මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් අය‌ගේ තොරතුරු හෙළි වෙයි…..

මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සිය භාරයට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගැනුණි.

ඒ අනුව නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත මත්ද්‍රව්‍ය හා ගිනිඅවි සමග අදාළ සැකකරුවන් 10 දෙනා භාරදී තිබේ.

නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් හා ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන ඊයේ (12) දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

ඒ අනුව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවය.

බටුවත්ත චාමරගේ බිරිඳගේ ලක්ෂ 400ක් වටිනා සුපිරි නිවස තහනම් කෙරේ……

ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් බටුවත්ත චාමර යන අයගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇළ වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (13) පියවර ගෙන තිබේ.

ඒ බටුවත්ත චාමර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙනි.

මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි වැඩිහියන් 9දෙනෙකු හා සාත්තු සේවිකාවන් 4දෙනෙකු අද ඉන් පිටව ගියහ.

බටුවත්ත චාමර යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මීට පෙර මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර අවස්ථා 3කදි මෙම නිවස ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් ද සිදුවී තිබේ.

අවසන්වරට පසුගිය 7 වැනිදා ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගිය බව පොලීසිය සඳහන් කරයි.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කිරීමට කටයුතු කරන බවය.

විපක්ෂයේ මහජන හඬ හදිසියේම දිලිත් හමුවෙයි…..

විපක්ෂයේ දේශපාලන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ‘මහජන හඬ’ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (13) සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා හමුවිය.

ඒ, සර්වජන බලය ප්‍රධාන කාර්යාලයේදීය.

රට තුළ අර්බුද රැසක් පැන නැගී ඇති කාලවකවානුවක විපක්ෂයේ නියෝජිතයින් එකට එක්වී වැඩ කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ඊට අමතරව බලශක්ති අර්බුදය, මැදපෙරදිග යුද්ධය ඇතුළු තවත් මාතෘකා රැසක් ඔස්සේ මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

අනන්‍යතාව රැකගනිමින් පොදු වැඩපිළිවෙළක් සඳහා විපක්ෂය එක්ව වැඩකිරීමේ අවශ්‍යතාව සනාථ කරමින් ලියවිල්ලක් මේ වනවිටත් සකස් කර ඇති බවත් ඉදිරියේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව පොදු සම්මුතියක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවත් ඊට එක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා තිබේ.

මහනුවර ජාත්‍යන්තර පාසලක හත් හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට…..

මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයකට යටවීමෙන් එම පාසලේ හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (12) උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස යෑමෙන් අනතුරුව වාහනයේ තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය එක්වරම ක්‍රියාත්මක වී ඇත.

එහිදී පාසලේ වතුර පානය කරමින් සිටි, පාසල් දරුවන් දෙදෙනෙකු වාහනයට යටවී ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් වාහනයේ හිමිකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, තමා වාහනය නවතා ඉන් බැසයෑමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාව එක්වෙයි……

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය 10 වෙනිදා පැවැති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට එක්විය.

ඒ, මෙරට තුළ විවෘත පාලනය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ අරමුණින්ය.

මෙම වටමේස සාකච්ඡාව සංවිධාන කර තිබුණේ, එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (Westminster Foundation for Democracy – WFD) විසිනි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියෝජිතයින් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව මින් පෙර විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) ක්‍රියාවලියෙන් අක්‍රීය වී තිබූ අතර, එය නැවත සක්‍රීය කිරීම සහ ඒ සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ මාර්ග සිතියම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

කලාපීය අසල්වැසි රටවල් විවෘත පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති සාර්ථකත්වයන් සහ අභියෝග පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.

විවෘත පාලන ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන නායකත්වයේ සහයෝගය ලබා ගැනීම සහ එම ප්‍රතිසංස්කරණ හුදෙක් ලේඛනවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ජනතාව වෙත සමීප කරවන ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම වටමේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමණික්කම් මහතා, OGP ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී ස්වාති මෙහෙතා සහ එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නියෝජිතයින් ද එක්ව සිටියහ.

සිසු සැරිය බස්රථ සේවාවට තවත් බස්රථ 200ක්…..

‘සිසු සැරිය’ බස්රථ සේවාව තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම වසරේ දී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක්කිරීමට නියමිතව ඇත.

ඉසුරුපාය පරිශ්‍රයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් මේ බව තහවුරු කළේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම ‘සිසු සැරිය’ බස්රථ සේවය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මාධ්‍ය හමුවේදී පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවය.

ඒ වෙනුවෙන් මෙම වසරේ දී රුපියල් බිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බව හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සහ එහි සැලසුම් අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට ඵලදායී සේවයක් සැපයීම අරමුණු කොට ‘සිසු සැරිය’ පාසල් බස් රථ සේවය තවදුරටත් විධිමත් කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් දියත් කෙරෙමින් පවතින බවය.

එහි ප්‍රධාන කරුණක් ලෙස පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා නිසි ලෙස ප්‍රමිතිගත කිරීමට නීතිමය වශයෙන් තිබූ අවහිරතාව ඉවත් කිරීම පෙන්වා දෙනු ලැබූ අතර, එමගින් එම රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුදුභාවය හා රිය සහායක පිළිබඳ තොරතුරු ආදී වශයෙන් යම් නීතිමය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පිළිබඳ අණ පනත් කෙටුම්පත් කරමින් පවතින බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ‘සිසු සැරිය’ බස් රථ සේවාව දීප ව්‍යාප්තව ඉතා පුළුල් ලෙස ව්‍යා‍ප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ කුඩා මට්ටමේ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බවය.

මෙහිදී ආසන්නවම ඇති ගමනාගමන මණ්ඩලයට හෝ ලංගම කාර්යාලයකට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් ඒ සඳහා දායක විය හැකි බව සඳහන් කෙරුණු අතර, පාසල්වල ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් සිටී නම් ඔවුන් පිළිබඳ විදුහල්පති මාර්ගයෙන් ඉහත ආයතන දැනුම්වත් කිරීමෙන් මෙම පහසුකම් සලසාදිය හැකි බවත් වැඩිදුරටත් දැන්වීය.

ලක්විජය බලාගාරයේ යන්ත්‍රවලට හානියක් සිදුව නොමැති බව කෝප් කමිටුව කියයි……

මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය හයවෙනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට එක්වූ අවස්ථාවේදීය.

බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණද, එය මේ අවස්ථාවේ රටෙහි බලශක්ති අවශ්‍යතාවය අනුව ගැටළුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණය බලාගාරය සතුව ඇති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටි‌යේය.

මෙම ස්ථානීය පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන ක්‍රියාවලියට අදාළ සියලුම කටයුතු පරීක්ෂාවට ලක්කරන ලදී.

ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව කාරක සභාව සිය අවධානය යොමු කළේය.

මෙරටට ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීම ප්‍රතීතනය  සහිත රට තුළම ස්ථාපිත ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කිරීම විදුලි ජනනය සඳහා ගල් අඟුරු ආනයනයේදී වැදගත් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය නිරීක්ෂණය මගින් අනාවරණය කළේය.

රටෙහි පවතින විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිකර තිබේ.

මෙරට විශාලම සහ එකම ගල්අඟුරු බලාගාරය ලෙස ජාතික විදුලි පද්ධතිය සඳහා 900MWකට අධික දළ ධාරිතාවක විදුලිය නිකුත් කරනු ලබයි.

රටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% – 40% පමණ මෙම බලාගාරය විසින් නිපදවනු ඇත.

විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 845 දෙනෙකුගෙන් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් බලාගාරය සමන්විත වන බවත්, ලක්විජය බලාගාරයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අනාවරණය විය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම විදුලි බලාගාරය මෙන්ම, එකම ගල් අඟුරු බලාගාරය වන අතර එය මෙරටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% – 40% පමණ නිපදවනු ලබයි.

ගල්අඟුරු ගොඩබෑමෙන් අනතුරුව ගබඩා කර තැබීම සඳහා අක්කර 47කින් යුක්ත අංගනයක් බලාගාරය සතුව පවතී.

එහි නියැදි පරීක්ෂාවට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් හා විදුලි ජනනය සම්බන්ධයෙන් තත්‍ය දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු පහසුකම් බලාගාරය සතුව පවතින බව එහිදී අනාවරණ විය.

ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සහගත අවස්ථා පැවතීම හේතුවෙන් එම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීම සුදුසු බව කමිටුවේ අදහස විය.

ප්‍රතීතනය සහිත රට තුළම ඇති ස්වාධීන පරීක්ෂණාගාරයකින් මෙම පරීක්ෂණ කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව එහිදී පෙන්වා දුන්නේය.

2026 දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයේ තීරණය මාර්තු අවසානයේ…..

2026 වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) තීරණය මෙම මස අවසානය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

අප්‍රේල් සිට ජූනි දක්වා වන කාල සීමාවට අදාළව 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවලියක් භාර දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇති අතර, එහි තෙවන දිනය ලෙස අද දිනයේ මහජන අදහස් විමසීමේ කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේදී සිදුකෙරේ.

අත්අඩංගුවට ගත් RMV නිලධාරීන් සිව්දෙනා රිමාන්ඩ්……

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ දැනට සේවය කරන නිලධාරීන් සිව්දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් හතර දෙනා ලබන 20 වනදා දක්වා මෙලෙස  රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ව්‍යාජ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයෙකු, හිටපු දෙපාර්තමේන්තු ලිපිකරුවෙකු, විමර්ශන හා සංවර්ධන සහකාරවරයෙකු සහ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු බවද වාර්තා වේ.

ඔවුන්ට එල්ලව ඇති චෝදනා අතර, රේගු නිෂ්කාශනයකින් තොරව (රේගු බදු නොගෙවා) ආනයනය කරන ලද වාහන 04ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම ඇතුළත් බව සඳහන් වේ.

එමෙන්ම එම වාහනවලට අදාළව ව්‍යාජ තොරතුරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර අනීතික පැවරීමක් මගින් ලියාපදිංචි කිරීමද චෝදනාවලට ඇතුළත් වේ.

ඊට අමතරව, මෝටර් රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් කූට ලේඛනයක් බව දැනුවත්වම එය භාරගෙන කවුළු අංක නිකුත් කිරීම සහ මෝටර් රථයක බර පිළිබඳ සහතික ඉල්ලීම් පෝරමයක් නොමැතිව කූට ලේඛන සමඟ ඉදිරිපත් කළ පැවරීමක් සඳහා අනුමැතිය ලබාදීම ද ඔවුන්ට එල්ලව ඇති අනෙක් චෝදනා වේ.

පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට නියෝග…..

මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකුට පහරදී හිරිහැරයට ලක්කිරීම තුළින් සුරාබදු නිලධාරීන් හත් දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.

ඒ අනුව එක් එක් සුරාබදු නිලධාරියාට රුපියල් 75,000 බැගින් අදාල නිලධාරීන් හත්දෙනා විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 525,000ක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නියෝගයේ සඳහන් කර ඇත.

අදාළ වන්දි මුදල තීන්දුව ලබාදුන් දින සිට මාස 3ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවද අධිකරණ නියෝගයේ සඳහන්ය.

එම පෙත්සම විභාග කළ ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

පෙත්සම්කරු කියා සිටින්නේ, 2023 වසරේ ජනවාරි මස 4 වනදා තමන්ගේ අවන්හල පිටත කිසියම් කලබලයක් සිදුවන ආකාරය ඇසුණු බවත් ඒ අනුව තමා ආයතනයේ සවිකර තිබූ CCTV කැමරා පරීක්ෂා කළ බවය.

එහිදී වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු විසින් තම සේවකයින්ට පහරදෙන ආකාරය දුටු බවත් ඔහු සඳහන් කරයි.

පසුව තම ආයතනය තුළට කඩා වැදුණු එම නිලධාරීන් පොලීසිය බව පවසමින්, බැටන් පොලුවලින් තමන්ට පහර දුන් බවත් පසුව ඇඳ ඇතිරිල්ලකින් ඇස් බැද පහරදීම් සිදුකළ බවත් මත්පැන් බෝතල් පිළිබඳව වරින්වර ප්‍රශ්න කළ බවක් ඔහු චෝදනා කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ, මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවය.

මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් පෙත්සම්කරුට නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිලුකා දිසානායක මහත්මියගේ උපදෙස් මත නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය පෙනී සිටියේය.