැනි මහා නිර්මාණ පැරණි රජ දරුවන් මහත් පරිශ්‍රමයෙන් ඉදි කළේ ජනතාවගේ ශුද්ධාව දියුණු කරනු පිණිස බවත්, අද දක්වා මෙම ආගමික හා සංස්කෘතික උරුමයන් මහත් වන්දනාවට ලක් වන බවත්, එබැවින් බුද්ධ ප්‍රතිමාවට නිගරු වන කවර ආකාර හෝ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව හෝ වෙනත් කවර සමාජ ආයතන විසින් හෝ සිදු නොකළ යුතු බවත්, ඊට අවශ්‍ය පියවර නීත්‍යානුකූලව ගත යුතු බවත් අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.
06. බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය අනුරාධපුර මහා විහාරය වන බවත්, එතැන් සිට භික්ෂුන් වහන්සේලා රටේ ජනතාවගේ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ වූ බවත්, එයින් සදාචාර සම්පන්න සිසු පරපුරක් ගොඩනැගුණු බවත්, උසස් සාහිත්‍ය කලාවන් රටට උරුම කරමින් භික්ෂුව අධ්‍යාපනිකව ඉටුකළ මෙහෙවර අගය කළ යුතු බවත්, විද්‍යෙදය, විද්‍යාලංකාර පිරිවෙන් අරඹා සහ ඒ ඔස්සේ විශ්ව විද්‍යාල දක්වා ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු වු අයුරු පදනම් කොට නුතන පිරිවෙන් සහ පාසල් අධ්‍යාපනය ගොඩනැංවීම සිදු කළ යුතු බවත්, විෂය මාලා සංවර්ධනයේ දී බෞද්ධ අධ්‍යාපන මූලධර්ම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු.
07. පෙර ජනාධිපතිවරුන් විසින් අමාත්‍ය ධුරය දරමින් ක්‍රියාත්මක කරන ලද බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ වනවිට නිසි අමාත්‍යවරයෙකු නොමැති වීමෙන් අකර්මණය වී දියාරු වී සහ අවස්ථාවට පැමිණ ඇති බැවින් අමාත්‍යංශයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට, බෞද්ධ ජනතාවට ඒවා කාර්යක්ෂමව ඉටු කර දීමට එහි නිලධාරීන් අපොහොසත්ව ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරවන්නට අපි රජයට අවධාරණය කර සිටිමු.
08. බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වන “දේවෝ වස්සතු කාලෙන නම් ගාථාවෙහි එන පරිදි රටෙහි ආර්ථික, දේශපාලන, සමාජයීය දියුණුවෙහි මූලික පදනම ලෙස සැලකෙන දැහැමි රාජ්‍ය පාලනයක් පිළිබඳ ජනතාවගේ ඓතිහාසික ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ලෙසින් රාජ්‍ය මෙහෙයවන ලෙස අපි රජයට අවධාරණය කරමු.
09. බෞද්ධ පුරාවස්තු, පුජනීය ස්ථාන, විහාර, දේවාලගම් පෞද්ගලිකව භික්ෂූන්ගේ නොව රටේ ජාතියේ උරුමයන් වන බැවින් කවරාකාරයෙන් හෝ ඒවාට හානියක් නොවන පරිදි ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී තිබෙන බව අපි අවධාරණය කර කියා සිටිමු.
10. ශ්‍රී ලංකාවේ කවර තැනක හෝ භික්ෂුවට සීලාදී ගුණ ධර්මයන් වඩමින් ගෞරවනීය ලෙස තමාගේත් ලෝකවාසී ජනතාවගේත් මෙලොව පරලොව දෙකෙහි අභිවෘද්ධියට හේතුවන ලෙස පරාර්ථ චර්යාවෙහි යෙදෙන විට උන් වහන්සේලාට නිග්‍රහ වන ලෙසින් අදහස් ප්‍රකාශ කිරීම, මත පැතිරවීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ අපහාස උපහාසයට ලක් කිරීම්, චෝදනා කිරීම ආදී භික්ෂු ගෞරවය කෙලෙසන ආකාරයේ කටයුතු රාජ්‍ය යටතේ සිදු නොවිය යුතු බව අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට – ලාෆ්ස් ගැනත් දැනුම්දීමක්….

එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් ඉකුත් දින කිහිපයේ මෙන්ම අදත් ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක් දක්නට ලැබුණි.

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාරිභෝගිකයින් මැසිවිලි නැගූ අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති බවත්, ඒ අනුව පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේය.

මෙවන් පසුබිමක අද උදෑසන වන විට ප්‍රදේශ කිහිපයකට නව ගෑස් තොග ලැබී තිබුණි.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ පෙබරවාරි 26 වැනිදා සිට ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන බව අදාළ සමාගම දැනුම්දී ඇති බවය.

මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග….

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ සිදුකෙරන විමර්ශන කඩිනම් කර එයට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) නියෝග කර තිබේ.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් වූ නිතී කෘත්‍යය අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටී.

බහාලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක් නිසා නැවතත් තදබදයක්…..

බහාලුම් නිෂ්කාශන කටයුතුවල මතුවී ඇති ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් හටගෙන තිබේ.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ, බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිකම ඇතුළු කරුණු මීට බලපා ඇති බවය.

කොළඹ වරාය පරිශ්‍රයේ ආනයනික බහාලුම් පිටකිරීමේ සහ ඒවා වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂා කිරීමේ මෙලෙස දැඩි ප්‍රමාදයක් මතුවී තිබේ.

ඊට අමතරව ඔරුගොඩවත්ත බහාලුම් පරිශ්‍රයේද තදබදයක් මතුවී තිබූ අතර, ඒ හේතුවෙන් බහාලුම් රථ රියදුරන්ද දැඩි අපහසුතාවට පත්වී සිටී.

මේ අතර, බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, ඉදිරි මාසයේදී බහාලුම් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිත බැවින් මෙම තදබදය තවත් උග්‍රවනු ඇති බවය.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ යොදවා හෝ මෙම තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, මේ වනවිට බහාලුම් නිෂ්කාශනයේ යම් තදබදයක් පැවතියද එය සාමාන්‍ය තත්ත්වයක් බවය.

පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අද (20) අවසර ලබා ගෙන ඇත.

28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා මෙම පුද්ගලයාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්…..

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ, ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටය.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙයි.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර තිබේ.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ, ලාෆ් පාරිභෝගිකයා ලිට්‍රෝ ගෑස් වෙත විතැන්වීම මෙම තත්ත්වයට බලපෑ බවය.

“පසුගිය සතියේ දවස් දෙකක් තුනක් තිස්සේ ලාෆ් ගෑස් සමාගම, ගෑස් බෙදාහරින එක නතර කරලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා, ඒ පාරිභෝගිකයා දැන් ලිට්‍රෝ ගෑස්වලට මාරු වෙලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොළේ ඇති වුණ හදිසි ඉල්ලුම නිසා අද, හෙට සහ අනිද්දා  මෙට්‍රික් ටොන් 1500ක් නිදහස් කරන්න සැලැසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දවසකට නිදහස් කළේ, මෙට්‍රික් ටොන් 1200යි. 

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉරිදා එනවා එක නැවක්, අඟහරුවාදා එනවා තව නැවක්, ඒ විදිහට නැව් ටික ශෙඩුල් කරලා තියෙනවා. 

අපි ලාෆ්ගෑස් සමාගමට නිශ්චිතව දැනුම්දීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පෙරේදාත් ගෙනත් කතා කළා. අද ලිඛිතව භාර දුන්නා. පාරිභෝගිකයන් සිලින්ඩර අරගෙන ගෑස් නැති වුණාම ප්‍රායෝගිකව ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් බෙදාහැරීමේ කටයුතු කරන්න. අපි දැනගත්ත ආකාරයට 25 වැනිදා තමයි ගෑස් ටික එන්න තියෙන්නේ.”

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්…..

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය.

එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි.

මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇති බවට මහජනතාව වෙත ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.

දේශපාලන බලපෑම් ගැන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් කළකිරීමෙන්…..

ඉඩම් රාජකාරී ඉටු කිරීමට අදාළව සිදුකරන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් විසින් ඇතැම් අවස්ථාවන්හි විවිධ ප්‍රාදේශීය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන බවය.

ඉඩම් රාජකාරී සඳහා අහිතකර දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ද එම සංගමය ඉල්ලා සිටියි.

ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු හෝ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ කාර්යාලයේ ඒ සඳහා නම් කළ නිලධාරීවරයෙකු යොමු කරන ලෙස ඔවුහු පවසති.

එසේ නොවන්නේ නම් දේශපාලන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලිපියක් රැගෙන අදාළ ගැටලු නිරාකරණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමේදී අදාළ ආරවුල් සම්බන්ධයෙන් තීරණ ගැනීම විනිවිධභාවයෙන් සිදු කිරීමට නොහැකිය.

එමඟින් ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තබා ඇති විශ්වාස පළුදුවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ඉඩම් රාජකාරීවලදී සිදු කරනු ලබන මෙවැනි අනිසි මැදිහත්වීම් වළක්වා ගැනීමට දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන ඉඩම් ගැටලු අදාළ කාර්යාල වෙත යොමු කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසට ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.