රටම බලාසිටින අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කරන දිනය මෙන්න……

මෙරට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

නැකැත් සම්පාදනය කිරීමට පාර්ශව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් මේ වන තෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

1991 වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවූව ද 2024 වසරේ දී නැකත් කමිටුවේ සාමාජිකයින් අතර පැවති මතභේද හේතුවෙන් සංස්කෘතික කටයුතු භාර හිටපු අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැරීමට පියවර ගෙන තිබූ බව සඳහන්ය.

ඒ අනුව 2025 වර්ෂයේදී පොහොය කමිටුවේ සාමාජිකයින් වන සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරුන් මගින් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්පාදනය කිරීමට පියවර ගත් බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් 2026 වර්ෂය සඳහා නැකැත් සම්පාදනය කිරීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති අතර පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා 4කදී එම කණ්ඩායම් සමග සාකච්ඡා කළ ද මේ දක්වාත් ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්ය.

ඒ අනුව තවදුරටත් එම දෙපාර්ශවය සමඟ සාකච්ඡා පවත්වමින් සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව ඒකාබද්ධව සකස් කර ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීම සිදුවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලංකාවටත් Work From Home යන්න වෙයි ද? – වෙළෙඳ ඇමතිගෙන් පිළිතුරක්……

පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

බලශක්තිය ද ආරක්ෂා කරගනිමින් ජනතාවට ඉදිරියට ගමන් කර හැකි වාතාවරණය නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු කීය.

ගෑස් ගබඩාවක් ඉදිකිරීමට හා සපුගස්කන්ද හා මුදුරාජවෙල තෙල් ටැංකි ඉදිකරනවා සේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහය නවීකරණය කිරීමට කටයුතු කිරීමට නියමිතය.

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම තුළින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට පාරිභෝගික ජනතාවට මුහුණදීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ගැටුම් පවතින රාජ්‍යයන්වල නායකින් ගනු ලබන තීන්දු තීරණ අනුව ඉන්ධන මිල වෙනස් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍ය සහ අයුධ සමග හසුවූ ධීවර යාත්‍රාව ගැන කරුණු රැසක් හෙළවෙයි……

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පසුගියදා මහා මුහුදේදි සිය භාරයට ගත් ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගය අද දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය.

එම ආයුධ තොගය සැලකෙන්නේ නාවික හමුදාව විසින් මෙතෙක් මහ මුහුදේදී සිය භාරයට ගත් වැඩිම ආයුධ තොගය ලෙසටය.

එමෙන්ම කිලෝග්‍රෑම් 600කට අධික අයිස් හා හෙරොයින් අඩංගු මත්ද්‍රව්‍ය උර 48ක්ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණි.

ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට පසුගිය 8 වැනිදා ලද විශ්වසනීය තොරතුරකට අනුව දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදි දිගු දුර මෙහෙයුම් නෞකා යොදාගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණි.

මෙහෙයුම අතරතුරදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රා දෙකක් හා සැකකරුවන් 10 දෙනෙකු සිය භාරයට ගැනීමට නාවික හමුදා නිලධාරීන්ට හැකිවුණි.

ඉන් එක් බහුදින ධීවර යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක් හා ගිනිඅවි මෙන්ම මැගසින්ද හමුව තිබුණි.

අදාළ බහුදින යාත්‍රා දෙක සැකකරුවන්ද සමඟ අද පෙරවරුවේ දික්ඕවිට වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනයේදි අනාවරණ වුණේ යාත්‍රාවෙහි වූ උර 48ක කිලෝග්‍රෑම් 600කට අධික බරකින් යුත් අයිස් හා හෙරොයින් ඇති බවය.

එම තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධිකය.

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු අතර බෙදාහැරීම සඳහා රැගෙන එමින් තිබූ බවය.

එමෙන්ම පිස්තෝල වර්ගයේ ගිනි අවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 වර්ගයේ ගිනි අවි 2ක් සහ M16 වර්ගයේ ගිනි අවියක් ද යාත්‍රාවේ තිබී ඇති අතර ඒවා බෙල්ජියම, චීනය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 4ක නිෂ්පාදිත නවීනතම ගිනි අවි බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

M16 වර්ගයේ ගිනි අවිය මෙරට ආරක්ෂක අංශවල විශේෂ රාජකාරිවල නිරත වන සෙබළුන් පමණක් භාවිත කරන අවියක් බව වාර්තා වෙයි.

නාවික හමුදාව සඳහන් කළේ තමන් මහ මුහුදේදි සිය භාරයට ගත් වැඩිම ගිනි අවි තොගය මෙය බවය.

මෙම ගිනි අවි කුලී පදනම මත අපරාධකරුවන්ට ලබාදීමට සැලසුම් කර තිබූ ඒවා බවද මූලික විමර්ශනවලදි අනාවරණ වි තිබේ.

අදාළ ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගය අරාබි මුහුදේදි ඉරාන නෞකාවකින් ධීවර යාත්‍රාවට ලබාදී ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

මත්ද්‍රව්‍ය හා ආයුධ තිබූ යාත්‍රාවේ සිටි ධීවරයින් 5දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් මීට මාස දෙකහමාරකට පමණ පෙර ධීවර රැකියාවට යන මුවාවෙන් හලාවතින් දියඹට ගොස් ඇති අතර එලෙස දියඹට ගොස් ඇත්තේ පළමු වරට බවය.

මෙහි ධීවරයින් නාවික හමුදාව විසින් අත්ඩංගුවට ගන්නා අවස්ථාවේදි දැඩි කුසගින්නකින් සිට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මාසයක කාලයකට පමණක් අවශ්‍ය ආහාර රැගෙන ආවද මාස 2කට අධික කාලයක් මුහුදේ රැඳී සිටීමට සිදුවු නිසා ආහාර අවසන් වූ බවය.

මෙහිදි අත්අඩංගුවට ගත් ධීවරයින් අතරින් දෙදෙනෙකු හෙරොයින්වලට ඇබ්බැහි වුවන් වන අතර ඔවුන් උරවල තිබූ හෙරොයින් භාවිත කළ බවත් නාවික හමුදා නිලධාරීන් හමුවේ පවසා තිබේ.

නාවික හමුදාව විසින් මෙම බහුදින යාත්‍රාව සිය භාරයට ගැනීමෙන් පසු තවත් බහුදින යාත්‍රාවක් සැකකටයුතු ලෙස තමන් දෙසටම පැමිණෙන ආකාරය නිරීක්ෂණය කර තිබුණි.

පසුව එම යාත්‍රාව පරික්ෂා කිරීමේදී මත්ස්‍ය අස්වැන්නක් හෝ නොමැතිවූ එම යාත්‍රාවේ තිබී සැටලයිට් දුරකථනයක්ද සොයාගෙන තිබුණි.

පසුව නාවික හමුදාව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි පවසා ඇත්තේ තමන් මීට මාසයකට පෙර ගාල්ලෙන් ධීවර රැකියාවට යන බව පවසමින් පිටත්ව පැමිණ, ආයුධ තිබූ යාත්‍රාවේ සහායට ඔත්තු බැලීම පමණක් සිදුකළ බවය.

එමෙන්ම ආයුධ හා හෙරොයින් ප්‍රවාහනය කළ යාත්‍රාවේ ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 30ක මුදලක්ද, ඔත්තු බැලූ යාත්‍රාවේ ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 25ක මුදලක්ද ලබාදී ඇති බව නාවික හමුදා නිලධාරීන් අනාවරණ කර ගෙන තිබේ.

මේ අතර මෙම යාත්‍රා දෙක සමඟ ගොඩබිම සිට සම්බන්ධීකරණ කටයුතු සිදුකළ පුද්ගලයෙකු හා ආයුධ ප්‍රවාහනය කළ යාත්‍රාවේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

ප්‍රශ්න කිරීම්වලදි යාත්‍රාවේ හිමිකරු පවසාඇත්තේ තමන්ට ධීවර යාත්‍රා 6ක් ඇති බවත් පසුගියදා සීෂෙල්ස්හිදි ගිනි තැබීමට ලක්වූයේද තමන්ට අයත් යාත්‍රා දෙකක් බවය.

යාත්‍රා සම්බන්ධීකරණය කළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී, ඔහු මීට පෙරද කිලෝග්‍රෑම් 370කට අධික හෙරොයින් තොගයක් ගොඩබිමට රැගෙන විත් බෙදාහැරි බව හෙළිවී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගය විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් වන පරෙවි සුදා සහ අංගොඩ ප්‍රියංකර නමැත්තන්ට අයත් බවට සැකකරේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ත්‍රස්ත මර්දන කොට්ඨාසය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඉන්ධන තොග ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර….

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා සිටියේ, අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර දී එරට විදේශ අමාත්‍යවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් පවතින බවත් දන්වා ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

‍ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්…..

‍ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් පසුවිය යුතු බවය.

“දින 11ක් පුරා ව්‍යාප්තවන ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ පමණක් 7 වතාවක් සයිරන් නාදවුණා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ‍ඊශ්‍රායල් ආරක්ෂ හමුදා දන්වනු ලැබුවා තමන්ට ‍ඊශ්‍රායලයේ තියෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘතකරන්න එපා මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තියෙනවා.”

වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි….

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

අදාළ ආයතන පිළිබඳව පසුගිය වසරේ මාර්තු 17වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට, අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇත.

රජයට අයත් වාණිජමය නොවන ආයතන තත්කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යය පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකරනු ලැබීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටුකරන ආයතන කිහිපයක් පැවතීම ආදී කරුණු සලකාබලා අමාත්‍ය මණ්ඩලය, රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීරණ ලබා දී ඇත.

එම තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමේ වගකීමද උක්ත නිලධාරි කමිටුව වෙත පවරා ඇත.

එම කමිටුවෙහි අධීක්ෂණය අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන  තත්ත්වය, ඇතැම් ආයතනවලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු සහ එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් කැඳවා තිබේ.

කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ කමිටුවේ සෙසු සාමාජිකයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) හිරන්සා කළුතන්ත්‍රි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.ටී.ඒ. රුද්‍රිගෝ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සහ කමිටුවේ කැඳවුම්කරු සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීහු මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හරි…….

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.

එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතු ද සඳහා ද බාධා එල්ල විය.

ජපානයේ නව රැකියා ක්ෂේත්‍රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයි…..

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම අවස්ථාව හිමිව ඇත.

පළමුවරට වන වගා ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ තරුණයින් තිදෙනෙකු අද දින (11) ජපානය බලා පිටත්ව ගිය අතර, එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.

මෙම ක්ෂේත්‍රයට අමතරව තවත් ක්ෂේත්‍ර 7ක පුහුණු අවස්ථා මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ පුහුණු ලාභීන් 6දෙනෙකුද මෙම පිරිසත් සමග අද දින ජපානය බලා පි‍ටත්ව ගියේය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-30 අතර, තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස පුහුණුව ලැබීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N5 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.

අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.

මේ වන විට කාර්යාංශය මැදිහත්වී පුහුණු ලාභීන් 659ක පිරිසක් මෙම වැඩසටහන යටතේ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත.

නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතී.

CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට….

අයතා වත්කම් ඉපයීමේ චෝදනාවකට අදාළව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය අනුව 2011.03.31 වන දින සිට 2013.08.03 යන කාලය තුළ තම නීත්‍යානුකූල ආදායම අබිබවා රු. 4,428,305.70ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙකු මරුට…..

පාසලේ මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ සිසුවෙකු මියගොස් තිබේ.

ඇති වූ එම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සිසුවා, බුත්තල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.

කෙසේවෙතත් රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිසුවා මියගොස් සිට ඇති බව සඳහන් වේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ 11වන ශේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.